හදිසි නීතිය අර්බුදයට විසඳුමක් නොවෙයි – විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් අවධාරණය කරයි…

0
48

හදිසි නීතිය අර්බුදයට විසඳුමක් නොවෙයි – විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් අවධාරණය කරයි…

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිතකොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමට බව ට රජය පවසන අතර විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අවධාරණය කරන්නේ හදිසි නීතිය පැනවීම පවත්නා අර්බුදය විසඳීමට උපකාරී නොවන බව යි.

හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටිකාලීන පියවරක් වශයෙන් පමණක් බවත්, සියල්ල යථා තත්ත්වයට පත්වූ වහාම එය ඉවත් කරනු ලබන බවත් රජය නිවේදනය කළේ ය.

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනපති විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ, වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත්, සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය අවධාරණය කළේ ය.

හදීසි නීතිය

“කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතලම ආර්ථික හා සමාජ අර්බුදයටත්, දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇත. ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී තිබේ. හැකි කෙටිම කාලය ඇතුලත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යථා තත්ත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගනියි,” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ එම නිවේදනයේ සඳහන් වේ.

ගතවූ කාලය තුළ අර්බුදය ජයගැනීමට කළයුතු ප්‍රතිසංස්කරණ කවරේදැ යි සංඝ රත්නය හා සෙසු පූජකවරුන්, ආර්ථික විශේෂඥයන්, ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් පෙන්වා දී ඇතැ යි එම ප්‍රකාශයේ සඳහන් ය.

ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය පසුගිය දා ප්‍රතිසංස්කරණ යෝජනා රැසක් හඳුන්වාදුන් බවත්, රට හමුවේ ඇති හදිසිතම අභියෝගය ආර්ථික හා ණය අර්බුදය කෙටි කාලක් ඇතුලත කළමනාකරණය කිරීම බවත්, ප්‍රතිසංස්කරණ ආරම්භකොට ඉදිරියට ගෙනයාමට සමත් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් තිබීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව බව නීතීවේදීන්ගේ සංගමය අවධාරණය කළබවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුල්‍ය සහන ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ බහුපාර්ශ්වික ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතිබවත් එමඟින් ප්‍රකාශිත ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට සාධනීය ප්‍රතිචාර පලවී ඇති බව යි.

ඒවායේ සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධානම කොන්දේසියකැ යි පවසන රජය, දින ගණනාවක සිට රටපුරා සංවිධාන කෙරෙන “ආවේගශීලී විරෝධතා” ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇතැ යි ද මහජනතාව වෙත නිවේදනය කර සිටියි.

“දැන් දින ගණනාවක සිට අගනුවර ඇතුළු රටපුරාම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් වී ඇත. ඉන්ධන සැපයුම ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණ තිබේ. දුම්රිය සහ පොදු මඟී ප්‍රවාහනය අඩාල වී ඇත. රෝහල්වල දෛනික කාර්යයන්ට බාධා ඇතිවීමෙන් රෝගීහු පීඩාවට පත්ව සිටිති. ඇඟළුම් ඇතුළු නිෂ්පාදන කර්මාන්ත වල වැඩ විටන් විට ඇන හිටියි. දරුවනට පාසල් යාමට නොහැකි වී ඇත. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම කම්හල් සහ ආයතනවල සේවකයනට සේවයට වාර්තා කිරීමට අපහසු වී තිබේ. මේ විරෝධතා ජන ජීවිතය අඩාල කිරීමට අමතරව ආර්ථික අර්බුදය තවත් උත්සන්න කරයි.

“එබැවින් මහජන ආරක්ෂාව සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීම, අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම, පොදු ජනතාවට නිදහසේ ගමන් බිමන් යාම සහතික කිරීම යන අරමුණු සපුරා ගැනීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතින් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව හදිසි අවස්ථා නීතිය බලාත්මක කෙරිණ. හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණි. යථාතත්වය උදා වූ වහාම එය ඉවත් කරනු ලැබේ,” රජය නිවේදනය කරයි.

“හදිසි නීතියට හේතු මහජනතාවට පැහැදිලි කරන්න” – මානව හිමිකම් කොමිසම

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය.

විරෝධතා බොහෝදුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ සිදුවූ බැවින් හදිසි නීති ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

එම කොමිසම පැවසුවේ, භාෂණයේ සහ රැස්වීමේ නිදහස, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධ අයිතිවාසිකම් මෙන්ම, අනෙකුත් මූලික අයිතිවාසිකම් සහ නිදහස, හදිසි නීති කාලසීමාව තුළ දී බලපෑමට හෝ අවමානයට ලක් නොවනු ඇතැ යි බලාපොරොත්තු වන බව යි.

