ගෝඨාභය රාජපක්ෂ: ධුරකාලය තුළ සිදු කළේ මොනවද ?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මාස 32ක ධුරකාලයකින් පසු ඉල්ලා අස්විය.
ජුලි 13 දා ඉල්ලා අස්වනබවට ප්‍රතිඥා දී තිබුණ ද එදින උදෑසන රටින් පළාගිය ඔහු සිය ඉල්ලා අස්වීම ජුලි 14 දා රාත්‍රියේ දී ලබාදී තිබුණි. කථානායක මහින්ද යාපා අබේවර්ධන ජුලි 15 දා උදෑසන ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.
වියත්මග නම් වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් බිහිකරමින්, සෞභාග්‍යයේ දැක්ම නම් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදරිපත් කරමින්, 69 ලක්ෂයකගේ ඡන්දයෙන් ජනපතිධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ අනතුරුව බෞද්ධයින්ට පූජනීය සිද්ධස්ථානයක් වන රුවන්වැලි සෑ මළුවේ දී දිවුරුම් දී ධුරකාලය ආරම්භ කළේ “සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණුබව මා දැනසිටියා,”යි සිය ජයග්‍රාහී කතාවේ දී ප්‍රකාශ කරමිනි.
එනමුත් ශ්‍රී ලංකාව ඇදදැමුණු ආර්ථික අර්බුදය නිසාවෙන්, වඩාත් යහපත් අලුත් රටක් පිළිබඳ සිහින දුටු මිලියනයකට අධික ජනතාවකගේ සක්‍රීය විරෝධතාව විසින් ජූලි 9 වැනි දා ඔහුගේ ඉරණම තීරණය වුණි.
ගෝඨාභය රාජපක්ෂ සිය ධුරකාලය අතරතුරේ දී ගත් සුවිශේෂී තීරණ සහ තීරණාත්මක ක්‍රියාවන් මොනවා ද?
ගම සමග පිළිසඳර
2020 වසරේ අගභාගයේ දී ජනාධිපති කාර්ය සාධක ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවුණු ගම සමග පිළිසඳර වැඩසටහන ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ද යෝජනාකොට තිබූ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනකි.
ග්‍රාමීය ජනතාව හමුවී සාකච්ඡාකොට ගම්වල ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම, ජනපතිවරයා ගමින් ගමට සංචාරය කිරීම මේ වැඩසටහනෙහි අංගයක් වුවත්, කොවිඩ් වසංගත තත්ත්වය සමග වැඩසටහන නවතා දැමින.
කාබනික සංග්‍රාමය
වසර 10ක් තුළ රටේම ගොවිතැන කාබනික ගොවිතැනක හැරවීම ජනපති ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා දිරිපත් කළ යෝජනාවකි.
2021 අප්‍රේල් 27 දා ගැසට් නිවේදනයක් මඟින් ජනපති මෙරටට රසායනික පොහොර ආනයනය තහනම්කර දැමීය. මෙය සහල්, තේ, එළවළු, විසිතුරු මල් ආදී වගාවන් රැසක විනාශයට හා එළවළු මිළ වේගයෙන් ඉහළ නැගීමට හේතුවිය.
මේ වන විට රසායනික පොහොර ආනයන තහනම අත්හිටුවා තිබේ.
උපයන විට ගෙවීම බද්ද ඇතුළු බදු සංශෝධනය
ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයට පත්වීමෙන් පසු, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා පොරොන්දු වූ පරිදිම උපයන විට ගෙවීමේ බද්ද අහෝසිකර, වැට් බද්ද, සන්නිවේදන සේවා සඳහා වන බදු ආදී බදු රැසක් අඩුකර හෝ අහෝසිකර දැමීය.
මෙයින් භාණ්ඩාගාරයට ලැබුණු වත්කම වසරකට බිලියන 800කින් පහත වැටුණි.
කොවිඩ් වසංගතය පාලනය
වසංගතය ඇරඹුණු සමයේ මුල් රැල්ලේදී, සාර්ථක ලෙස එය මැඩපවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. නමුත් දිගින් දිගටම පැනවූ ලොක්ඩවුන් විසින් ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇතිකළේ ය.
කොවිඩ් සඳහා වන එන්නත්කරණය ක්‍රියාත්මක කෙරුනේ එවක හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදාව විසින් වන අතර, වෛද්‍යවරුන් විසින් ගත යුතු තීරණ හමුදාව විසින් ගන්නේයැ යි සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් චෝදනා එල්ලවිය.
එසේම, රෝගය වැළඳී මියගියවුන්ගේ මළසිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට සාක්ෂි නැතැයි දෙස් විදෙස් වෛද්‍ය හා සෞඛ්‍ය සංවිධානයන් ප්‍රකාශ කර තිබුණත්, ඔවුන්ගේ හා විශේෂයෙන්ම ඉස්ලාමිකයින්ගේ විරෝධය නොතකමින් රජය කොවිඩ් වැළඳීමෙන් මියගිය අයගේ දේහයන් ආදාහනය කිරීමට පියවර ගත්තේ ය.
