විලියම් තමාට පහරදුන්නේයැ යි හැරී කුමරුගෙන් චෝදනාවක්…

0
33

සිය සොයුරු විලියම් කුමරු තමාට පහරදුන්බවට හැරී කුමරු ප්‍රකාශ කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.

අදාළ පුවත්පත පවසන්නේ සසෙක්ස් ආදිපාද හැරී කුමරුගේ මතක සටහන් අඩංගු ‘ස්පෙයා’ හි (Spare) පිටපතක් ඔවුන් දුටු බවයි.

හැරීගේ බිරිඳ මේගන් කුමරිය සම්බන්ධයෙන් දෙසොයුරන් අතර ඇතිවූ ආරවුලක් ද Spare කෘතියෙහි සඳහන් බවයි ගාඩියන් පුවත්පත ප්‍රකාශ කර ඇත්තේ.

“ඔහු මා කමිස කොලරයෙන් අල්ලාගෙන, මාගේ ගෙල පළඳනාව ඉරා දමා, මා බිම වැටෙන සේ පහරදුන්නේ ය,” හැරී කුමරුන් උපුටා දක්වමින් ගාඩියන්, පුවත්පත සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බවයි කෙන්සිංටන් මාළිගාව හා බකිංහැම් මාළිගාව ප්‍රකාශකර සිටියේ.

මේ අතර, මැයි මාසයේ දී පැවැත්වෙන රජුගේ රාජාභිෂේකයට සහභාගීවීමට පොරොන්දුවීම හැරී කුමරු ප්‍රතික්ෂේප කර ඇත්තේ මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

හැරීගේ මතක සටහන් ග්‍රන්ථය මීළඟ අඟහරුවාදා (10) තෙක් ප්‍රකාශයට පත්වීමට නියමිත අතර දැඩි පූර්ව ආරක්ෂාවක් මධ්‍යයේ එහි පිටපතක් ලබාගැනීමට සමත්වූ බව ගාඩියන් පුවත්පත සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ග්‍රන්ථය ස්පාඤ්ඤයේ විකිණීමට තිබු අතර එය ‘එන් ලා සොම්බ්‍රා’, එනම් “සෙවණැලි අතර” යනුවෙන් පරිවර්තනය වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් රාජධානියේ පොත් අලෙවිකරුවන් පවසා සිටියේ, ස්වයංචරිතාපදානය නිසි දිනට කලින් ප්‍රකාශයට පත් නොවීමට සැලකිලිමත්වන ලෙසට දැඩි නීති පැනවී ඇති බවයි.

ගාඩියන් පුවත්පතට අනුව, 2019 වසරේ දී විලියම් කුමරු හැරීගේ ලන්ඩන් නිවසේ දී හැරීට පැවසූ ඇතැම් කාරණා නිසාවෙන් මෙම ආරවුල ඇතිවී තිබෙනවා.

තමා හා මෙගන් මාක්ල්ගේ විවාහය තම සොයුරා විවේචනය කළබවත්, ඇය ආශ්‍රය කිරීමට නුසුදුසු අවිනීත හා රළු තැනැත්තියක ලෙස හැඳින්වූ බවත් හැරී ලියා තිබෙන්නේයැ යි ගාඩියන් පුවත්පත පවසනවා.

ඉන්පසුව සිදුවූ කායික ආරවුලක් ඇතුළු අනෙකුත් සිදුවීම් හැරී මෙමගින් විස්තර කරන බවයි පැවසෙන්නේ.

“ඔහු වතුර වීදුරුවක් තබා, මට අවිනීත නමකින් අඬගසා, මට පහරදෙන්නට පැමිණියේ ය. එය ඉතා ඉක්මණින් සිදුවිය. බොහොම ඉක්මණින්.”

“ඔහු මා කමිස කොලරයෙන් අල්ලාගෙන, මාගේ ගෙල පළඳනාව ඉරා දමා, මා බිම වැටෙන සේ පහරදුන්නේ ය.”

