ජනපති නියරේරේ ගේ පුතුට බුද්ධාගම ඉගැන්වූ කස්සප හිමියන් ඉදිකරන ‘යුරෝපයේ විශාලම මහා විහාරය’…
“මට මේවා යනකොට ගෙනියන්න බැහැ මහත්තයෝ. මේවා ඉතින් අනාගත පරපුරට තමයි. පුරාණ රජවරු මහා දාගැබ් ඉදි කළා. ඒවාට ගිය වියදම දැන් කවුරුවත් අහන්නේ නැහැනේ. ලක්ෂ ගානක් මිනිස්සු එතනට ගිහිල්ල දෑත් ඔසවල වඳිනවා. මේවත් තව අවුරුදු සීයක් විතර ගියාම ඒ පරපුරට වටිනවා.”
“ගමයි පන්සලයි, වැවයි දාගැබයි කියා කියා ඉන්නවා මිසක් අපි මොනවද කරලා තියෙන්නේ? අතීත ශ්‍රී විභූතිය ගැන විතරක් උදම් අනල වැඩක් නැහැ. අපිත් මොනවා හරි කරලා යන්න ඕනනේ.”
බර්මිංග්හැම් බෞද්ධ මහා විහාරයේ, විහාරාධිපති, අචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප නායක හිමියන් සමඟ මා කළ කතාබහ ආරම්භ වූයේ එලෙසිනි.
“මේ මහා විහාරය මහල් හතරකින් සමන්විතයි. ඊට ඉහළින් තමයි චෛත්‍යය ඉදිවෙන්නේ. මේක තමයි යුරෝපයේ විශාලතම ථේරවාදී බෞද්ධ මහා විහාරය.”
“දාන ශාලාව, බුදු මැදුර, පුස්තකාලය, චෛත්‍යය විතරක් නොවෙයි වන්දනා මාන කරන්න එන අයට නැවතීමේ පහසුකම් පවා මෙහි තිබෙනවා.”
උන් වහන්සේ විස්තර කළ පරිදි මෙහි බුදු මැදුර තුළ අඩි පහක් උසැති බුදු පිළිම වහන්සේ විසි අට නමක් වැඩම කර සිටිති.
ග්‍රන්ථ විසි දහසකින් සමන්විත පුස්තකාලයක් ද බුදු දහම හැදෑරීමට කැමති සියලු ජාතීන්ට විවෘතව පවතී.
සියලු පහසුකම් සහිත කාමර දහයක් ඉදි කර ඇති අතර සංඝයා වහන්සේ සඳහා වෙන් කර ඇත්තේ ඉන් කාමර දෙකක් පමණි. ඉතිරි කාමර අට ම ඈත පළාත්වල හෝ වෙනත් රටවල සිට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් සැලසුනු පහසුකම් ය.
“ඒ උදවියට හෝටල් කාමර වෙන් කරගන්න උවමනාවක් නැහැ. දැන් පන්සලේම නැවතිලා ධර්මය හදාරන්න පුළුවන්, වන්දනා කරන්න පුළුවන්, පූජා සහ දාන මාන කටයුතු කරන්න පුළුවන්.” කස්සප නායක හාමුදුරුවෝ පැවසූහ.
බර්මිංග්හැම් බෞද්ධ මහා විහාරය දුටු විට කළුතර බෝධිය ඉදිරිපස ඇති විහාර ගොඩනැගිල්ල සිහිපත් වෙයි. ඉහළ මාළයේ ඉදිවන්නේ රුවන්මැලි සෑයට සමාන හැඩයකින් යුත් චෛත්‍යයකි.
මෙම ප්‍රදේශය අවට බුදු දහම අදහන ඉන්දියානුවන් ද සිටින බැවින් ඔවුන් සඳහා දේවාලයක් ද මෙම විහාරය තුළ ම ඉදි කර ඇති බව විහාරාධිපති හිමියෝ පැවසූහ.
“මේ පන්සලට එන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි. විවිධ ජාතීන් එනවා. ඒ නිසා තමයි මේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල මිලදී ගන්නත් මුලින්ම පවුම් පනස් දහසක ආධාරයක් කළේ මේ රටේ සමාගමක් තමයි.
බර්මිංග්හැම් මහා විහාරය ඉදිකිරීම සඳහා මෙම භූමිය සහ ගොඩනැගිල්ල මිල දී ගෙන ඇත්තේ 2005 වසරේ දීය. ඉහළ මහලේ චෛත්‍යය හැරුණු කොට බුදු මැදුර, දාන ශාලාව, පුස්තකාලය ආදී අනෙකුත් සියලු අංග මේ වන විට ඉදි කොට හමාරය.
චෛත්‍යය ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට සංඝයා වහන්සේ බොහෝ නමක් වැඩම කර සිටියහ.
ඇසල පුන් පොහෝ දවසේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරුණු එම මුල්ගල් තැබීමේ වතාවත් සඳහා ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට වැඩම කර සිටි බෙල්ලන, ශ්‍රී ධර්මපාල මහා පිරිවෙනෙහි අධ්‍යක්‍ෂ, රාජකීය පණ්ඩිත විද්‍යාපති පූජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන් සමඟ කතාබහ කිරීමට මට අවස්ථාව උදා විය.
මෙම ධර්ම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ “ලෝකයාට බුදුදහම කියාදීම සඳහාත් භාවනා පුහුණුව සඳහාත්” මෙම විහාරයෙන් සිදුකළ හැකි සේවය අති විශාල බවය.
