දේශපාලන සන්ධාන වලින් රට ගොඩනැඟිය හැකිද?

0
10

දේශපාලන සන්ධාන වලින් රට ගොඩනැඟිය හැකිද?

පළාත් පාලන මැතිවරණය නියමිතව තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ සන්ධානගත වෙමින් සිටිති. මෙහි අරමුණ එක්ව රට ගොඩනැඟීමද? නැතහොත් තම දේශපාලනික පැවැත්ම තහවුරු කර ගැනීමද යන්න සංවාදාත්මක කාරණයකි.

මෙවැනි සන්ධාන අතීතයේදීද මැතිවරණ ඉලක්ක කොට ගෙන විවිධ අවස්ථා වලදී ගොඩ නැඟී තිබේ.

තවදුරටත් මෙවැනි සන්ධාන හරහා රට ගොඩනැඟිය හැකිද? පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුඳවා ගැනීමට එම සන්ධාන වලට හැකිද යන්න ජනතාව මත ඉතිරිව ඇති ප්‍රශ්නයකි.

අලි – පොහොට්ටු සන්ධානය

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමට තීරණය කර ඇත.

ජනවාරි 10 වැනිදා (ඊයේ) ජනාධිපති කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව මහනුවර, කුරුණෑගල, පුත්තලම, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඇතැම් පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂ ලාංඡනය යටතේ තරග කිරීමට මූලික එකඟතාවකට පැමිණ ඇති බවද එහිදී ඔහු සඳහන් කළේය.

“දැනටමත් මූලික වශයනේ යම් යම් ස්ථාන පිළිබඳ එකඟතාවයන්ට ඇවිල්ලා තියෙනවා. මහනුවර මහ නරග සභාව, කොළඹ මහ නගර සභාව සහ පුත්තලම නගර සභාව එකසත් ජාතික පක්ෂ ලාංඡනය යටතේ ඉල්ලන්න.” පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග තවත් පක්ෂ 13ක් සන්ධාන ගතව ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග පක්ෂ සහ සංවිධාන 54ක් සිටින බවත් එක්ව කටයුතු කිරීම සඳහා අදාළ සන්ධාන සමග එකඟතාවකට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසුවේ තරග කරන පොදු ලාංඡනය පිළිබඳ මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැති බවය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවකදී. අලියා ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද? පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන අයතන මොනවාද? එවගේම පොදු ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන අයතන මොනවද කියන එක සම්බන්ධවත්.”

එහිදී එකට තරග කරන ස්ථානවලදී අපේක්ෂකයින් බෙදා ගැනීමේ පදනම පිළිබඳවත් සාකච්ඡාකර එකඟතාවට පැමිණි බව ඔහු සඳහන් කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, “අපිත් එක්ක සන්ධාන ගතවෙච්ච පක්ෂ ගණනාවක් තියෙනවානේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවත් එක් පක්ෂයක් පමණයි.” යනුවෙනි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාව රටේ ජනාධිපතිවරයා කරන්න අපිට ඡන්ද දෙන්න පුලුවන් නම් , අපිට එයාලත් එක්ක වැඩ කරන්න මොකද්ද තියෙන බාධාව. එහෙම ගැටලුවක් නැහැ.” සනත් නිශාන්ත අවධාරණය කළේය.

ප්‍රතිපත්ති ගැලපෙයිද?

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළද, පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවල ගැලපීමක් නොමැති තැන් ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“සමහර තැන්වල අපේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් 100% ක ගැලපීමක් නැහැ.”

සාගාර කාරියවසම් පැවසුවේ “පක්ෂයක් හැටියට තීරණය කිරීමට තිබූ පළවෙනි දෙය තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම. ඒ සම්බන්ධයනේ එක්සත් ජාතික පක්ෂය සමග අපි එකඟවුණා. එකතුවුණා”

“මං හිතන්නේ මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න මේ රටේ දියත් වුණු කුමන්ත්‍රණය පරාජය කරන්න පක්ෂයක් විදිහට අපිට හැකිවුණා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

මාලිගා කුමන්ත්‍රණ..!

අරගලයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ අමිල එගොඩමහවත්ත විමසා සිටියේ ඡන්දයට මැදිහත් නොවන බව පැවසු ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදීම සන්ධානගත වීමේ හමුවීම් සංවිධාන ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳය.

“අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරනවා මම මේ පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ වෙන්නේ නැහැ. මම ඔය ඡන්දයට නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන ගමන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ පොහොට්ටුවේ අර වයසට ගිය මන්ත්‍රීලා ටිකයි හොර නඩයයි එකතුවෙලා මාලිගා කුමන්ත්‍රණ කරනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සන්ධානගත වෙලා කොහොමද මේ රටේ මිනිස්සු රටට්ටලා තවත් මේ රට අමාරුවෙන් අමාරුවට දාන කාරණාව.”

නීතිඥ මනෝඡ් නානායක්කාර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ,මැතිවරණයට ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා සිරිකොතේ හෝ නෙළුම් මාවතේ පැවැත්විය යුතු බවය.

හෙලිකොප්ටර් සන්ධානය

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය පිහිටුවන නව සන්ධානය අද සවස (11) එළි දකිනු ලැබීය.

එම සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කර ඇත.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී නව සන්ධානය එළි දක්වන ලදි.

හෙලිකොප්ටරය ඡන්ද ලකුණෙන් එම සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව, විමල් වීරවංශ සභාපතීත්වය දරන උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ නව සන්ධානය නියෝජනය කරනු ඇත.

නව සන්ධානය නියෝජනය කරන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 38 කි.

වැඩිම ජය කාටද?

මේ අතර සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පෙන්වා දෙන්නේ, විවිධාකාර කාරණ කියමින් මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව තවමත් ප්‍රයත්න දරමින් සිටින බවය.

සමගි ජනබලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් කියා සිටියේ මෙවර මැතිවරණයෙන් වැඩිම ජයග්‍රහණයක් ලබන්නේ සමග ජනබලවේගය බවට ආණ්ඩුවේ රහස් ඔත්තු සේවා වලින් ආණ්ඩුවට දැනුම් දී ඇති බවය.

මේ අතර ජාතික ජනබලවේගය අද කළුතර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කළේය. ජාතික ජනබලවේගය ජනවාරි 10 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ද ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

එහිදී ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමූපකාර ඡන්ද වලින් පළමු වෙඩිමුරය පත්තු කළ ලෙසට ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වලින් ද ජාතික ජනබලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය යටතේ, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

BASL

ඡායාරූප මූලාශ්‍රය,BASL

ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය යටතේ, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කළ නියෝගය ආපසු කැඳවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පියවර ගනු ලැබීය.

ඒ අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලන පක්ෂ ලේකම්වරුන්, කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි දන්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය, අද (ජනවාරි 11වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here