14.3 C
New York
Thursday, April 10, 2025
HomeSri Lanka Newsඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නේ කෙසේද ?

ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නේ කෙසේද ?

-

ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකු විය යුතුය.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.

– උපුටා ගැනීම –

2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 54(2) වගන්තිය අනුව ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළහි දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.

02. එහෙත් එම කැටුව යන සහායකයා වයස 18 සම්පූර්ණ වූවකු විය යුතු අතර එම ඡන්ද විමසීම සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතු ය. එමෙන්ම එම ඡන්ද විමසීමේ දී දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතු ය. ඊට අමතරව කිසියම් අශක්නුතාවකට පත් නොවූ අයකු ද විය යුතු ය.

03. ඉහත සඳහන් පරිදි සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ දසවන උපලේඛනය මගින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ය.

04. මෙම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වෙතින් ලබා ගත හැකිය. අදාළ යෝග්‍යතා සහතිකයේ ආකෘතියක් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය www.elections.gov.lk වෙත පිවිසීමෙන් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් යම් ශාරීරික අශක්නුතාවට පත් පුද්ගලයා ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීගේ සහතිකය ලබාගත යුතු අතර, ඉන් අනතුරුව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ යුතු ය. වෛද්‍ය නිලධාරී විසින් ඡන්ද හිමියා පරීක්ෂා කර එම ආකෘතියෙහි ඡන්දදායකයාගේ යෝග්‍යතාව සටහන් කර සහතික කරනු ලැබේ. (මැතිවරණ කොමිෂන් සභාව විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහා නිකුත් කර ඇති වසර 10ක් වලංගු තාවකාලික හැඳුනුම්පත සතු ආබාධ සහිත ඡන්දදායකයකු එම හැඳුනුම්පතේ ඡායා පිටපතක් යෝග්‍යතා සහතිකය සමඟ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ).

05. අශක්නුතාවට පත් ඡන්දදායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේ දී පිළිගනු ලබන වෙනත් යම් හැඳුනුම්පතක් සහ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොළ වෙත යා යුතුය. ඡන්ද පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපරිපාටිය අනුගමනය කර ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු ලබන අතර, එම ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහායකයා සමග ඡන්ද දායකයා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබේ. සහායකයා ද තමාගේ ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළහි දී පිළිගනු ලබන යම් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යාවශ්‍යය.

06. ඡන්ද පොළේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් ඡන්ද දායකයාගේ යෝග්‍යතා සහතිකය ලබා ගනු ලබන අතර, කැටුව ආ පුද්ගලයාගෙන් යෝග්‍යතා සහතිකයේ II වන කොටසට පහතින් දැක්වෙන අදාළ ප්‍රකාශය සටහන් කරවා ගනු ලැබේ. අනතුරුව ඡන්ද පොළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ද සමඟ ඡන්ද හිමියා සහ සහායකයා ඡන්ද කුටිය වෙත කැඳවාගෙන ගොස් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා කාර්ය මණ්ඩල සාමාජිකයා ඉදිරියේ ඡන්ද පත්‍රිකාව සලකුණු කරවා ඡන්ද පෙට්ටියට බහාලීමට සලස්වනු ලැබේ.

07. ඉහත සඳහන් යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු කැටුව යා නොහැකි බව අවධාරණය කරනු ලැබේ. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත රඳවා ගනු ඇත.

08. කෙසේ වුවද සහායකයකු කැටුව ඒමට නොහැකි වන එවැනි ඡන්ද හිමියකුට අවශ්‍ය වන්නේ නම් මීට පෙර ඡන්ද විමසීම්වල දී සිදු කළ ආකාරයටම තවත් නිලධාරියෙක් ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලවා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බව ද නිවේදනය කරනු ලැබේ.

– උපුටා ගැනීම අවසන් –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
82 %
3.9kmh
100 %
Thu
28 °
Fri
30 °
Sat
29 °
Sun
30 °
Mon
30 °

Must Read

SPORT