“මා සුනඛයාගේ ආහාර බඳුන මතට ඇදවැටුණු අතර, එය මා යටින් බිඳීගොස්, එහි කැබලිවලින් මට තුවාල සිදුවිය. මම සිහි එලවාගැනීම සඳහා මොහොතක් එසේම සිටි අතර, අනතුරුව නැගිට, ගෙයින් එළියට බසින්නැ යි ඔහුට පැවසීමි.”

විලියම් පිටවගිය නමුත්, පසුතැවිලි වන පෙනුමකින් ආපිට පැමිණ “සමාව අයැදියේයැ” යි හැරී ලියා තිබූ බව ගාඩියන් පවසනවා.

විලියම් නැවත පිටවයද්දී “ආපසු හැරී බලා මෙසේ පැවසීය: මේක මෙග්ට කියන්න ඕනේ නැහැ,යි හැරී ලියා ඇති බව ද සඳහන්.

“‘ඔයා කියන්නේ ඔයා මට පහරදීපු එක ද?’ “‘මම ඔයාට පහරදුන්නේ නෑ, හැරල්ඩ්,” විලියම් එසේ පිළිතුරු දුන්බව පැවසේ.

හැරීගේ නාමය ‘හැරල්ඩ්’ යන නම කෙටි කර සෑදුවක් නොවේ – ඔහුගේ සැබෑ සම්පූර්ණ නාමය වන්නේ හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් ය.

2019 සැප්තැම්බර් මාසයේදී මෙගන් සමග විදේශ සංචාරවල යෙදෙද් දී හැරී නිතර අඳුරු පැහැ ගෙල පළඳනාවක් පැළඳ සිටි බව ඡායාරූපවලින් පෙනෙනවා.

මේ හෙළිදරව් කිරීම් මඟින් රාජාණ්ඩුව කේන්ද්‍රයේ ඇතිව තිබෙන, සංහිඳියාවේ කිසිදු සලකුණක් නොපෙන්වන පවුල් ගැටුමක අඳුරු හැඟීමක් ඇති කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙය තවමත් සංහිඳියාවට වඩා දරුණු දික්කසාදයක් ඇතිවන භූමියකි යනුවෙන් ඔවුන් ප්‍රකාශ කරනවා.

මතක සටහනේම වෙනත් තැනක දී, 2005 වසරේ විකට ඇඳුම් සාදයකට පෙර ඔහුගේ සොහොයුරා නාසි ඇඳුමකින් සැරසී සිටිනු දුටු විලියම් “කොක් හඬලා සිනාසුනු” වග සඳහන් බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර තිබෙනවා.

හැරී එම ඇඳුමෙන් සැරසී සිටින පින්තූරයක් එක්සත් රාජධානියේ පුවත්පත්වල ප්‍රකාශයට පත්කරන විට ඔහුගේ වයස අවුරුදු 20ක්.

නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරන පරිදි, හැරී විලියම්ගෙන් සහ ඔහුගේ අනාගත බිරිඳ කැතරින්ගෙන්, ඔහු එම ඇඳුම ඇඳිය යුතු ද, නැතහොත් ගුවන් නියමුවෙකු ලෙස සැරසිය යුතුදැ යි විමසා ඇති අතර, යුවළ සිනාසෙමින් නාසි නිල ඇඳුම අඳින්නැ යි පවසා ඇතැයි සඳහන්.

හැරීගේ ග්‍රන්ථය පිළිබඳ වාර්තාව ලියූ ගාඩියන්හි එක්සත් ජනපද වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන මාටින් පෙන්ගෙලි පවසන්නේ, තමා විලියම්ගේ සන්නිවේදන කණ්ඩායම හා සම්බන්ධ නොවූ බව යි.

ආදිපාදවරයා ඔහුගේ මතක සටහනේ දී විලියම් “ආදරණීය සහෝදරයා සහ පරම සතුරා” ලෙස හඳුන්වන වග, ගුඩ් මෝනිං ඇමරිකා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී හෙළිවී තිබෙනවා.

