වරාය නගරය: රන් දිවයිනක් ද? කලාපයේ භූ-දේශපාලන සිතියමේ අළුත් හැඩයකට හේතු වේවිද?

0
116

වරාය නගරය: රන් දිවයිනක් ද? කලාපයේ භූ-දේශපාලන සිතියමේ අළුත් හැඩයකට හේතු වේවිද?

චීන ආරක්‍ෂක ඇමතිවරයාගේ දින දෙකක ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්දැයි යන විවාදය අතරතුර චීනයේ විදේශ අමාත්‍යවරයා ද ලබන මස මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවට වාර්තා වෙයි. අසල්වැසි රාජ්‍යයට චීනයේ ප්‍රධානපෙලේ දේශපාලනඥයෙකුගේ සංචාරය සම්බන්ධයෙන් නව දිල්ලිය දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි ලෝකය බලා සිටිය ද එවැන්නක් මෙතෙක් සිදු නොවුණි.

චීන ආරක්‍ෂක ඇමති වෙයි ෆෙන්ග් පිටත්ව යාමෙන් අනතුරුව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මුණගැසුන අතර, එම හමුවේ දී හෝ අනතුරුව මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ‘ට්විටර්’ පණිවුඩය මගින් හෝ සිය දේශපාලන පසමිතුරු රාජ්‍යයේ ඉහල නිලධාරියාගේ ආගමනය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකෙරුණි.

ඉන්දියානු පාර්ශ්වයෙන්, ඉහල මට්ටමේ චීන නියෝජිතයාගේ කොළඹ සම්ප්‍රාප්තිය ගැන සෘජුව සඳහන් නොකෙරුනත් ‘නව දිල්ලිය අසල්වැසි හිතවත් රාජ්‍යයේ අගනුවර සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන උනන්දුවෙන් බලා සිටින’ බව කිසිවකුට රහසක් ද නොවේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමේ අනතුරක් පවතින්නේද? නැද්ද? යන්න මුල්කරගත් විවාදය මේ මොහොතේත් රට තුළ පෙරට යමින් ඇත. එසේ වීම හෝ නොවීමත්, එම වරාය නගරය ‘ඩොලර්’ හෝ ‘යුවාන්’ හෝ වෙනත් ව්‍යවහාර ජාත්‍යන්තර මූල්‍ය ඒකක වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ආකර්ෂණය කරගනු ලබන කුඩා ‘රන් දිවයිනක්’ බවට පත්වේද යන්න තීරණය කරනු ඇත්තේ අද නොව අනාගතයෙහිය. ‘ජිබුති’ දේශයේ පාලකයන් ලද අමිහිරි අත්දැකීම හැමතැනම එපරිද්දෙන් සිදුවිය නොහැකි බව පිළිගැනීමට සිදුවෙන නමුත් මේ මොහොතේ විසඳා ගතයුතුව ඇති මේවනවිටත් දිග හැරෙමින් පවතින සැඟවිය නොහැකි වෙනත් දැවැන්ත අභියෝගයක් පවතී. එනම්, ශ්‍රී ලංකාව වේගයෙන් චීනය වෙත ආකර්ෂණය වීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව සෙසු ජාත්‍යන්තර බලවේග කෙරෙන් එල්ලවෙමින් පවතින එදිරිවාදී ප්‍රතිචාරයයි.

Presentational grey line
Presentational grey line

මෙයින් මාස හයකට පමණ පෙර චීන විදේශ ඇමතිවරයා මෙන්ම ඇමෙරිකානු රාජ්‍යලේකම් වරයාත් ‘එකට එකමෙන්’ සති කීපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කළහ.

වීඩියෝ ශීර්ෂ වැකිය,චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස “විශේෂ හේතුවක්”

‘පිබිදුන චීන යෝධයා’ ආසියා-ශාන්තිකර කලාපයේ අතපය දිගහැරීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව බේජිං පිළිවෙත සමඟ ගැටෙන වෙනත් බලවතුන් ද සාකච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් සංවිධානාත්මක මට්ටමින් පෙරට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ගත්විට රටක් හැටියට එම විරසකයට ගොදුරුවන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන්ම නොවේ. සහශ්‍රය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු සාගරය මැද පිහිටා ඇති කුඩා දිවයින තුළ ආරම්භ කෙරුණ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ලම මෙන් චීනය කේන්ද්‍ර කරගත් චීන ආයෝජන මත යැපෙන තත්වයකට පත්වීමත් සමඟය. මත්තල ගුවන් තොටුපොල සහ කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අහිමි වූ අතර ජපානයත් සමඟ ඇතිකරගත් ‘සැහැල්ලු දුම්රිය’ ව්‍යාපෘතියත් අහෝසි කරනු ලැබුණි.

