ඒ හැඟීම ම කවියක්… ලිය ලියා කුරුටු ගා ඉරා විසිකර යළි යළිත් සොඳුරුතම පද ගළපගන්නට සුසුමක රිද්මයට ගයන්නට වෙහෙසෙන ආදරේ කවියක් ….
හිරු තියා කුටියට එපිටින් ( ඔබේ උණුසුම තරම් හිරුට මා දවන්නට බැරි නිසා) සඳ තරු ගෙනත් එල්ලා තියන්නම් ඔබේ පස බිත්තියෙන්. ඒත් ඔබ ගණින්නේ මගේ ඇස් විතරනම් ඒ තරු අරන් ඉහින්නම් සඳළුතලයට පහළින්.
සඳ සෙමෙන් වලාකුළු කුටියක නැවතී ගිමන් නිවාගනියි…. දවසක මෙහෙවර නිමාකර මා උකුළ මත හිස තියා හිඳින කල, වසා කෙහෙරැලිවලින් සිඹ සිඹම ඔය වත හිඳින්නම්….. ඔබ කියනවා නම් සඳත් විසි කරන්නම් මං පාලු රෑ අහසට. එහෙම මොහොතක සඳටවත් බැරි නම් ඔබ තරම් නිවෙන්න…..
කවුළුවෙන් එපිට, සඳ බිංදු බිම වැටෙන හඬ පවා ඇසෙන විට ඔබේ සුසුමක හඬට මුසුකර හිතේ කවි දහසක් ලියන්නම්. දරාගන්නම බැරි තැන “ඔබ මගේ පමණක් ය” සිතිවිල්ල….. ඇස් ඉවුරු අස්සෙන් කඳුළු වස්සන්නම්…..
වලාකුළු කුටියෙන් සඳ එබෙද්දී, කවුළුවට එපිටින් තැබූ ඉර කුටියට කැන්දමින් හෙමි හිමින් දැල්වෙයි ඔබේ ආදරේ ඇස්…… සඳ ළඟට තරුවක්…. පහනකට සිළුවක්…. සුළඟකට සුවඳක් වගෙයි දැන් ඔබවත්…..
————————————————————————————————–
හිස මතින් පැළඳුන ඔබෙ සුවඳ කිරුළට සිහිනයෙන් මිදී ඇස් හරිමි දවසක. සඳ තරුත් සැඟවුණ අඳුරු හැම රෑකම…. පිල්කඩින් හිඳ ඔබ කියන තාරුකා ඇස්වලින් දුර මනිමි මග කියමි ඔබට මං.
නිමාකර දුරින් උන් දවසකම වෙහෙස… ඇඟිලි ගැන අරඹන්න ඔබව මට ළංකර උදාවෙන දවස….. මග බලා හිඳිමි ඇස් දල්වන්, ඔබ එනතුරා රෑක දොරකඩ මං…….
මග බලා හිඳිමි ඇස් දල්වන්, ඔබ එනතුරා රෑක දොරකඩ මං…….

Published: