කොරෝනා වෛරසය: දෛනික ආදායම් ඉපයූවන් ඇඳිරි නීතිය හමුවේ ජීවිතයට මුහුණ දෙන හැටි…
කොරෝනාවෛරසය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.
ඉන් එක් ක්‍රියාමාර්ගයක් වූයේ ඇදිරි නීතිය පැනවීමය. මේ වන විට කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවල දින නියමයකින් තොරව ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.
සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 16 වෙනිදා පෙරවරු 6.00ට ඉවත් කර නැවත එදින ම පස්වරු 4.00ට යළි පැනවෙනු ඇත.
මෙම තත්ත්වය හමුවේ දෛනිකව ආදායම් ලැබූ පුද්ගලයින් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ පා සිටින බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කිහිප දෙනෙකු ම පැවසීය.
ප්‍රසන්න ධර්මරත්න බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ කරණවෑමියෙකු ලෙස ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකි. දෙදරු පියෙකු වන ඔහුට තිබූ එක ම ආදායම් මාර්ගය එයයි.
සති තුනකට ආසන්න කාලයක් පුරා කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 6කට දින නියමයකින් තොරව පනවා ඇති ඇදිරි නීතිය හමුවේ ඔහුට සිය ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි වී තිබේ.
“මම තනියම මේ ව්‍යාපාරය කරගෙන ගියේ. දැන් ඇදිරි නීතිය නිසා සති ගණනක් මම ගෙදරට වෙලා ඉන්නේ. මේ වෛරසය පැතිරෙන එක වළක්වන්න ආණ්ඩුව ඇදිරි නීතිය දාපු එකේ කිසි වරදක් නෑ. ඒත් ව්‍යාපාරය කරගෙන යන්න විදිහක් නැති නිසා ලොකු ප්‍රශ්නෙක මම ඉන්නේ,” ප්‍රසන්න ධර්මරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
“මේ තත්ත්වය නිසා ළමයි දෙන්නට කන්න දෙන්න බඩු ටිකක් වැඩිපුර ගෙදර තියා ගන්න වෙලා තියෙනවා. බඩු අරගෙන වෙළෙන්දෝ ගෙදර ළගට ආවට ඒවා ගන්න සල්ලි නැති එක තමා ප්‍රශ්නේ. හැමෝ ම ළග සල්ලි හිගකම් තියෙන නිසා කාගෙන්වත් ඉල්ල ගන්න විදිහකුත් නෑ. රස්සාවෙන් ඉතුරු කර ගත්ත සල්ලිත් දැන් ඉවර වේගනයි යන්නේ.”
සමෘද්ධි වැනි දීමනා සඳහා ද ඔහුට නොලැබෙන හෙයින් ඔහු වැනි සුළු ව්‍යාපාරිකයින් රැසක් මේ වන විට ගැටලුවලට මුහුණ පා සිටිති.
මුදිත පෙරේරා පානදුර ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. ඔහු සුළු ඉදිකිරීම්වල නිරත වෙමින් ආදායමක් සපයා ගන්නා අයෙකි. ඔහු ද මේ වන විට ඇදිරි නීතිය හමුවේ ආර්ථික ගැටලුවකට මුහුණ පා සිටී.
“මම සාමාන්‍යයෙන් වැඩක් භාරගෙන කොටස් වශයෙන් මට ලැබිය යුතු මුදල ලබා ගන්නවා. ඒත් ඇදිරි නීතිය නිසා මම කරගෙන ගිය වැඩ ඔක්කොම අතරමග නතර කරන්න සිද්ධ වුණා. ඒ නිසා මට දැන් ආදායමක් නැහැ. මගේ දරු පවුල නඩත්තු කරන්න අවශ්‍ය කෑමබීමවලට ඕන කරන දේවල් ගන්නවත් දැන් සල්ලි නැති තත්ත්වයක ඉන්නේ,” මුදිත පත්ව ඇති තත්ත්වය එවැනිය.
“මම විතරක් නෙවේ මාත් එක්ක අත්උදව් දීපු අයත් දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාල ඉන්නේ. ඒ අයටත් දැන් ආදායමක් නෑ,” මුදිත වැඩිදුරටත් පැවසීය.
මේ අතර, කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ ඇදුම් මසන්නෙකු ලෙස කටයුතු කරන අනුර දිසානායක ද මෙම තත්ත්වයට මුහුණ පා සිටින අයෙකි.
“අපිට නම් දවස් කිහිපයකට පාරක් ඇදිරි නීතිය ඉවත් වෙනවා. ඒත් ඒ දවස මිනිස්සු ගත කරන්නෙ කෑමවලට ඕන කරන බඩු මිල දී ගන්නයි. ඉස්කෝලත් වහලා නිසා ඇදුම් මැහිල්ලක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් අපට දැන් ජීවත් වෙන්න හරි ම අමාරු තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ,” අනුර දිසානායක පැවසීය.
මේ අතර තවත් පිරිසක් ඇදිරි නීතිය හමුවේ සිය වෘත්තියන් කරගෙන යා නොහැකි හෙයින් වෙනත් ජීවිකාවන්ට යොමු වී තිබේ.
