කොරෝනා එන්නත: පළමු තොගය බ්‍රිතාන්‍යයේ හෙළි නොකළ තැනකට; ශ්‍රී ලංකාවට එන්නේ කවදාද…?

0
236
කොරෝනා එන්නත: පළමු තොගය බ්‍රිතාන්‍යයේ හෙළි නොකළ තැනකට; ශ්‍රී ලංකාවට එන්නේ කවදාද…?

කොවිඩ් 19 වසංගතයට නිශ්චිත විසඳුමක් ලැබෙනතුරු මග බලා සිටි මානව වර්ගයාට සුභ ආරංචියක් ලැබී තිබේ.

කොරෝනාවෛරසයට එරෙහිව තැනුණු එක් එන්නතකට නිල අනුමැතිය ලැබුණි. ඒ Pfizer සමාගම විසින් සංවර්ධනය කරනු ලැබූ එන්නතයි.

බෙල්ජියමේ තැනූ එම එන්නතෙහි පළමු තොගය මේ වන විට එක්සත් රාජධානියට ගොඩබා ඇති අතර එය මුලින්ම ගෙන ගොස් ඇත්තේ හෙළි නොකළ මධ්‍යස්ථානයකට ය.

දැන් එය ජන භාවිතයට අවසර ඇති එන්නතකි. එය මුලින්ම මහ ජනතාවට ලබා දෙන රට බවට පත්වන්නේ එක්සත් රාජධානියයි. ලබන සතියේ පටන් එය ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සුදානම් ය.

නමුත් මෙය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කවදා ද? මෙම එන්නත ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බෙදාහැරිය හැකි වේද? මෙම සුභ ආරංචිය තුළ සැඟවුණු ‘ජය ගැනීමට අසීරු අභියෝග’ මොනවාද? දැන් කොරෝනා ජය ගත හැකිද?

එන්නතක් නිපදවීම සඳහා සංකල්පය පහළ වූ දා පටන් එය යථාර්ථයක් බවට පත්වීමට සාමාන්‍යයෙන් වසර දහයක පමණ කාලයක් ගතවනු ඇත. නමුත් මෙම එන්නත යථාර්ථයක් බවට පත්වීමට ගත වී ඇත්තේ මාස දහයක් පමණි.

ඒ අනුව අඩුම කාලයකින් යථාර්ථයක් බවට පත් වූ එන්නත ලෙස ද මෙය වාර්තාගත වනු ඇත.

Getty Images
 

අප කවුරුත් මග බලා සිටියේ ඒ දිනය එලැඹෙන තුරු ය.

එන්නතක් සංවර්ධනය කොට එය සාර්ථක වීමෙන් අනතුරුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ එය ලෝක ජනගහනයට සරිලන පරිදි මහා පරිමාණයෙන්, කඩිනමින් නිෂ්පාදනය කිරීමයි. ඊළඟ අභියෝගය ලොව අස්සක් මුල්ලක් නෑර එය බෙදා හැරීමයි.

ෆයිසර් එන්නත මෙහිදී අසීරුතම අභියෝගයකට මුහුණ දෙනු ඇත. ඊට හේතුව එය ශරීරගත කරන තුරු ඉතා අඩු උෂ්ණත්වයක ගබඩා කර තැබීමයි.

කෙතරම් අඩු උෂ්ණත්වයක් දැයි සඳහන් කරන්නේ නම් එය සෙල්සියස් අංශක සෘණ 70කි. (-70 C)

අප සාමාන්‍යයෙන් නිවසක භාවිතා කරන අධිශීතකරණයක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 20 සිට සෘණ 25 අතර ප්‍රමාණයකි.

මෙම එන්නත බෙදාහැරීමේ සහ ගබඩා කර තැබීමේ පහසුකම් සැපයීම, දියුණු වෙමින් පවතින හෝ දිළිඳු රටවලට අතිශය අසීරු කටයුත්තක් වනු ඇත.

Pfizer එන්නත බෙදා හැරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට අසීරු රටවලට සිදු වන්නේ කුමක්ද? ඔවුනට ද සුබ ආරංචියක් පවතී.

UNIVERSITY OF OXFORD
 

තවත් එන්නත් දෙක තුනක් අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබේ. ඉන් ඉදිරියෙන් ම සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරනු ලැබූ එන්නතයි.

එය සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තැබිය හැකි එන්නතකි.

නමුත් Pfizer එන්නත සහ Oxford එන්නත සසඳා බැලීමේදී එහි ඵලදායී බවේ ද වෙනසක් පවතී. මෙම එන්නත් දෙකම අදියර දෙකක දී ශරීරගත කළ යුතුය.

Pfizer එන්නත මගින් කොවිඩ් 19ට එරෙහිව 95%ක ආරක්ෂාවක් සැපයෙන බව තහවුරු කර ඇත.

