29 C
Colombo
Thursday, May 22, 2025

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීමට එරෙහි පෙත්සම

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකාබැලීම සඳහා ලබන 28වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (22) අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බව සඳහන් කළේය.

2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධන  පනතේ යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කර තිබෙන බවත් එය වැරදි සහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයින් සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන අතර, කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සංකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් යැයි පෙන්වා දුන්නේය.

2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි 1 වනදා සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම ගැටළුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට තමන් සහාය පළකරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කෙරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකාබැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණු අතර, එදින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් වැඩිදුර කරුණු දැක්වීමට නියමිතය.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,353FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img