පානදුර ප්‍රදේශයේ එළවළු වෙළෙදාම සදහා පැමිණි ලොරියක සේවය කළ පුද්ගලයෙකු පැවසුවේ, තමන් පෙදරේරුවෙකු බවය, ජීවත් වීමට මාර්ගයක් නොමැති හෙයින් මිතුරන් කිහිප දෙනෙකු සමග පොලිසියෙන් අවසරය ලබාගෙන එළවළු වෙළෙදාමට යොමු වූ බවය.
“අපි මේව කරපු මිනිස්සු නෙවෙයි මහත්තයො. අපි කට්ටිය කළේ මේසන් වැඩ. ඇදිරි නීතිය හින්ද දැන් ගෙවල් හදන ඒව කෙරෙන්නෙ නෑ. එහෙම කියල අපිට නිකං ඉන්න බෑනෙ. ඒ නිසා තමයි මේ වෙළෙදාම පටන් ගත්තේ.”
කෙසේ වෙතත් රු. 5000 ක දීමනාවක් ලබා දීම නිසා සමෘද්ධිලාභීන්ට යම් සහනයක් ලැබී තිබේ.
කරුණාවතී සිල්වා කළුතර බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි. ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව දිවි ගෙවයි. ඇය සිය ජීවිකාව උපයා ගත්තේ, නිවෙස්වලට ගොස් ආහාර පිළියෙල කිරීම වැනි සේවාවන් කර දීමෙනි. ඇදිරි නීතිය ඇයගේ එම වෘත්තියට ද බලපා තිබේ.
“දැන් කිසි ම ආදායමක් නම් ලැබෙන්නේ නෑ. ගෙදරින් එළියට බහින්න බැරි නිසා මට වැඩ කරන්න යන්න විදිහක් නෑ. හැබැයි සමෘද්ධියෙන් රුපියල් පන් දාහක් ගෙදරට ම ගෙනත් දුන්නා. ඒක ලොකු සහනයක්. මගේ දරුවො තුන් දෙනාට කන්න දෙන්න විදිහක් නැතුවයි මම හිටියේ.”
රජයෙන් සහන
ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ආදායම් මාර්ග ඇහිරී ඇති පුද්ගලයින් සදහා සහන රැසක් සලසා ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි.
රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීමට අමතරව විපතටපත් ජනතාවට රුපියල් 5000 බැගින් මුදල් ලබා දීමට රජය ක්‍රියාකාර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අප්‍රියල් 07 වෙනිදා ප්‍රකාශ කළේය.
සහන ලැබෙන පුද්ගලයන්:
- වැඩිහිටියන් හාර ලක්ෂ හතලිස් දෙදහසක්
- ආබාධිත දීමනාව ලබන විසි දෙදෙහසට අමතරව තවත් තිස් අටදහසක්
- ගොවියන් එක් ලක්ෂ හැට පන්දහසක්
- ධීවරයන් හැර දහස් හයසීයක්
- වකුගඩු රෝගීන් විසිපන් දහසකට හා පොරොතු ලේඛනයේ සිටි දහතුන් දහස් අටසිය පනහක්
මීට අමතරව බැංකු හා මූල්‍ය ආයතන හරහා ජනතාවට ණය සහන ලබා දී ඇති අතර එම තත්ත්වය මත රටේ බැංකු පද්ධතිය කඩාවැටීම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු වෙත රුපියල් බිලියන 240ක මුදලක් නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.
ලෝක බැංකුවේ දත්ත
ලෝක බැංකුවේ දත්තවලට අනුව “ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය (Informal workers).
“වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ වැඩිය. සමාජීය දූරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ල වනු ඇති අතර තවදුරටත් දීර්ඝ කෙරුණු සංචරණ සීමා හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇත,” යනුවෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
“කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය පැවැත්ම සඳහා අරගලයක යෙදේවි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය 3% කින් පහළ යාමට ඉඩ ඇති අතර 2020 වසරේදී දුගීභාවය 43.9% කින් ඉහළ යාවි,” යනුවෙන් ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
දෛනික ආදායම් උපයා ගත් පුද්ගලයින් අසරණ තත්ත්වයකට පත්වුණේ ඇයි?
“දෛනිකව ආදායම් උපයා ගත්ත පුද්ගලයින් මේ තත්ත්වයට පත් වුණේ ඔවුන්ගේ ජීවන රටාවේ ගැටලු තිබුණ නිසයි,” යනුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට පැවසුවාය.
“දෛනිකව ආදායම් උපයන අය ගොඩක් වෙලාවට ඉතුරුම් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ ම අද උපයන දේ අද ම පරිභෝජනය කරන්න තමයි ඔවුන් පුරුදු වෙලා ඉන්නේ. මේ හේතු දෙක නිසා තමයි ඔවුන් මේ තත්ත්වයට පත් වුණේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.”
“මේ අවස්ථාවේ දෛනික ආදායම් උපයා ගත්ත අය පත්වෙලා ඉන්න තත්ත්වය බලපුවා ම රජයට සහන දෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. අනිවාර්යයෙන් රජයට සහන දෙන්න සිද්ධ වෙනවා,” ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.