Presentational grey line

 

Presentational grey line

දැන් පෙනෙන්නේ ඊතලයේ තුඩ පමණක් බවත් මෙහි සමස්තය වඩාත් ගැඹුරින් නිරීක්‍ෂණය කළයුතු බවත් හිටපු තානාපති, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

“කොළඹ වරාය ව්‍යාපෘතිය නිසාම නොවෙයි,” යනුවෙන් අවධාරණය කරමින් ඔහු සිය අදහස් දැක්වීම ආරම්භ කළේය.

“හැබැයි, ලංකාව නොබැඳි පිළිවෙතක පිහිටා සිට දැන් තරඟකාරී බල කඳවුරු දෙකකින් එක පැත්තකට යොමුවීම ගත්තොත් ඒ අනුව බලන විට, ඔව්… වරාය නගරයත් යම් වෙනසක්, විචල්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. නැත්නම්, ඒ පරිවර්තනයේ එක ප්‍රපංචයක් වශයෙන් ‘පෝර්ට් සිටිය’ සලකන්න පුළුවන්” ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී වැඩිදුරටත් පැවසීය.

“ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් හැටියට නිදහසින් පසුව අනුගමනය කරන ලද නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනසක් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා හිටපු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙන් සාම්ප්‍රධායික සබඳතා ජාලයෙන් ඉවත්ව කටයුතු කරන” බවත් ඔහු පෙන්වා දෙයි.

“විදේශ ප්‍රතිපත්ති අංශයේ කලින් අනුගමනය කරමින් තිබුණ සාම්ප්‍රධායික ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත්ව දැන් චීන සාධකය නිසා බරපතල වෙනසක් සිදුවෙමින් පවතිනවා” ආචාර්ය ජයතිලක පවසයි.

මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සහයෝගය දක්වන අතරම ශ්‍රී ලංකා-චීන සුවිශේෂී සබඳතා අගයකරන වත්මන් පොදු පෙරමුණු රජයේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය “ශ්‍රී ලංකාව චීනයට කිට්ටුවීම දකින්නේ ශුභවාදී වර්ධනයක්” ලෙසය.

තම පක්‍ෂය වරාය නගර ව්‍යාපෘතියට උපරිම සහයෝගය දක්වන බව එම පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ ඩිව් ගුණසේකර ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි.

ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරුන්ගේ හමුවක්

ශ්‍රී ලංකාව මේ ගමනේ දී ‘චීන කොලනියක්’ බවට පත්විය හැකි බවට සමාජයේ ඇතැම් කොටස් මතුකරන සැකය සහ දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලන සැකැස්ම වෙනස්කෙරෙන “චීන ව්‍යාප්තවාදයක්” ගැන පළවෙමින් පවතින මතවාදය ගැන බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ “තම පක්‍ෂය එම මතය බැහැර කරන බවත්, චීනය දකුණු ආසියාව තුළ පමණක් නොව සමස්ත ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයන්හි පමණක් නොව යුරෝපයේ පවා ආර්ථික සබඳතා පවත්වන” බව සදහන් කළේය.

“අද ලෝකයේ බලවත්ම ආර්ථික හැකියාව සහිත රට චීනය. චීනය ශ්‍රී ලංකාව වගේ රටවල් සමඟ පමණක් නොවෙයි, ඔස්ට්‍රේලියාව,ජපානය සහ දකුණු කොරියාව වගේ ධනවාදී කඳවුරේ රටවල් සමඟත් ආර්ථික සබඳතා පවත්වනවා. පසුගියදා චීනය ආර්ථික ගිවිසුම් අත්සන් කළ රටවල් දහයට ඔස්ට්‍රේලියාවත් ඇතුළත්. ඒ නිසා චීනය දකුණු ආසියාවේ මැදිහත්වීම කලාපයේ දේශපාලන සිතියම වෙනස් කිරීමට හේතුවෙන බවට පළවෙන අදහස් සමඟ අපට එකඟවෙන්න බැහැ” ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.