“එක්සත් රාජධානියේ උපප්‍රධාන සංඝනායක බර්මිංග්හැම් මහා විහාර සමුහයේ විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අරඹන ලද යුරෝපයේ විශාලතම ථේරවාද විහාරය, විදේශීය ධර්මදූත මෙහෙවරෙහි ඓතිහාසික සනිටුහනක්. බර්මිංග්හැම් නගර මධ්‍යයේ, අහස් කුසෙහි විරාජමාන වන දාගැබ් වහන්සේ ආගමික සහජීවනයේ සංකේතයක්.”
“මෙම විහාරය බොදුනුවන්ට පමණක් නොව ලෝක ආගමික නායකයින්ට අන්තර් ආගමික සහජීවනය පිළිබඳව කතා කිරීමට, ඉගැන්වීමට අධ්‍යාපනික මධ්‍යස්ථානයක්. විවිධ ජාතීන්ට තම සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්විය හැකි සංස්කෘතික මධ්‍යස්ථානයක්. ථෙරවාදී බොදුනුවන්ට ගමේ පන්සලක්.” රාජකීය පණ්ඩිත විද්‍යාපති, කඹුරාවල සිරි රේවත නාහිමියෝ පැවසූහ.
බර්මිංග්හැම් මහා විහාරයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි භක්තිකයන් ගේ ආධාර උපකාර ද නොඅඩුව ලැබුණු බව එහි විහාරාධිකාරී, කෙහෙල් ඕවිටිගම නන්දාලෝක හිමියෝ පවසති.
“මේ පන්සලේ ජාති භේද, ආගම් භේද නැහැ. සිංහල, දමිල, මුස්ලිම් හැම දෙනාම අපිට උදව් කරනවා. ඒ වගේම ඉංග්‍රීසින් ඇතුළු යුරෝපීය ජාතිකයන් වගේම තායි, චීන, ජපන් ඉන්දියානු වැනි ආසියාතිකයන් පවා මේ විහාරයට ආධාර කරනවා. ඒ හැම කෙනෙක් ම පන්සලට එනවා. ජාතීන් අතර වගේම ආගම් අතර සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා මේක හොඳ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා.”
කෙහෙල් ඕවිටිගම නන්දාලෝක හිමියන් තවදුරටත් කියා සිටියේ විවධ ජාතීන් සහ විවිධ ආගම්වලට අයත් පිරිස බුදු දහම පිළිබඳව දැනුමක් ලබා ගැනීම සඳහා බර්මිංග්හැම් මහා විහාරයට පැමිණෙන බවය.
ජනාධිපති පුතා
ලෝක බෞද්ධ සම්මේලනයේ ආරාධනාවෙන් 1983 දී ටැන්සානියාවට වැඩම කළ අචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ එවක් පටන් අද දක්වා විදේශීය ධර්ම දූත මෙහෙවරෙහි යෙදී සිටිති.
‘ටැන්සානියාවේ පන්සලේ බණ අහන්න පැමිණි අපූරු තරුණයෙකු’ පිළිබඳව උන්වහන්සේ සිහිපත් කළේ, ධර්ම දූත සේවයේ ආරම්භය පිළිබඳව මා විමසූ අවස්ථාවේදී ය.
“මේ තරුණයා සෑහෙන කාලයක් තිස්සේ පන්සලට ඇවිත් බණ අහනවා. කවදාවත් කිව්වේ නැහැ එයා කාගේ කවුද කියල. සැලකිය යුතු කාලයක් ගෙවුනට පස්සේ මෙයා දවසක් මට කිව්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නමත් එයාගේ තාත්තගේ නමට සමානයි කියල. එයා ලංකාවේ ජනාධිපතිගේ නම කිව්වේ ජූනියස් කියල. ඒ කිව්වේ ජේ ආර් ජයවර්ධනගේ මුල් නම. මේ ළමයාගේ තාත්තගේ නම ජූලියස්. ඉතින් මම ඇහුවා තාත්තගේ සම්පුර්ණ නම. බැලුවම මේ එවකට ටැන්සානියාවේ ජනාධිපති ජූලියස් නියරේරේ ගේ පුතා, ඇන්ඩෲ නියරේරේ.”
වැඩි දුර බුදු දහම හැදෑරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට ගෙන යන ලෙස මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා කස්සප හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
“මම යෝජනා කළා ලංකාවට යන්න කලින් පියාගේ කැමැත්ත විමසා බැලුවොත් හොඳයි නේද කියල. පස්සේ මාව අරගෙන ගියා ජනාධිපති මන්දිරයට. ජනාධිපති නියරේරේ කිව්වා ඔහුගේ කිසිම අකමැත්තක් නැති බව. පස්සේ මම 1985 දී කොළඹ ගංගාරාම පන්සලට එක්කරගෙන ගිහින් ඔහුට බුදු දහම තවදුරටත් ඉගැන්නුවා.” කස්සප හිමියෝ අතීතය ආවර්ජනය කළහ.
කස්සප හිමියන් ද පැවිදි ජීවිතයට අවතීර්ණ වී ඇත්තේ ගංගාරාම විහාරස්ථානයේ දීය. එවක උන්වහන්සේ එකොළොස් හැවිරිදි වූහ.
කස්සප හිමියන් එංගලන්තයට වැඩම කළේ 1986 දීය. එවක් පටන් උන්වහන්සේ ජාත්‍යන්තර මට්ටමින් සිදු කර ඇති සමාජ සත්කාරයන් ඇගැයීමට ලක් කරමින් 2008 දී බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින විසින් O.B.E. ගෞරව නාමය පුද කරනු ලැබිණ.
ජාති හෝ ආගම් භේදයකින් තොරව සිදු කෙරෙන මෙම සමාජ සත්කාරයන් හේතුවෙන්, උන්වහන්සේ ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන International Buddhist Relief Organisation පුණ්‍යායතනයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ පිළිගැනීමක් (UN Special Status) හිමි විය.