මේ අතර, හදිසි නීති අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් හා, පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

විරෝධතා වලදී ළමුන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ යුනිසෙෆ් සංවිධානයේ අවධානය

“විරෝධතා වලදී ළමුන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා පිළිබඳව යුනිසෙෆ් සංවිධානය සැලකිලිමත් වේ. සියලුම ක්‍රියාකාරීන්, ළමයින්ගේද ඇතුළුව සාමකාමීව රැස්වීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කළ යුතුය,”යනුවෙන් නිවේදනයක් නුකුත්කරමින් පැවසීය.”ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව, ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට ඔවුන්ට බලපාන ගැටළු සඳහා සහභාගී වීමට සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. ළමයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය, ප්‍රජාවන්ට සහ පවුල්වලට හවුල් වගකීමක් ඇත.”

“සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතුයි. සෑම වැඩිහිටියෙක්ම වගකීමේ හැඟීමකින් යුතුව ක්‍රියා කළ යුතු අතර විරෝධතා වලදී ඇතුළුව සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයට ළමයින් නිරාවරණය කිරීමෙන් වැළකී සිටිය යුතුය. අපි නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටින්නේ බලය භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන මූලික සහතික සෑම තැනකම, සෑම විටම අදාළ වන බවට සහතික වන ලෙසයි.”

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ විරෝධය

ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බොහෝ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ විරෝධය පළව තිබේ.

රට නැවත සෞභාග්‍යයේ මාවතට ගෙනඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව කොළඹ අමෙරිකානු තානාපති ජුලී චන්ග් පැවසුවා ය. ඇය කියා සිටියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට සහායක් නොවන බව යි.

“නැවතත් හදිසි නීතිය පැනවීම පිළිබඳව [අප] බලවත් සැලකිල්ලක් දක්වනවා. සාමකාමී රටවැසියාගේ හඬ ඇසෙන්නට සැලැස්විය යුතු යි,” ඇය ප්‍රකාශ කරයි.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අවධාරණය කළේ වත්මන් අභියෝග විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බව යි.

“සාමකාමී විරෝධතා පැවැත්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු සියලු මූලික අයිතිවාසිකම්වලට ගරු කළ යුතු ය. එම අයිතිවාසිකම් සීමා කරන හදිසි නීති, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට සහ විසඳුම්වලට එරෙහිව යයි,” ඇය පැවසුවා ය.

යුරෝපා සංගමය ද අවධාරණය කර සිටින්නේ හදිසි නීතිය නිසැකවම රටේ දුෂ්කරතා විසඳීමට උපකාරී නොවන බව යි.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ, එමඟින් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ඇති කළ හැකි බව යි.

“මාසයක කාලයක් තිස්සේ පැවැති සාමකාමී විරෝධතා විසින් දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය වන ශ්‍රී ලාංකාවේ පුරවැසියන් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳින ආකාරය පෙන්නුම් කර ඇත,” යුරෝපා සංගමය සඳහන් කළේ ය.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් ද ප්‍රකාශයක් නිකුත් කරමින්, “සති ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් සාමකාමීව පෙළපාලි පැවැත්වූයේ ඔවුන් බලාපොරොත්තු සුන්ව, දුක්විඳිමින් සිටින නිසායැ,” යි පැවසීය.

තත්ත්වය උග්‍රවීම වැලැක්වීමට නම් අර්බුදය බැරෑරුම් ලෙස හා නියමාකාරයෙන් විසඳිය යුතු බව කියා සිටි ස්විට්සර්ලන්ත තානාපතිවරයා, පවත්නා තත්ත්වය විසඳීමට හදිසි නීතිය කිසි ලෙසකින් හෝ සහාය වන්නේ කෙසේදැයි අපැහැදිලි බැව් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව කොළඹ නෝර්වේ තානාපතිවරිය වන ට්‍රයින් ජොරන්ලි එස්කෙඩල් ද පවසා සිටියි.

විරෝධතා සාමකාමීව පවතින විට සාමකාමී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, සහ සහ පාර්ලිමේන්තුව කල්තබා ඇති අතරතුර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳ සිය අවධානය යොමුකරන නෝර්වේ තානාපතිවරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙස යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් කියා සිටින්නේ මූලික අයිතිවාසිකම්වලට සහ නිදහසට සීමාවන් පැනවීම පිළිගත හැකි වන්නේ එම සීමාවන් සුවිශේෂී, අදාළ තත්ත්වය ගැලපෙන, සහ යුක්ති සහගත වූ විට පමණක් බව යි.

“එහෙත් සාමකාමීව විරෝධතා ප්‍රකාශ කිරීම හදිසි අවස්ථාවක් නොවේ. විරෝධතාවන් සඳහා මූලික වන හේතු සොයා බැලිය යුතු ය,” ඇය පවසන්නී ය.

“පැහැදිලි හේතූන් සැපයීමෙන් තොරව ශ්‍රී ලංකාව තුළ යළිත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම ගැන නවසීලන්තය දැඩි අවධානයක් යොමුකරන්නේයැ” යි කොළඹ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ප්‍රකාශ කරයි.

මෑතකාලීන ජන විරෝධතා අතිශයින් සාමකාමී වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අභියෝග විසඳීම කෙරෙහි අවධානය යොමු කරන්නැ යි සියලු දෙනා දිරිමත් කරන බව ද මහ කොමසාරිස්වරයා පවසා සිටියේ ය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here