වරාය නගරය

එහෙත් ආචාර්ය දයාන් ජයතිලක මෙම සංවාදය තවත් ඉදිරියට ගෙනයමින් කියා සිටින්නේ, “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ බණ්ඩාරනායක පරපුරේ දේශපාලකයන් පමණක් නොව 2019 තෙක් බලයට පත් සියලුම දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරන ලද පිළිවෙතේ වෙනසක් සිදුකරමින් වත්මන් ජනාධිපතිවරයා චීන රාජ්‍යයෙන් නොව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් පාඩම් ඉගෙණීමට යොමුවී සිටින” බවයි.

“මෙය ප්‍රකාශයට පත්වන්නේ කොළඹ සිටින චීන ජනාධිපතිවරයාගේ ලිපි මගින් ‘Daily FT’ පුවත්පතට සපයන ලද ලිපියක් මගින් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා, පසුගිය මාර්තු 29 දින දෙපාර්ශ්වය අතර පැවැති දුරකථන සාකච්ඡාවේ දී චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ එම ආණ්ඩුවේ අත්දැකීම් ඉගනීමට තමාගේ විශේෂ කැමැත්තක් ඇති බව ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති ජි ෂින් පිං සමඟ සඳහන් කළ බවක්. ලංකාව කොතරම් චීනයට ලංව සිටියත් මින්පෙර කිසිම නායකයෙක් චීන කොම්යුනිස්ට් පක්ෂයේ ආණ්ඩුකරණය ගැන ටියුෂන් ගැනීමට ඉදිරිපත්වෙලා නැහැ” ආචාර්ය ජයතිලක සඳහන් කළේය.

“එය ශ්‍රී ලංකා-චීන සමීකරණයේ වෙනස්වීමක්. ඒ අනුව චීන සබඳතා අනිත් සබඳතා ඉක්මවා යමින් පවතිනවා. ඒ සමඟ සිදුවෙන්නේ ඉන්දියානු සම්බන්ධය පහත වැටීම” ආචාර්ය දයාන් ජයතිලක නිගමනය කරයි.

ආචාර්ය දයාන් ජයතිලක (මැද) රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය
 

“අද ලෝකයේ ලොකුම නිෂ්පාදකයා, ආයාත සහ නිර්යාත ආර්ථිකයේ හිමිකරු වන්නේ චීනය. ලොකුම විදේශ සංචිත ප්‍රමාණය අයත් රටත් චීනය. එම ආර්ථිකය පාලනය කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින්. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ සමාජවාදී රටක්, සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කරනු ලැබීම. එය ඉලක්ක සහගත සැලසුම් සහගත් ගමනක්. ඒ සම්බන්ධයෙන් ධනවාදී ලෝකය තුළ මනාපයක් නැහැ. තියෙන්නේ භීතියක්” යනුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පැවසීය.

එවැනි පසුබිමක් යටතේ එකී ධනවාදී ලෝකය, කලාපයට පිවිසීමට ඉන්දියාව දොරටුවක් කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින්නේදැයි විමසු විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ, කලින් නේරු සහ ගාන්ධිවරුන්ගේ පාලන සමයන්හි ඉන්දීය නායකයන් විසින් අනුගමනය කරන ලද ප්‍රගතිශීලී නිදහස් සහ නොබැඳි පිළිවෙත මේවනවිට අංශක 180කින් වෙනස්ව ඇති බවය.

“මෝදි පාලනය යටතේ එය වේගවත් වුනා. අන්න එතැනින් තමයි, කලාපයේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් පිටස්තර බලවේග ප්‍රවේශ වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ශාන්තිකර කලාප වැඩසටහනට ඉන්දියාවත් ඈඳාගත්තා. ඉන්දියාව විතරක් නොවෙයි, අනිත් පැත්තෙන් වියට්නාමයත් ඊට එකතුකර ගැනීමට ඇමෙරිකාව උත්සාහ කළා,”

එහෙත් මේ මොහොතේ කලාපීය භූදේශපාලනයට සෘජුව බලපාන දේශපාලන ත්‍රිකෝණයක් නිර්මාණය වෙමින් පවතින බව ආචාර්ය දයාන් ජයතිලකගේ තක්සේරුව වී ඇත. හිටපු තානාපතිවරයා පවසන පරිදි එම ත්‍රිකෝණය නිර්මාණය වන්නේ චීනය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනේ දිසානතිය අනුවයි.

