14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ?

ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ?

-

ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම ඉල්ලා අස්වෙයිද? ජූලි 13 වැනිදායින් පසු මොකද වෙන්නේ?

ගෝඨභය රාජපක්ෂ ජූලි 13 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයිද? ඉන් අනතුරුව මොකද්ද වෙන්නේ? සමාජයේ දැන් පවතින කතාබහ එයයි. ජූලි 13 වැනිදායින් පසු සිදුවන්නේ කුමක්ද? මේ අවධානය ඒ පිළිබඳවයි.

ඇත්තටම ඉල්ලා අස්වෙයිද?

අග්‍රාමාත්‍ය කාර්යාලය අද (ජූලි 11) පැවසුවේ පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දුන් බවයි.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා අස්වන්නේ නම් ඒ බව බව ලිඛිතව කතානායකවරයාට දැනුම් දිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 09 වැනිදා රාත්‍රියේ ප්‍රකාශට පත්කළේය. ඒ ජූලි 09 අරගලකරුවන් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි.

ජූලි 13 ජනාධිපතිවරයා සැබවින්ම ධුරයෙන් ඉවත් වෙයිද? ඇතැම් පාර්ශව ඒ පිළිබඳ සැක මතුකරයි.

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ, “අපි කිසිම ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජ විප්ලයක් තුළින් ගෝඨභය රාජපක්ෂ නෙරපා හැරියා. නමුත් ඔහු ගියේ නැහැ. මහින්ද යපා අබේවර්ධන කතා කරලා කිව්වා ඔබට ඇවිල්ලා, මට මෙහෙම ටෙලිෆොන් එකෙන් කිව්වා. කිසිම ප්‍රකාශයක් ඔබට ඉදිරිපත් කළේ නැහැ. ඒක බොරුවක් , ඒක වංචාවක්.”

“මේ කරන්න හදන්නේ මොකද්ද කියන එක බුද්ධිමත්ව දකින්න.” ඔහු කියා සිටියේය.

“දැන් අරගල භුමියේ ඉන්න අය, ජනාධිපති කාර්යාලයේ සහ අරලියගහ මන්ධිරයේ ඉන්න අය දැන් බොහොම සතුටින් ගත කරනවා. එතන තියෙන ජිම් එකේ එගොල්ලෝ සෙල්ලම් කරනවා. ස්විමින් පූල් එකේ සෙල්ලම් කරනවා. බොහොම සතුටින් ගත කරනවා. නමුත් ඒක හරියටම මට කියන්න පුළුවන් භයානක සූනාමියක් එන්න කළින් මුහුද හැකිලී යනවා. මිනිස්සු දුවනවා. මාළු අල්ලනවා. සිප්පි කටු එකතු කරනවා. මීටර් 30ක් විතර උඩින් එන සුනාමිය පේන්නේ නැහැ. මේක සම්පූර්ණම එයට සමාන දෙයක්.”

“මේ අරගලය, සමාජ විප්ලවය කියන ජයග්‍රහණය යටපත් වෙලා යනවා. අපි ඒකට නිසි පියවර ගත යුතුයි. නිසි පියවර මේ මොහොතේ නොගත්තොත් බරපතල උවදුරටකට යනවා.” ඔහු අනතුරු අඟවා සිටියේය.

ජනපතිගෙන් නිවේදනයක්

ජූලි 09 වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්ධිරය සහ ජනාධිපති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටින නිශ්චිත ස්ථානයක් මෙතෙක් අනාවරණය කර නැත. අරගලකරුවන් ජනාධිපති කාර්යාලය හා ජනාධිපති මන්ධිරය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ ජනාධිපතිවරයා ගෑස් නැවක් මෙරටට ළඟා වීම පිළිබඳ ඊයේ (ජූලි 10) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

ජනපති

එහි දක්වා තිබුනේ “ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි.” යනුවෙනි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව අද (11) පැමිණෙන බවද එහි දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගහන්ද කොඩිතුවක්කු විමසා සිටියේ “ගිය මිනිහෙක් මෙහෙමද වැඩ කරන්නේ ? ජනතාව නෙරපා හැරිය මිනිහෙක් මෙහෙමද වැඩි කරන්නේ.? මේ යන්නේ තිනකර යන්නේ ප්‍රෝඩාවක්. ඔහු චෝදනා කළේය.

“අද ගෑස් නැවක් එයි. ඊළඟ දවසේ පොහොර නැවක් එයි. ඊළඟට පෙට්‍රල් නැවක් එයි. ඊළඟට කියයි දැන් උඹලට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකට ඔබ සූදානම් ද?”

නාගහනන්ද කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසුවේ “රට අනාථ කරලා, රට විකුණලා, දරුවන්ට රට අහිමි කරලා. රුපියල බල්ලට දාලා, කරන්න තියෙන ඔක්කම අපරාධ කරලා, මේ රටට කරන්න තියෙන ලොකුම හානිය කරලා මේ කරන්න හදන ප්‍රයෝගයට ඔබ අහුවෙනවද?”

මේ අතර, පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ “අපි දන්නෑ කතානායකවරයා හරහා 13 වැනිදා ඉල්ලා අස් වෙනවා කියලා තව කුමන්ත්‍රණයක් අටවයි ද කියලා. මොකද මේ ගොල්ලන්ගෙ දේශපාලන ඉතිහාසය මේ ගොල්ලන්ගේ දේශපාලන පැටිකිරිය එතරම් විශ්වාස කටයුතු එකක් නෙමෙයි.”

“මේ තරම් බලයක් තියෙන ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න පුළුවන් වුණේ මේ ව්‍යවස්ථාවට පිටින් නම් අපි හිතනවා ජනතාවාදී ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් කැඳවන්න ඕනේ. කවුරු ආණ්ඩු කලත් කවුරු කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තත්, ඔවුන්ට සිද්ධ වෙනවා අරගලයේ ඒ අපේක්ෂාවන් සමඟ සම්මුතියකට එන්න.” කුමාර් ගුණරත්නම් අවධාරණය කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, “පොදුජන පෙරමුණේ දූෂිත නායකයෝ හිතනවනම් ආපහු සැරයක් පාර්ලිමේන්තුවේ තමුන්ට තියෙන බහුතර බලය පාවිච්චි කරලා ආපහු සැරයක් මේක ඇතළේ කුමන්ත්‍රණ කරන්න අපි කියනවා ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ.”

මේ අතර, හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (ජූලි 10) රාත්‍රියේ අවධාරණය කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කළේ, ආරක්ෂක ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

මෙය කාගේ හෝ පටු අරමුණක් මුදුන් පත් කර ගැනීම සදහා ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බවද ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශවරයා සඳහන් කළේය.

ජනපති කෝ?

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විමසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ කොහේද යන්න පිළිබඳවයි.

“තවත් දින කිහිපයක් කල් ගැනීම බරපතළ ප්‍රශ්නයක්. ගෝඨාභ රාජපක්ෂ මහත්තයා මේ සූදානම් වෙන්නේ නැකත් බලලා ඉල්ලා අස්වෙන්න ද?” උන්වහන්සේ විමසා සිටියහ.

“දැනට ජනාධිපතිවරයා කොහෙද ඉන්නේ? එතුමා කොහේ හෝ හැංගිලා ඉන්නවාද? බංකරයක හෝ වෙනත් රහස්‍ය ස්ථානයක. කමක් නෑ එතුමා ලංකාවේ ඉන්නවද? කොහේ ඉඳන් ද නිල ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් වෙනත් ආකාරයක කුමන්ත්‍රණකාරී බල පෙරළියකට, යම් ආකාරයක පසුබිම සකස් කරන්නද මේ දින ගණනාවක් ඉදිරියට ඉල්ලා අස්වීම ඇද්දෙ? එහෙම නැත්නම් මේක නොකෙරෙන වෙදකමක් ද? එහෙම නැත්නම් බාලගිරි දෝෂය වැන්නක්ද? දැන් රටේ ජනතාවට බරපතළ ප්‍රශ්නයක්. වගකිව යුත්තන්ගෙන් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගකිව යුත්තන්ගෙන් අහනවා කෝ ජනාධිපතිවරයා? කොහෙද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා.?”

ඉන්දීය හමුදා එවන කතා අසත්‍යයයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

එම කාර්යාලය පැවසුවේ මෙම වාර්තා සහ එවැනි අදහස් ද ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැලපෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා තම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශවරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, ඉන්දීයාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි කියා සිටියේ, ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බවයි.

එවැනි නීත්‍යානුකූල මැතිවරණයක් පෙරළා දැමීමට ඉන්දියාව මැර පිරිසකට ඉඩ දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

එවිට අපේ අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත නොවනු ඇතැයි සුබ්‍රමනියම් ස්වාමි ටුවිටර් පනිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔහු එහි දක්වා තිබුණේ “රාජපක්ෂවරුන්ට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි දිය යුතුයි” යනුවෙනි.

ජනතා අභිලාෂයන් තේරුම් ගන්න

රටේ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගෙන කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු පාර්ශ්ව වලින් ඉල්ලීමක් කළේය.

එම සංගමය අවධාරණය කළේ එසේ නොකළොත් රට තවත් අගාධයට වැටෙන්න බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කළේ “මේ රටේ සමාජ ස්ථාවරභාවය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම ප්‍රමාද කරන්න බැහැ. අපි ඉල්ලා සිටින්නේ වත්මන් ජනාධිපති, අගමැතිවරයා, ඒ වගේම කතානායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රමාද කරන්නැතුව මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කරන්න කියල ඉල්ලා සිටිනවා.”