එම සම්මුඛ සාකච්ඡාවේ දී හැරී පවසා සිටියේ ඔවුන් දෙදෙනා අතර “සැමවිටම මෙම තරගය” පැවති බවත්, එය පොතේ මාතෘකාවට පදනම වූ “උරුමකාරයා/අමතරයා” (heir/spare) ගතිකත්වයට හේතුවූ බවයි.

“උරුමක්කාරයා සහ අමතරයා” යන සංකල්පය රාජකීය කවයන් තුළ සියවස් ගණනාවකට පෙර සිට පැවත එන අතර, රාජකීය පරපුරේ අඛණ්ඩ පැවැත්මට පිළිබඳ සඳහනක්. පළමු පුත්‍රයා සහ උරුමකරුවා යනු සිංහාසනය උරුමකර ගන්නා තැනැත්තා වන අතර, එබැවින් දෙවන පුත්‍රයා පළමුවැන්නාට යමක් සිදුවුවහොත් යොදාගත හැකි අමතරයෙකු වනවා.

හැරී සහ මේගන්ගේ නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටයේ දී, කුමරා තම සහෝදරයා, පියා – වත්මන් රජු – සහ ඔහුගේ මිත්තණිය වූ දිවංගත රැජින සමග සහභාගී වූ රැස්වීමක් ද විස්තර කරනවා.

2020 මුල්භාගයේ පැවති සම්මන්ත්‍රණය විස්තර කරමින් ඔහු මෙසේ පවසයි: “මගේ සහෝදරයා මට කෑගැසීමත්, මගේ පියා හුදෙක් සත්‍ය නොවන දේ පැවසීමත්, අත්තම්මා නිහඬව එහි අසුන්ගෙන ඒ සියල්ල නිහඬව බලා සිටීමත් භයංකර වුණා.”

2021 අප්‍රේල් මාසයේ දී, ඔහුගේ සීයා වන පිලිප් කුමරුගේ අවමංගල උත්සවයෙන් පසු එවකට වේල්ස් කුමරු සහ විලියම් සමග පැවති හමුවක් ගැන හැරී විස්තර කරන වග ගාඩියන් පවසනවා.

මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් නිකුත් වී ඇති මෙම තොරතුරු නිවැරදි නම්, ඇතැම් විට එහි වඩාත්ම සිත් ඇදගන්නා කරුණ වනු ඇත්තේ, දෙසොයුරන් අතරට මැදිවූ චාල්ස් රජු තම ජීවිතය “කාලකන්නි” නොකරන ලෙස සටන් වදින පුතුන්ගෙන් ඉල්ලා සිටීම යි.

මතක සටහන් කෘති රචක ජේ. ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, ඩොලර් මිලියන ගණනක පොත් ගනුදෙනුවක කොටසක් වන ස්පෙයා, එහි අන්තර්ගතය පිළිබඳ තොරතුරු අල්පයක් පමණක් ප්‍රසිද්ධ වූ අතිශය රහසිගතභාවට යටත්වූවක් බව මීට පෙර විශ්වාස කෙරුණා.

සසෙක්ස් ආදිපාද යුවළගේ ආච්වෙල් සමාගම තවමත් ග්‍රන්ථය පිළිබඳ පුවත් පිළිබඳව අදහස් දක්වා නැහැ.

ග්‍රන්ථය නිකුත් කිරීමට ප්‍රථමව, ජනවාරි 8 වන දා විකාශයවීමට නියමිත සම්මුඛ සාකච්ඡාවක සඳහා වූ පෙර ප්‍රචාරණ විඩියෝවක දී හැරී මෙසේ පැවසීය: “මම මගේ තාත්තා නැවත මා වෙත ලබාගැනීමට කැමතියි, මම මගේ සහෝදරයා නැවත ලබාගැනීමට කැමතියි”.

කෙසේ වෙතත්, “ඔවුන් සංහිඳියාවට කිසිසේත්ම කැමැත්තක් නොදැක්වූ” වගක් හැරී එම සාකච්ඡාවේ ටොම් බ්‍රැඩ්බිට පැවසූ නමුත්, ඔහු සඳහන් කරන්නේ කවුරුන් ගැනදැ යි පැහැදිලි වන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම බකිංහැම් මාළිගාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here