“ඇත්තෙන්ම මෙය කලාපයේ අලුත් භූ දේශපාලන රටාවක්. එය ගොඩනැගෙන්නේ බේජිං, ඉස්ලාමාබාද් සහ කොළඹ පාලනයේ උවමනාව අනුවයි” ආචාර්ය ජයතිලක පවසයි.

“මේ ප්‍රවනතාව ඉන්දියාව කොයි විධියට දකීවිද යන්න අපි තවම දන්නේ නැහැ. අනිත් අතින් චීනය සිය තරඟකරුවන් හෝ පසමිතුරන් ලෙස සලකන රටවල් කලාපයට ප්‍රවේශවෙමින් සිටිනවා. අපි දේශපාලන චතුරශ්‍රය ලෙස හඳුන්වන එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළත් ‘QUAD’ රටවල් ආසියා-ශාන්තිකර කලාපයට පිවිසෙන විට සේද මාවතේ ගමන්ගනිමින් සිටින බේජිං ව්‍යාපෘතිය එකට මුණගැසෙන්න පුළුවන්,”

චීනය ආසියා-ශාන්තිකර කලාපය තුළ පමණක් නොව අප්‍රිකාව ඇතුළු පුළුල් ලෝක වපසරියක සිය ආයෝජන වපුරමින් සිටින අතරවාරයේ කලාපයේ අධිපත්‍යය සඳහා කටයුතු කරන “වෙනත් කණ්ඩායම්” ගැනත් සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් අදහස් කරන්නේ ඉහත කී “චතුරශ්‍රය” විය හැකිය.

දකුණු ආසියාව තම “වැයික්කිය” ලෙස සලකන ඉන්දියාව නව තත්වයන් අනුව ඇමෙරිකානු කඳවුරට වේගයෙන් සමීපවීමේ ලෝක දේශපාලන රටාවක් ඇතිවිය හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

වෛද්‍ය ජී.වීරසිංහ

ශ්‍රී ලංකාව කිසිදු බලවතකු සමඟ සන්ධානගත වීමකින් තොරව දුරස්ථ සම්බන්ධයක් පවත්වා ගනු ලැබීම මූලෝපායී වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ පවසයි.

ඉහත කී හැඩගැසීම් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම කෙරෙහි සෘජුව බලපාන ආකාරය සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය දයාන් ජයතිලක, “එය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනය විසින් ගනු ලබන තීන්දුවලට සමාන්තරව” යයි සඳහන් කළේය.

“උදාහරණයක් විධියට ලංකාව පළාත් සභා ක්‍රමය අහෝසි කළොත්, එහි බලතල අඩු කළොත් ඒක තමිල්නාඩුවේ අප්‍රසාදයට හේතුවෙනවා. ඒ සමඟ එම බලපෑමට නව දිල්ලියට බලපෑමක් වෙනවා. 1980 දශකයේ ඉන්දියාව උතුරු-නැගෙනහිර ප්‍රශ්නවලදී ගත් පියවර අමතක කරන්න නරකයි,”

“අපේ තක්සේරුව අනුවත් එවැනි අනතුරක් අපි දකිනවා” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ද පවසයි.

“ඇත්තෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් සහභාගී වන්නේනම්, ඒ සඳහා එවැනි සංවේදී කරුණු ඊට බලපාන” බව වෛද්‍ය ජී වීරසිංහ පෙන්වා දෙයි.

“2009 වසරේ යුද්ධය නිමවුනත් දමිළ ජනයාගේ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ. ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමෙන් ස්ථාපනය කෙරුණ උතුරු-නැගෙනහිර පළාත් සභාව වෙන්කෙරුනා. අද පළාත්සභා අක්‍රීයයි .කොමිෂන් සභා විසින් නිර්දේශ කරන ලද යෝජනා ක්‍රියාත්මක කෙරුණේ නැහැ. දමිළ ජනයාගේ සමාජ-ආර්ථික ගැටලු උග්‍රවෙමින් පවතිනවා. එවැනි පරිසරයක් තුළ නැගෙන විරෝධය ඉන්දියාව වැනි බලවේගයන්ට පිවිසිය හැකි මට්ටමින් නරක දිශාවකට ගමන් ගැනීමට පවතින ඉඩකඩ අපි තේරුම් ගන්නවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here