විදුලි බල මණ්ඩලයේ ‘රු. බිලියන 18ක පාඩුව’ ජනතාවගේ උර මත පටවයි ද?
අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයේදී ඉදිරිපත් කළ යෝජනාව ඉවත දමමින් මේ වසරේ ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව පහළ දැමීම හේතුවෙන් ආලභ ලබන බව පෙන්වා දෙමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
විදුලි ගාස්තුව පහත හෙළීමෙන් 2025 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් කාර්තුවේ රුපියල් බිලියන 18ක පාඩුවක් ලැබූ බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.
2025 මුල් මාස 6 සඳහා එතෙක් පැවති ගාස්තු එලෙස ම පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර එම යෝජනාවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තුව 20%කින් පහත දැමීමට තීරණය කළේ ය.
එම තත්ත්වය තුළ ජූනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලි බල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී 18.3%ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කරයි.
විදුලි බිල ගැන IMF කිව්වේ මොනවා ද?
විදුලි ගාස්තු අඩු කිරිමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ව්‍යුහාත්මක මිනුම් ලකුණක් උල්ලංඝණය කර ඇති බවත් ඊළඟ සමාලෝචනය සමත් වීමට විදුලි බල මණ්ඩලය ලබන පාඩු වළක්වා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද ප්‍රකාශ කර තිබිණි.