නමුත් Oxford එන්නත තහවුරු කර ඇත්තේ 70%ක පමණ ආරක්‍ෂාවකි. (අදියර දෙකම සම්පුර්ණ මාත්‍රාව බැගින් ලබා දුන් විට ඵලදායීතාවය 62%කි. පළමු අදියරේ දී මාත්‍රාවෙන් අඩක් සහ දෙවන අදියරේ දී සම්පුර්ණ මාත්‍රාවම ලබා දුන් විට ඵලදායීතාවය 90%කි. මෙහි දල ප්‍රතිශතය 70%ක් ලෙස දැක්වේ.)

තවත් විකල්පයක ආලෝකයක් දැල්වෙමින් පවතී. ඒ ඇමරිකාවේ Moderna සමාගම සංවර්ධනය කළ එන්නතයි. එය ද අදියර දෙකකින් ලබා දිය යුතු එන්නතකි.

එහි ඵලදායීබව 95%ක් වන බවට තහවුරු වී ඇති අතර සෙල්සියස් අංශක සෘණ 20ක (-20C) උෂ්ණත්වයක් යටතේ මාස හයක කාලයක් ගබඩා කර තැබිය හැකිය. එවැනි උෂ්ණත්වයක් සඳහා සාමාන්‍ය අධිශීතකරණ භාවිතා කළ හැකිවනු ඇත.

“අපිට ප්‍රාතිහාර්ය පාන්න බැහැ”

PROF INDIKA KARUNATHILAKE

මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුළු දිවයිනම ආවරණය වන පරිදි එන්නතක් දියත් කිරීම ලබන වසර අග දක්වා කල් යා හැකි බවයි.

“මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අපි සපයා ගත යුතු වෙනවා. නියමිත උෂ්ණත්වය යටත් ප්‍රවාහන කටයුතු සහ ගබඩා පහසුකම් අවශ්‍යයි. මේවා මුළු රටටම අවශ්‍ය ප්‍රමාණයෙන් ක්ෂණිකව ලබා ගන්න බැහැ.”

අවශ්‍ය පහසුකම් සපයා ගත් පමණින් රටේ මුළු මහත් ජනතාවටම සෑහෙන එන්නත් ප්‍රමාණය ලැබෙන්නට කෙතරම් කාලයක් ගතවේද යන ප්‍රශ්නයට තවමත් නිශ්චිත පිළිතුරක් දිය නොහැකිය.

ඊට හේතුව, ලෝකයේ සෑම රටකටම ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් එකවර නිෂ්පාදනය කළ හැකි තරමේ ධාරිතාවක් සහිත ඖෂධ සමාගමක් ලොව තවමත් බිහිවී නොමැති වීමයි.

එම නිසා යම් එන්නතක් සංවර්ධනය කළ රටට හෝ ඒ සඳහා ආයෝජනය කළ රටවලට මුල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කර ගැනීම වැළක්විය නොහැකිය.

මෙවැනි තත්වයක් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී සෑම රටකටම පාහේ යම් ප්‍රමාණයකින් හෝ එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා කටයුතු කරමින් සිටී.

එම නිසා ශ්‍රී ලංකාවට ද කොරෝනා එන්නතක් ලැබෙනු ඇත්තේ වරින් වර කොටස් වශයෙනි. එම නිසා තවත් සැලකිය යුතු කාලයක් කොරෝනාවෛරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇත.

තවත් සැලකිය යුතු කාලයක් කොරෝනාවෛරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇත
 

“එන්නතකට අනුමැතිය ලැබුනා කියන්නේ හොඳ ආරංචියක් තමයි. ඒත් ඒ මත සියල්ල රඳා පවතින්නේ නැහැ. එන්නත ආවත් අපි සියලු සෞඛ්‍ය ආරක්ෂක පුරුදු ඒ ආකාරයටම කරගෙන යා යුතුයි.” මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය.

දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසයට එරෙහිව මහා පරිමාණයෙන් එන්නතක් දියත් කිරීම සඳහා 2021 වසරේ අවසානය දක්වා බලා සිටීමට සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

කොරෝනාවෛරසයට එරෙහිව තැනූ Pfizer එන්නත නිල වශයෙන් අනුමත කළ ලොව පළමු රට එක්සත් රාජධානිය යි.

කොවිඩ් 19 රෝගයට එරෙහිව 95%ක ආරක්ෂාවක් මෙම එන්නත මගින් සැපයෙන බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අධිකාරිය සනාථ කළේය.

බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එක්සත් රාජධානියට ලැබෙන පළමු තොගයේ එන්නත් මාත්‍රා අටලක්‍ෂයක් පවතින බවයි.

