29 C
Colombo
Saturday, May 24, 2025

නිළි රැජිණ, මාලනී ෆොන්සේකා දිවි සැරියට සමුදෙයි

Published:

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා අද අලු‍යම සිය දිවි සැරියට සමු දුන්නාය.

මියයන විට ඇය 78 වන වියේ පසුවිය.

1947 අප්‍රේල් 30 වනදා කැළණිය ප්‍රදේශයේදී උපත ලද මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා වේදිකාවට අත්පොත් තබනු ලැබුවේ 1963 වසරේදී විල්මට් පෙරේරා විසින් රචනා කොට එච්. ඩී. වීරසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද “නොරථ රථ” වේදිකා නාට්‍යයේ උදුම්බරාගේ චරිතයෙනි.

එතැන් සිට වේදිකා නාට්‍ය 14 කට පමණ රංගණයෙන් දැයක වූ ඇය 1965 දී අකල් වැස්ස නාට්‍යයෙන් හොදම වේදිකා නාට්‍ය නිලිය ලෙස සම්මානයට ද පාත්‍ර වුවාය.

ඉන් අනතුරුව තිස්ස ලියනසූරියගේ පුංචි බබා සිනමා පටයේ මාලා ලෙසින් ඇය සිනමාවට ප්‍රවිශ්ට විය.

එතැන් සිට අඩ සියවසක් තිස්සේ චිත්‍රපට 150 කට රංගනයෙන් දායක වූ මාලිනියන් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන 70, 80 දශකයේ නිලි රුජින ලෙස කිරුලු පැලදියාය.

1980 වසරේදී හිගන කොල්ලා, 1982 වසරේදී ආරාධනා, 1983 වසරේදී යස ඉසුරු යන චිත්‍රපටවල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයට ද පාත්‍ර වූ අතර 2010 වසරේදී ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙකු බවට ද මාලනී ෆොන්සේකා ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.

ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය, අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන චිත්‍රපට හදුන්වා දිය හැකියි.

සිය දිවියේ විශේෂ සනිටුහනක් තබමින් 1984 වසරේදී ඇය සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරනු ලැබුවාය.

1987 වසරේදී අහිංසා සහ 1991 වසරේදී ස්ත්‍රී යන චිත්‍රපටද ඇය අධ්‍යක්ෂණය කරනු ලැබු අතර පසුකාලීනව ඇය රූපවාහිනිටද ප්‍රවිශ්ඨ වූයේ, මැනලද පුතේ කිරි දුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, සහ අඹු දරුවෝ යන ටෙලිනාට්‍ය හරහායි.

පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලි නාට්‍ය වෙනුවෙන් ඇයට සුමති සම්මාන උළෙලේදී හොඳම ටෙලි නාට්‍ය නිලිය ලෙස සම්මාන හිමි විය.

මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පලමු කාන්තාව බවටද පත් විය.

මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්‍රපටය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් ය.

එමෙන්ම 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් වශයෙන් මාලිනි ෆොන්සේකා පාර්ලිමේන්තුව ද නියෝජනය කළාය.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img