“මේ රටේ ජනතාව ඉල්ලා සිටින දේ තේරුම් ගන්න. මේ රටේ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගන්න කියලා අපි සියලු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.” ඔහු පැවසීය.

නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසුවේ “මේ රටේ නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ජාතියක් හැටියට විවිධ අදහස් දරන විවිධ මත වාද දරන අය මේ රටේ ඉන්නේ. මේ රට මුහුණ පාලා තියෙන ප්‍රශ්න විසඳන්න නම් සියලු සියලූ පාර්ශව එකතු වෙන්න ඕනේ. එක්සත් වෙන්න ඕනේ.”

“අපේ යෝජනාවලිය තුළ මීට පෙරත් අපි යෝජනා කරලා තියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න. මේ රටේ ප්‍රශ්නයක් තියෙන නිසා සියල්ලන් ම එකතු වෙන්න කියලා සහ කෙටි කාලයක් තුළ. ඊගාවට මහ මැතිවරණය පවත්වන්න ප්‍රශ්න විසඳන්න කටයුතු කරලා. අපි ජාතියක් හැටියට එක්සත්ව කටයුතු කරන්න ඕනේ, එහෙම නැත්නම්, රට මුහුණ පාල තියෙන අර්බුදවලට විසඳුම් හොයා ගන්න බැරි වෙයි. මේ රට තවත් අගාධයකට යන්න ඉඩ තියෙනවා.ඉක්මනින්ම මේ දේශපාලන විසඳුම් ලැබුණෙ නැත්නම්”. සාලිය පීරීස් අනතුරු ඇඟවීමක් කළේය.

ජනපති ඉල්ලා අස්වීමෙන් පසු මොකද වෙන්නේ?

ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දිය යුතුය. එවිට ජනාධිපති ධුරය පුරප්පාඩු වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් වෙයි.

අග්‍රාමාත්‍යවරයාට එසේ කළ නොහැකි නම් කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත.

එසේ පත්ව දින 30ක් තුළ සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන් අතුරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ, පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන රහස්‍ය ඡන්ද විමසීමකනි.

එම ඡන්දය ජය ගැනීමට මන්ත්‍රීවරයෙකු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතයුතුයි. එහිදී ජනාධිපති ධුරයට පත්වීමට නම් අදාළ අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 225 දෙනාගෙන් ඡන්ද 113ක් ලබා ගත යුතුය.

ජනපතිවරයෙක් සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් පත් කිරීම ගැන සාකච්ඡා

මේවන විට දේශපාලන පක්ෂ රැසක් නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කිරීම සහ ජනාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ අද ‍(ජූලි11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදී එහිදී සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

පක්ෂ 09 නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මුලස්ථානයේදී (ජුලි 10 වැනිදා)හමු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නමද යෝජනා වී තිබේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ “වැඩ බලන ජනාධිපතිවරයා හැටියට කතානායකවරයා කටයුතු කරන අතරතුර සියලුම පක්ෂ එකතුවෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ජාතික එකඟතා පාලනය පිහිටුවීමට නිශ්චිත වැඩ පිළිවෙලක් සහිත ව ක්‍රියා කළ යුතුයි කියන එක තමයි අපේ මතය.”

ඒ අනුව අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පොහොට්ටුවේ පක්ෂ වලින් යෝජනා වෙලා තියෙනවා ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නම. සර්ව පාක්ෂික ජාතික එකඟතා පාලනය පිහිටුවන්න කාටද පුළුවන්, ඒ කෙනා සමග ඒ කටයුත්තට දායක වෙන අපි ලෑස්තියි” විමල් වීරවංශ අවධාරණය කළේය.

පක්ෂ 09යේ නියෝජිතයින් සමගි ජනබලවේගය සමග ද සාකච්ඡා පවත්වනු ලැබූ අතර එම සාකච්ඡා සාර්ථක බවක් පෙන්නුම් කරන බව සමගි ජනබලවේගය නියෝජිතයින් හමුවෙන් අනතුරුව සඳහන් කර සිටියේය.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය භාර ගැනීමට සුදානම් ද යන්න පිළිබඳවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ “පැහැදිලිවම භාර ගන්නවා. ඒක එතුමාගේ යුතුකම. එතුමගේ වගකීම. එතුමාගේ රාජකාරියේ වගකීම. මේ වෙලාවේ. මොකද එතුමා කවදාවත් හිටියේ නැහැ සර්වපාක්ෂික රජයක් භාර ගන්න බැහැයි කියලා.”

මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේවන විට ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (ජූලි 11) පස්වරු 2.00ට කැඳවා ඇත.

එය පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
76 %
4.3kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °

Must Read

SPORT