ශ්‍රී ලංකාවේ HIV අවදානම යොවුන් තරුණයන් අතරටත්: “බාල පරපුර කලින් ම ලිංගික ඇසුරට”

0
337
ශ්‍රී ලංකාවේ HIV අවදානම යොවුන් තරුණයන් අතරටත්: “බාල පරපුර කලින් ම ලිංගික ඇසුරට”

“මුලදී අපට වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුණේ වයස අවුරුදු 35ත් 45ත් අතර වයස් කාණ්ඩයේ. 2010 වසරෙන් පස්සේ මේ තත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වනවිට වැඩිම පිරිස වාර්තා වුණේ වයස අවුරුදු 25ත් 35ත් අතරින්. දැන් ඒක තවත් පහළට බසිමින් පවතිනවා. දැන් වයස අවුරුදු 18 – 19 අයත් වාර්තා වීමට පටන් අරගෙන තියෙනවා.”

ශ්‍රී ලංකාවේ සිටින HIV ආසාදිතයන් පිළිබඳව ලැබී ඇති නවතම දත්ත වාර්තා විශ්ලේෂණය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග සාකච්ඡාව ආරම්භ කළේ නව යෞවනයන් අතරට පවා HIV පැමිණීමේ අවදානමක් ගැන අනතුරු අඟවමිනි.

“ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. මේ අයගේ විස්තර සොයා බලද්දී අපට වැටහෙනවා අද යොවුන් වියේ සිටින්නන් කලින් ම ලිංගික ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන බව. අපේ සංස්කෘතිය ගැන අපි කොයි තරම් කතා කළත් අපිට පිළිගන්න වෙනවා අද බාල පරම්පරාව වෙනත් රටවල වගේම ලිංගික ක්‍රියාවන් සඳහා කලින් ම යොමු වෙමින් පවතින බව.” ඔහුගේ පැහැදිලි කිරීම ඉදිරියට ගෙන ගියේ මේ අයුරිනි.

Thinkstock

“යොවුන් වියට පා තබන විට ලිංගික අවශ්‍යතා හෝ හැඟීම් මතු වීම අතිශය සාමාන්‍ය සහ ස්වභාවික දෙයක්. ඒ වයසේදී ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසයි ඒක සිදු වන්නේ. නමුත් බටහිර රටවල් ඒක තේරුම් අරගෙන ඒ වයසට එන විට ලිංගිකත්වය පිළිබඳව ළමයාගේ දැනුම සම්පුර්ණ වන ආකාරයට ඔවූන්ගේ අධ්‍යාපනයට ඒ විෂය එකතු කරලා තියෙනවා.”

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ එවැනි තත්වයක් නොතිබීම “අවාසනාවන්ත තත්වයක්” වන අතර නිසි වයසේ දී ලිංගිකත්වය පිළිබඳව නිසි දැනුමක් නොලැබීම හේතුවෙන් HIV ආසාදනය වීම වැනි ඉරණමකට ද ඔවුන් ගොදුරු විය හැකි බවට වෛද්‍ය දයානාත් රණතුංග අනතුරු අඟවයි.

“අපේ රටේ සංස්කෘතික කාරනා ඉස්සරහට අරගෙන ළමයට අවශ්‍ය දැනුම නිසි කලට ලබා දීම පස්සට දාල තියෙනවා.”

“හැබැයි, ලංකාවේ දැන්වීම් කලාව, ටෙලි නාට්‍ය ඇතුළු සියලු දේ තුළ බොහෝ විට තියෙන්නේ ලිංගිකත්වය අවුස්සන දර්ශන. ඒ වගේ දේවලින් සිදුවන අවාසනාවන්තම දේ තමයි, නිසි දැනුමක් ලබා නොදී අපි යෞවනයා උත්තේජනය කිරීම.”

Facebook/Dr Dayanath Ranathunga
ඡායාරූප ශීර්ෂ වැකිය,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග

ළමා පරපුර අන්තර්ජාලයෙන් ඈත්කර තැබීමට දෙමාපියන් වගබලා ගත යුතු බවට ඇතැමුන්ගෙන් ලැබෙන අවවාද අනුසාශනා පිළිබඳව ද විමසීමට මෙහිදී අමතක නොකළෙමි.

“අපි ළමයින්ගෙන් අන්තර්ජාලය ඈත් කරන්නයි හදන්නේ. අන්තර්ජාලය හොඳ විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක කියල දෙන්නේ නැහැ. වෙනත් රටවල කියල දෙනවා තමන්ට සමීපතයන් සමඟ කතා කරන්න බැරි දෙයක් කොහොමද අන්තර්ජාලය භාවිතා කරලා දැනුවත් වෙන්නේ කියල. ස්මාට් ෆෝන් දෙන්න එපා! ඉන්ටනෙට් දෙන්න එපා! කියන එක විතරයි අපි කරන්නේ,” වෛද්‍ය දයානාත් රණතුංග ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ළමුන් අන්තර්ජාලය භාවිතා කිරීමට පෙළඹීමේ දී දෙමාපියන්ට විශාල වගකීමක් පැවරෙන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නීය.

