ඉන්ධන අර්බුදය: පාසල්වලට ලබන සතියේ නිවාඩු දෙන ආකාරය ඔබ දන්නවාද ?

0
26

ඉන්ධන අර්බුදය: පාසල්වලට ලබන සතියේ නිවාඩු දෙන ආකාරය ඔබ දන්නවාද ?

ඉන්ධන අර්බුදය හමුවේ බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ඉදිරි සතියේ දී නොපැවැත්විමට අධ්‍යාපන අමාත්‍යංශය අද (ජුනි18) තීරණය කළේය.

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යංශ ලේකම් නිහාල් රණසිංහ සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් අතර අද (ජුනි 18) පැවති සූම් සාකච්ඡාවකදීය.

ඒ අනුව,

  • ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දෙන ලදී.
  • එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.
  • පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම්ල එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.
  • බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ඉදිරි සතියේ දී නොපැවැත්විමට තිරණය කර ඇති අතර ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිළධාරීන්ට අවසර ලබා දී ඇත.
  • සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත.

ඉදිරි සතිය තුළ පාසල් කටයුතු එලෙස ක්‍රියාත්මක කර ලබන සෙනසුරාදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඊළඟ සතියේ කටයුතු කරන ආකාරය පිළිබඳව තීරණය කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ සඳහන් කළේ ය.

Skip Twitter post, 1

End of Twitter post, 1

පේරාදෙණිය සරසවියත් වහයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (ජුනි 18) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව උපකුලපතිවරයා පවසයි.

විශ්ව විද්‍යාලය වසා දැමුණ ද අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට පහසු පාසල්

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට කොන්දේසිවලට යටත්ව පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක‍්‍රියාත්මක වන අතර සියලු ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව පහත කොන්දේසි යටතේ එම ගුරුවරුන්ට අනුමැතිය ලබාදෙයි;

  • එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුභවතුන් අනුයුක්ක කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත බලය පවරනු ලැබේ.
  • පළාත් දෙකක් අතර පළාත් සභා පාසල් වල ගුරු භවතුන් අනුයුක්ත කිරීම අදාළ පළාත් වල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදු කිරීමට ද යෝජනා කරනු ලැබේ.
  • පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක (ගුරුස්ථාන මාරු) විසින් සිදු කරනු ඇත.
  • ඉල්ලීම් කරනු ලබන ගුරුභවතා අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැත.
  • ඉල්ලුම් කරන ගුරුභවතා පාසලේ අතිරික්ත නොවේ නම් සුදුසු අනුප‍්‍රාප්තිකයෙකු ලබා දීමෙන් පසුව අනුයුක්ත කිරීම සිදු කළ යුතුය.
  • විදුහල් පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරු වීම සිදු කරන ආකාරයටම එම පදනම මත සිදු කරන අනුයුක්ත කිරීම් ද සලකා බැලිය යුතු වේ.
  • ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදු කරනු ලබන අනුයුක්ත කිරීම අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කර ගනිමින් සිදු කළ යුතුය. (2007/20 චක‍්‍රලේඛයේ 3.4.සස අනුව)
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදු කරනු ලබන අනුයුක්ත කිරිම් වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත යොමු කළ යුතු වේ.

මෙ පිළිබඳ සියලූම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සහා ලේකම්වරුන්, සියලූම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලූම පළත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලූම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලුම ජාතිික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

විභාග කටයුතුවල නිරත පරීක්ෂකවරුන්ට බාධාවකින් තොරව ඉන්ධන

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සහ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට අවශ්‍ය ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, විභාග රාජකාරි සඳහා නිකුත් කර ඇති පත්වීම් ලිපිය, රාජකාරි හැඳුනුම්පත හා ඉන්ධන ලබා ගැනීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය, ඉදිරිපත් කර විභාග කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවය.

විභාග ඇගැයීම් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව සියලු ඉන්ධනහල් හිමියන්ගෙන් ද ඉල්ලීමක් කරයි.

තමන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා නොදුනහොත් උත්තර පත්‍ර ඇගයිම් කටයුතු වලින් ඉවත් වන බවට ගරු වෘත්තීය සමිති අනතුරු අඟවා ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු( ජුනි17) ආරම්භ විය.

රජයේ සේවකයෝ සඳුදා සිට සති 02ක් නිවසේ සිට වැඩ

රජයේ සේවකයන්ට ජුනි 20 වැනි සඳුදා සිට සති 02ක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ චක්‍රලේඛයක් නිකුත් කළේය.

රට තුළ ඉන්ධන සැපයීම සිමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි දැක්වේ.

රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.

අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේ වුවද සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කළ යුතු බවත් එලෙස සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් සැලසීමෙන් පසු යම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධාරියාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.

සේවාමුර ක්‍රමයට හෝ විධිමත් ක්‍රමවේදයට වුවද සේවයට නොකැඳවූ දිනක වුවද සෑම නිලධාරියෙක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බවත් එක් ප්‍රදේශයක සිට රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සඳහා ලංකා ගමනා මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබාගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියරව ගත යුතුය.

සේවයට පැමිණෙන නිලධාරීන්ට සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට උපදෙස් දෙන ලෙසත් කාර්යාලය අසළ පදිංචි සේවකයන්ට ආයතනයේ වාහන භාවිතා කර පිරිවැය කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන ලෙසත් අධිකරණ ක්ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසමෙන් ද, රාජ්‍ය ව්‍යවසාය සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවත් චක්‍රලේඛයේ දැක්වෙයි.

රෝහලුත් වැහෙයිද?

ඉන්ධන හා ගෑස් හිඟය නිසා රට පුරා රෝහල් රැසක කටයුතුද අඩපණ වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂකවරු සහ වෛද්‍යවරු පවසයි.

රටේ පවතින ගෑස් හිඟය හේතුවෙන් බොහෝ රෝහල්වල ආපන ශාලාද වැසි යාමේ අවදානමක් මතුව ඇතැයි ඔවුන් සඳහන් කරන අතර ඉන්ධන හිඟය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට සේවයට වාර්තාකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ඔවුන් පවසයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here