“කොවිඩ් වසංගතය තුරන්කළ බවට” 2020 මහ මැතිවරණය අළලා සිදුකළ ප්‍රකාශය කොවිඩ් වසංගතය පාලනය කිරීමේ දී අහිතකර ලෙස බලපෑබව විශේෂඥ අදහස යි.
අස්ථිර ප්‍රතිපත්තිය සහ විශේෂඥ අදහස් නොසලකා හැරීම
ජනපති ගෝඨාභය අප්‍රසාදයට පත්වීමට එක් හේතුවක් වූයේ ඔහුගේ අස්ථිර ප්‍රතිපත්තිය යි. මෙය “ගැසට් රිවස් කිරීම” ලෙස ජනයා අතර ප්‍රසිද්ධියට පත්විය.
එසේම, කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, කොවිඩ් පාලනය ආදී අංශයන්හි දී ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් ගණනකට නොගැනීම හා ඔවුන් ධුරයෙන් පහකර දැමීමට ද ජනපති ගෝඨාභය කුප්‍රකට විය. ඔහුගේ රජයේ පාලන කාලය අතරේ පත්කරනු ලැබූ කෘෂිකර්ම ලේකම්වරුන් ගණන පස්දෙනෙකි.
‘එක් රටක් එක් නීතියක්’
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේගේ සභාපතීත්වයෙන්, ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණි.
දෙමළ ජාතිකයින් සහ කාන්තාවන් රහිත වූ මෙම කාර්ය සාධක බලකායේ නායකත්වය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳි බොදු බල සේනාවේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ දැරීම බොහෝදෙනා විසින් ප්‍රශ්න කෙරිණි.
පාස්කු ප්‍රහාරය සහ මහබැංකු බැඳුම්කර වංචාව
ජනපති ගෝඨාභය ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු ද්විත්වයක් වූයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරනබව හා මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයින්ට දඬුවම් දීම යි.
මෙම පොරොන්දු ඉටුකිරීමට ජනපතිවරයා අසමත්වූවා පමණක් නොව වැරදිකරුවන් වසන්කරනබවට ද ජනතාවගෙන් ඔහුට චෝදනා එල්ලවිය.
නොයෙක් වංචා හා දූෂණ පිළිබඳ චෝදනා
ජනපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පමණක් නොව නොයෙක් වංචා හා දූෂණ සම්බන්ධ චෝදනා ද එල්ලවී තිබේ.
ඔහුට එරෙහි චෝදනා රැසක් ගෙනහැර දක්වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුලි 11 වන දින පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින්, “ගෝඨාභය රාජපක්ෂ පහත අපරාධ කිරීම සඳහා සැලසුම් කිරීම/ ආධාර අනුබලදීම කර ඇති බවට සැක සහිත නිසා සහ දැනටමත් එම සිදුවීම් ගැන පොලිසිවලට පැමිණිලි කර ඇති නිසා ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීම වලක්වන නියෝගයක් ගන්නා ලෙසත්, ඒ ගැන ගුවන්තොටුපොළට මෙන්ම නාවික හමුදාවටද දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමු,”යි පැමිණිලිකර තිබේ.
ඔවුන් ඉදිරිපත් කළ චෝදනා 23 අතරින් ඇතැම්වා පහත පරිදි ය:
- 88/89 කාලයේ දී හමුදාව පාලනය කළ මාතලේ වධකාගාරයක දී සිවිල් වැසියන් වධහිංසාවට ලක්කර ඝාතනය කිරීම
- යුද්ධයට මුවාවී උතුරේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනයට අණදීම සහ එම ඝාතකයන්ට රණවිරු ලේබලය අලවා නීතියෙන් මුදාගැනීම
- මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීම
- සිරස හා උදයන් ඇතුළු මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම
- රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතා කිරීම
- කුමන්ත්‍රණකාරීව ජාතීන් අතර අසමගියක් ඇතිකිරීම
- සැලසුම් සහගතව කොවිඩ් ව්‍යාප්තවන්නට ඉඩ දී ඒ මඟින් පුද්ගලයන් මියයෑමට සැලැස්වීම
(තවත් චෝදනා රැසක් තිබේ)
බැසිල් රාජපක්ෂ ද ඇතුළු හිටපු ජනපතිගේ ඥාතිමිත්‍රාදීන්ට එරෙහිව ද අධිකරණයන්හි නඩු රැසක් පැවරී තිබූ නමුත් ඔහුගේ පාලන කාලය තුළ දී ඔවුන් මෙම නඩු බොහොමයකින් නිදොස්කොට නිදහස් කෙරිණි.
මින් මාස 32කට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයට පත්වූයේ ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනයාගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. නමුත් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුවලින් එකකුදු ඉටුවූයේ ද යන්න ප්‍රශ්නකාරී ය.