කෙසේ නමුත් ඇනවුම් කර ඇති මුළු ප්‍රමාණයෙන් වැඩිම තොගය එක්සත් රාජධානියට ද ලැබෙන්නේ ලබන වසර තුළදී ය.

ඇනවුම් කර ඇති මුළු මාත්‍රා ප්‍රමාණය මිලියන 40කි. එක් පුද්ගලයෙකු වාර දෙකකදී එන්නත් කළ යුතුව පවතින හෙයින් මෙම තොගය සෑහෙන්නේ පුද්ගලයන් මිලියන 20කට පමණි.

ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහලින් ම සිටින්නේ වැඩිහිටි නිවාසවල වාසය කරන්නන් සහ ඔවුන් රැක බලාගන්නා සෞඛ්‍ය සේවක සේවිකාවන් ය.

වරින් වර ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ ද එවැනි ක්‍රමවේදයක් අනුව පුද්ගලයන් වර්ග කොට ප්‍රමුඛතා ලැයිස්තුවක් පිළියෙළ කිරීමට සිදු වනු ඇති බව මහාචාර්ය කරුණාතිලක බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී පැවසීය.

“එන්නතක් එනවා කියන ප්‍රවෘතිය අහපු ගමන් දැනට පවතින අවදානම සරලව ගන්න හොඳ නැහැ. එහෙම වුනොත් එන්නත එන්න කලින් මුළු රටම අමාරුවේ වැටෙනවා. තව අවුරුද්දක්වත් අපි පරිස්සමින් ඉවසීමෙන් කටයුතු කරගෙන යන්න ඕන.”

“අමරිකාවටවත් එංගලන්තෙටවත් තවම බැහැ රටේ හැමෝටම එක පාර එන්නතක් දෙන්න. ඒ නිසා අපිට ප්‍රාතිහාර්ය පාන්න බැහැ.” මහාචාර්යවරයා පැවසීය.

PHOTONEWS

Pfizer එන්නතින් දීර්ඝ කාලීන ආරක්ෂාවක් ලැබේ ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට හැකියාවක් නැත. එය නිශ්චිතව දැන ගැනීම සඳහා යම් කාලයක් ගත වනු ඇත.

ප්‍රතිශක්තිය වැඩි කාලයක් රඳා නොපවතී නම් මෙම එන්නත වසරක් පාසා ලබා ගැනීමට සිදු වනු ඇත.

මෙම එන්නත මගින් සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන් එක හා සමානව ආරක්ෂා කරන්නේ ද යන්න තවමත් දත්ත මගින් පැහැදිලි වී නැත.

නමුත් මූලික අධ්‍යයනවලින් යෝජනා කෙරෙන්නේ තරුණ සහ මහලු යන දෙපාර්ශවයේ ම ප්‍රතිශක්තිය මීට ප්‍රතිචාර දක්වා ඇති බවයි.

එමෙන්ම, මෙම එන්නත ලබා දිම සඳහා නුසුදුසු පුද්ගලයන් ද සිටිය හැකිය. උදාහරණයක් ලෙස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල පුද්ගලයන්ට මෙම එන්නත ලබා දිය නොහැකිය.

මහාචාර්ය ඉන්දික කරුණාතිලක කියා සිටියේ යම් එන්නතකින් ඇතිවිය හැකි දීර්ඝ කාලීන අතුරු ආබාධ පිළිබඳව නිශ්චිතව දැනගැනීමට නම් සැලකිය යුතු කාලයක් ගතවන බවය.

“එන්නතක් එලියට දාන්න අවුරුදු ගානක් ගත වෙන්නේ ඒකයි. මේ එන්නත ලෝක වසංගතයක් හමුවේ වේගවත් වුනා. අපි තවම සියයට සීයක් දන්නේ නැහැ දීර්ඝ කාලීන අතුරු ආබාධ ගැන. නමුත් මේ අවස්ථාවේ තියෙන හොඳම පිළියම තමයි මේ අරගෙන තියෙන්නේ.”

ඖෂධ කිසිවක් 100%ක් සුරක්ෂිත නොවේ. අප ලබා ගන්නා පැරසිටමෝල් පෙත්තේ ද අවදානමක් පවතී.

Pfizer එන්නත පිළිබඳව මෙතෙක් ලැබී ඇති දත්ත අනුව අනුව පෙනී යන්නේ 43,500ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීමේ දී, සුළු අතුරු බලපෑම් වාර්තා වුව ද කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු නොවූ බවයි.

යම් හෙයකින් භයානක, පොදු ප්‍රතිවිපාක වූයේ නම්, ඒවා දෘශ්‍යමාන විය යුතුව තිබුණි.

කෙසේ නමුත්, මිලියන ගණනක් ජනතාවට මෙම එන්නත ලබා දීමේ දී විරල අතුරු ආබාධ වාර්තා විය හැකි බව විශේෂඥ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here