කොරෝනා වෛරසය: ආ ගිය තැන් ගැන තොරතුරු ගබඩා කරන නව ක්‍රමවේදයක් ලබන සතියේ ඇරඹෙයි…

0
312
කොරෝනා වෛරසය: ආ ගිය තැන් ගැන තොරතුරු ගබඩා කරන නව ක්‍රමවේදයක් ලබන සතියේ ඇරඹෙයි…

කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගමන් කළ ස්ථාන කඩිනමින් සහ නිවැරදිව හඳුනා ගැනීම සඳහා නොවැම්බර් 09 (සඳුදා) දින සිට තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

එය නම්කර තිබෙන්නේ “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටෙල් ව්‍යාපෘතිය ලෙසිනි.

මහජනයා ගැවසෙන ස්ථානයකට පුද්ගලයෙකු ඇතුළත් වීමේදී දැනට අනුගමනය කරන ක්‍රමවේදය වනුයේ ඔහුගේ නම, ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය සහ දුරකථන අංකය එහි තබා ඇති පොතක සටහන් කිරීමය.

ඒ වෙනුවට, යම් පරිශ්‍රයකට පුද්ගලයෙකු ඇතුළු වූ විට ඒ බව සන්නිවේදන තාක්ෂණය හරහා රජයේ දත්ත පද්ධතියක තොරතුරු සටහන් කිරීම නව ක්‍රමවේදය අනුව සිදුවේ.

ස්මාට් ජංගම දුරකතනක් ඇති අයට මෙන්ම ස්මාට් නොවන පැරණි දුරකථන භාවිත කරන අයටත්, දුරකතනයක් නොමැතිව පැමිණෙන අයටත් තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

”ස්මාට් ෆෝන් වලට QR කෝඩ් ස්කෑන් කිරීම හරහා වගේම ස්මාට් නොවන දුරකථන වලට SMS හරහා ට්‍රැකින් සිස්ටම් එකක් තමයි අපි හඳුන්වා දෙන්නේ. තමන් යම් ස්ථානයකට ඇතුල් වීමේදී එම ස්ථානය හඳුන්වන ‘කෝඩ් අංකය’ ජංගම දුරකතනයට ඇතුල් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනවා. ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ආගිය තැන දැනගන්න ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට මේක ඉතා පහසු වෙනවා.” යනුවෙන් හිරන්‍ය සමරසේකර විස්තර කළේය.

හිරන්‍ය සමරසේකර - ප්‍රධාන තාක්ෂණ නිලධාරී (ICTA)
 

ආයතනයක් ලියාපදිංචි කෙරෙන ආකාරය

www.staysafe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළුවීමෙන් පළමුව ආයතනය ලියාපදිංචි කරගත යුතුය. එවිට සෑම ආයතනකටම අනන්‍ය වූ QR කේතය [QR කෝඩ්] ලැබෙනු ඇත. ආයතනයේ නම, එහි ප්‍රධානියෙකුගේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් වේ. එම කේතය මුද්‍රණය කරගෙන අදාළ පරිශ්‍රයට ඇතුළු වන අයට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අදාළ තොරතුරු ඔබට ලැබෙනු ඇත.

ස්මාර්ට් ජංගම දුරකතනයකින් යම් ස්ථානයක QR කේතය ස්කෑන් කිරීමෙන් පසු දකුණු පස දිස්වන පෝරමය ලැබේ.

ආයතනයට ඇතුළුවන පුද්ගලයන්ගේ දත්ත එක්රැස් කිරීම

එක් ස්ථානයකට ඇතුළු වන අවස්ථාවේදී අප ලියාපදිංචි වීමෙන් පසු දිවයිනේ ඕනෑම ස්ථානයකට යළි ලියාපදිංචියකින් තොරව ඇතුළත් වීමට හැකියාව ලැබේ. මේ සඳහා කිසිඳු App එකක් බාගත කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

”ස්මාට් ජංගම දුරකථන භාවිත කරන අයට තිබෙන්නේ අදාළ ස්ථානයේ QR කේතය [Location ID] ‘ස්කෑන්’ කර ලැබෙන පෝරමය පිරවීමයි. ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම විතරයි ඊට ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පසු ඔබ වෙනත් ස්ථානයකට ගිහින් එතන තියෙන QR කෝඩ් එක ස්කෑන් කරපු ගමන් ඔටෝ මැටිකලී ලොග් වෙනවා.” යනුවෙන් හිරන්‍ය සමරසේකර වැඩිදුරටත් විස්තර කළේය.

ස්මාට් නොවන ජංගම දුරකතනයක් භාවිත කරන අය පළමුව කළ යුතු වන්නේ තමන්ගේ දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීමයි. එම ලියාපදිංචියෙන් පසුව SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය.

දුරකතනයක් භාවිත නොකරන අයෙක් නම් අදාළ පරිශ්‍රයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔවුන් සතු ජංගම දුරකතනයකින් ඊට ඇතුළු වන පුද්ගලයගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට හැකිවන ලෙසද මෙම දත්ත පද්ධතිය සකස් කර තිබේ.