දරුවන්ගේ හොඳම මිතුරා බවට පරිගණකය පත් වී ඔවුන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳම මිතුරා බවට පත් විය යුතු බව ඇය අවධාරණය කළාය.

එමගින් වයසට සරිලන ලිංගික දැනුමක් දරුවාට ලබා දීම සඳහා දෙමාපියන්ට ම හැකියාවක් ලැබෙන බව ඇය පෙන්වා දෙන්නීය.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

“නව යොවුන් වියට එළැඹෙද්දී හෝමෝන වෙනස් වීමත් සමඟ ලිංගික උත්තේජන පිළිබඳ හැඟීම් ඇති වෙනවා. ලිංගිකත්වය උත්තේජනය කෙරෙන දර්ශන නැරඹීමේ දී මේ දරුවන්ගේ මොළයේ ‘Riwards and pleasure Centre’ උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට පවා ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා,” විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ “ටෙලි නාට්‍යවලට නැති වාරණයක් අධ්‍යාපනික වැඩසටහන් සඳහා” පවතින බවට වෛද්‍ය දයානාත් රණතුංග චෝදනා කරයි.

“ඒක තමයි මේ රටේ පවතින අවාසනාවන්ත ම දෙය.” ඔහු ප්‍රකාශ කළේය.

“සංස්කෘතික කාරනාවලට මුවා වෙලා”

“බහුතරය විසින් පිළිගන්නා සංස්කෘතික කාරනාවලට මුවා වෙලා සත්‍ය තොරතුරු සහ දැනුම ළමයා වෙත ගලා යාම නතර කරලා තියෙනවා. ඒ නිසා ලිංගාශ්‍රිත රෝග ළමුන් අතර ව්‍යාප්ත වෙනවනම් වැඩිහිටියන් හැටියට අපි හැමෝම ඒකට වග කියන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ,” වෛද්‍යවරයා තම ස්ථාවරය පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයෙකු හමු වූයේ 1987 වසරේදී ය. ඉන් අනතුරුව HIV රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූයේ විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස අතරිනි.

නමුත් මේ වන විට ඊට වෙනස් නැඹුරුතාවයක් පවතින බව වාර්ෂික වාර්තා අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි.

“මේක දැන් බෝවීම වැඩි පුර සිද්ධ වෙන්නේ රට ඇතුළෙමයි.” වෛද්‍ය රණතුංග ද එම වාර්තා අනුමත කළේය.

Getty Images

ප්‍රජනන සෞඛ්‍යය සහ ලිංගික දැනුම

නවතම දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර එච් අයි වී ආසාදනය ඉහළ ගොස් ඇති බවය.

සමරිසි ප්‍රජාව කෙරෙහි බහුතර ලාංකිකයන් දරන වැරදි ආකල්පය සහ ඔවුන් කොන්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර HIV ව්‍යාප්තිය ඉහළ යාමට අවශ්‍ය වටපිටාව සැකසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග ගේ මතයයි.

Getty Images

“සම ලිංගිකත්වය පිළිබඳව තවමත් අපේ රටේ කතා කරන්නේ දොරවල් වහගෙන. විවෘතව කතා කරන්නේ නැහැ. අපේ ආකල්පයක් තියෙනවා එක් ලිංගික චර්යාවක් හොඳයි, තවත් චර්යාවක් නරකයි කියල. එහෙම හිතන තාක් කල් එතනම කොන් කිරීමක් තියෙනවා. ඒ නිසා සමරිසි පුද්ගලයන් සමාජයෙන් ඒක සඟවාගෙන ඉන්න උත්සාහ දරනවා. ඒ නිසා තමයි මේ ලිංගාශ්‍රිත රෝග පවා ව්‍යාප්ත වීම වලක්වා ගන්න තියෙන අවස්ථාවන් අපට ඇහිරිලා තියෙන්නේ.” ඔහු පැහැදිලි කළේය.

සැඟවී ඉන්න උත්සාහය

“ඔයා සුදු පාටට කැමති වෙන්න පුළුවන්, මම කළු පාටට කැමති වෙන්න පුළුවන්. කවුරු හරි හිතනවානම් විෂම ලිංගික ක්‍රියාව තමයි ලෝකයේ තියෙන ඉහළම දේ, සමලිංගික ක්‍රියාවල යෙදෙන්නේ දුර්වල මිනිස්සු කියල ඒක සම්පුර්ණයෙන් වැරදියි. එහෙම ආකල්ප සමාජය තුළ පවතින තාක් සමරිසි අය සැඟවී ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි HIV පවා ඔවුන් අතර පැතිරෙන්නේ. ඔවුන්ට අධ්‍යාපනයක් දෙන්න තියෙන අවස්ථාව ඇහිරෙනවා.”

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here