‘IN’ සහ ‘OUT’ දෙකම වැදගත්

යම් ස්ථානයකට ඇතුළුවීමේදී මෙන්ම එම පරිශ්‍රයෙන් පිටවී යාමේදී ද ඒ බව පෙර ලෙසම දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇත.

” එවිට අපි දන්නවා ඔහු එම ස්ථානයේ රැදී සිටි කාලය. කොරෝනා පොසිටිවි කෙනෙක් එම ස්ථානයට ඇතුළත් වී තිබුණොත් ඔහු ඔබ සමග කන්ටැක් වෙලාද කියලා එකෙන් අපිට නිශ්චිතව දැනගන්න ලැබෙනවා. මේ ක්‍රමය භාවිතය ගැන ඔබට තියෙන ඕනම ගැටලුවක් 1919 අංකයට කතා කරලා විසදගන්න පුළුවන්.” යනුවෙන් හිරන්‍ය සමරසේකර පැවසුවේය.

පුද්ගලිකත්වයට හානියක් ද ?

අපගේ ගමන් තොරතුරු කිසියම් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම තුළින් පුද්ගලිකත්වයට හානි සිදුවේද යන්න සහ තොරතුරු වෙනත් පාර්ශවයකට පත්වන්නේද යන සැකයක් ඇතැම් අයෙකුට මතුවිය හැකි බැවින් බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීය.

”පුද්ගලිකත්වය කියන එක දැනුත් ලොකු අවදානමක තියෙන්න. අපි පොතක විස්තර ලියලා ගියහම ඊට පසුව එන ඕනෑම කෙනෙකුට ඒවා පහසුවෙන් බලාගන්න පුළුවන්. නමුත් මෙතැනදී මේ දත්ත ගබඩා වෙන්නේ රජයට අයත් ක්ලවුඩ් එකක. අපි සහතික වෙනවා මේ තොරතුරු භාවිත කරන්නේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා පමණයි කියලා. අපි ප්‍රයිවසි පොලිසි එකකුත් දාලා තියෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ [ICTA] ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍ය සමරසේකර බීබීසී සිංහල සේවයට සඳහන් කළේය.

සුරක්ෂිත බව සහතික කිරීම

කිසියම් ස්ථානයකට ඇතුළුවීමේදී QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ SMS මගින් 1919 දත්ත ගබඩාවට අදාළ තොරතුර ලැබීමෙන් පසු තමන්ට එම පරිශ්‍රයට ඇතුළත් වීමට අවසර ලැබේද යන්න දුරකතනයේ දිස්වේ. එමගින් ආසාදිතයන් හෝ නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් කිසියම් පරිශ්‍රයකට ඇතුළුවීම අවහිර කළ හැකිය.

මෙය පරිශ්‍රයකට ඇතුළුවන අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්ම එහි සිටින අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද ඉතා වැදගත් වනු ඇත.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගතහොත් ඔහු ගමන් කළ ස්ථානවල ගැවසුණු අයට වහා ආරක්‍ෂිත පියවර ගන්නැයි කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ද මීට ඇතුළත් වේ.

ඇතැම් ආසාදිතයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත තොරතුරු සැඟවීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම දින ගණනාවක් තමන් ආගිය තැන් මතකයේ රදවා ගැනීමේ ප්‍රයෝගික නොහැකියාවක් ද පවතී. එබැවින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය සඳහා මෙලෙස තාක්ෂණික සහය ලබා ගැනීම ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශ්වාසය වී තිබේ.

පරිගණක ඉංජිනේරුවන් සිවු දෙනෙකුගේ ස්වේච්ඡා මෙහෙය

සැලසුම් ඉංජිනේරුවන්

දත්ත විද්‍යාව [Data Science] ඇසුරෙන් එංගලන්තයේ ආචාර්ය උපාධිය හදාරන, කොවිඩ් වසංගතය නිසා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශානක පෙරේරා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග එක්ව ස්වේච්ඡාවෙන් මෙහි මූලික සැළැස්ම සකස් කර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට ඉදිරිපත් කර ඇත. ඉන් පසුව රාජ්‍ය අනුග්‍රහය යටතේ එය තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

”මං හිතන විදියට චීනය කොරෝනා පාලනය කළේ තාක්ෂණය භාවිත කළ නිසා. ඉතිං මට හිතුණා මොනවා හරි දෙයක් අපේ ලංකාවට කරන්න ඕනා කියලා. මුදල් ලාභයක් ගැන නොහිතා යාලුවෝ කිසිම පැකිලීමක් නැතිව මට කිවුවා මේකට උදවු කරන්නම් කියාලා. අපි ICTA ආයතනයට මේ අදහස ඉදිරිපත් කරහම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.” යනුවෙන් ශානක පෙරේරා රුපවාහිනී වැඩසටහනකදී පැවසීය.

මේ ඩිජිටෙල් ව්‍යාපෘතිය සඳහා ආයතන හා පුද්ගලයන් ලියාපදිංචිය නොවැම්බර් 09 වැනි සඳුදා සිට සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here