තාජ් මහලේ අගුළු දැමූ කුටි තුළ සැඟව ඇත්තේ කුමන රහසක් ද?
ලොව විශිෂ්ටතම ස්මාරකයන්ගෙන් එකක් තුළ පිහිටි කුටියක කිසියම් රහසක් සැඟවී තිබේ ද?
ඉන්දියාවේ මහාධිකරණ විනිසුරන් නම් එසේ නොසිත යි. ඔවුහු, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්‍ෂයේ (BJP) සාමාජිකයෙකු තාජ් මහල්හි “ස්ථිරව අගුළු දමා ඇති කාමර” 20කට වැඩි සංඛ්‍යාවක දොරවල් විවරකර, “ස්මාරකයේ සත්‍ය අතීතය” සොයාගැනීමට ඉඩ සලසන්නැ යි ඉල්ලමින් ගොනුකළ පෙත්සමක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 12) ප්‍රතික්ෂේප කළහ.
වඩාත් පැහැදිලිව කිවහොත්, හින්දූන්ගේ ශිව දෙවියන් වෙනුවෙන් කැපකළ සිද්ධස්ථානයක් මෙම කුටි තුළ ඇතැ යි “ඉතිහාසඥයන් සහ බැතිමතුන් විසින් සිදුකෙරුණු ප්‍රකාශයන්හි” සත්‍යතාව තහවුරුකර ගැනීමට තමාට අවැසිබව රජ්නීෂ් සිං අධිකරණය වෙත ප්‍රකාශ කළේ ය.
තාජ් මහල, 17 වන සියවසේ දී අග්‍රාහි යමුනා නදිය අද්දරට වන්නට ඉදිකෙරුණු සමාධියකි. මුගල් අධිරජ ෂා ජහාන් 14 වන දරු ප්‍රසූතියේ දී මියගිය සිය රැජිණ වූ මුම්තාස් වෙනුවෙන් මෙය ඉදිකරන්නට යෙදුනේ ය. ගඩොලින්, රතු වැලිගලින්, සහ සුදු කිරිගරුඬින් නිමැවුණු මෙම ඉස්තරම් ස්මාරකය එහි සංකීර්ණ ගරාදි කැටයම් සඳහා චිරප්‍රසිද්ධ වන අතර, ඉන්දියාවේ විශාලතම සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් ද වෙයි.
නමුත් මෙම පිළිගත් ඉතිහාස තොරතුරු සිංගේ සිත් ගත්තේ නැත. “අපි හැමෝම දැනගන්න ඕනේ මේ කාමරවල තියෙන්නේ මොනව ද කියන එක,” ඔහු අධිකරණයෙන් අයැද සිටියේ ය.
සිං සඳහන් කරනා අගුළු දැමූ කුටිවලින් බහුතරය පිහිටා ඇත්තේ සමාධියේ භූගත ගර්භයන්හි ය. ස්මාරකය හා සම්බන්ධ ඉහළම විශේෂඥයන්ගේ ප්‍රකාශයන්ට අනුව, ඒවායේ විශේෂ යමක් අන්තර්ගත නොවේ.
මුගල් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ප්‍රාමාණික විද්වතියක හා තාජ් මහල් පිළිබඳ විදග්ධ අධ්‍යයනයක කතුවරිය ද වන එබා කොක්, සිය අධ්‍යයනය අතරතුරේ සමාධිය වෙත ගොස්, එහි කුටි හා කොරිඩෝ ඡායාරූපගත කළ තැනැත්තියකි.
මෙම කුටි ටෙහෙකානාවක – එනම්, උණුසුම් ග්‍රීෂ්ම මාස වෙනුවෙන් තැනුණු භූගත ගර්භයක – කොටසක්ව පැවැතුණි. සමාධියේ, ගංගාවට මුහුණලා පිහිටි ටෙරසයේ ගැලරිය “කාමර පෙළකින්” යුක්ත වෙයි. පටු කොරිඩෝවකින් ළඟා විය හැකි පරිදි ගොඩනැගුණු, ගඟ හා සමාන්තරව පෙළට පිහිටි කාමර 15ක් සොයාගැනීමට කොක් සමත්වූවා ය.
එහි, දෙපස වූ කුඩා කුටීර මඟින් වඩාත් පුළුල් කෙරුණු විශාල කාමර සතක්, හතරැස් හැඩැති කාමර සයක්, සහ අෂ්ටාස්‍ර හැඩ කාමර ද්විත්වයක් විය. මුල දී, මෙම විශාල කාමර උදාර පෙනුමැති ආරුක්කු හරහා යමුනා නදිය දක්නට හැකිවන සේ සකස්කොට තිබී ඇත. කොක් නිරීක්ෂණය කළ පරිදි ඒවායේ “සුදු පින්තාරුවට යටින් වර්ණවත් මෝස්තරවල අංශුමාත්‍රයක්” පෙනෙන්නට තිබූ අතර, “තාරකාවලින් සැදි ඒකකේන්ද්‍රීය කවයන් අතර වූ ජාලාකාර රටා සහ ඒ මධ්‍යයේ පදක්කමක්” එහි දක්නට ලැබුණි.
“ඒක සොහොන්ගෙය බලන්නට එන අධිරාජයාට යි, ඔහුගේ කාන්තාවන්ට යි, ඔහුගේ පරිවාර පිරිසට යි විනෝදාස්වාදය සැපයූ සිසිල්, වාතාශ්‍රය සහිත, ඉතාම අලංකාර ඉඩකඩක් වෙලා තියෙන්න ඇති. දැන් එතනට කිසිම ස්වාභාවික ආලෝකයක් වැටෙන්නේ නෑ,” වියෙනා විශ්වවිද්‍යාලයයේ ආසියාතික කලා පිළිබඳ මහාචාර්යවරියක ද වන කොක් පවසන්නී ය.
මෙවන් භූගත ගැලරි මුගල් ගෘහ නිර්මාණ ශිල්පයට සාමාන්‍ය ය. පාකිස්ථානයේ ලාහෝර් නගරයේ පිහිටි එක් මුගල් බලකොටුවක, ජලතලයකට මුහුණලන පරිදි තැනූ මෙවැනිම කාමර ශ්‍රේණියක් දක්නට ලැබේ.
බොහෝ අවස්ථාවන්හි දී යමුනාවේ බෝට්ටුවකින් තාජ් මහල් වෙත පැමිණෙන්නට හුරුව හුන් ෂා ජහාන්, ගඟේ සිට ඉහළට දිවෙන පුළුල් පියගැටපෙළකට ගොඩබැස (ඉන්දියාවේ දී මෙවන් පියගැටපෙළ “ඝාට්” ලෙස හැඳින්වේ) සමාධියට ඇතුළුවී ඇත.
“මම එහෙට ගිහිපු වෙලේ, ලස්සනට පින්තාරු කරපු කොරිඩෝ එකක් තිබ්බා මට මතක යි. ඒ කොරිඩෝ එක ලොකුවට ඉඩකඩ තියෙන තැනකින් ඉවර වෙන හැටි මට මතක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම අධිරාජයා ගිහිපු කොරිඩෝව,” මීට වසර 20කට පමණ පෙර එහි ගිය ඉන්දීය සංරක්ෂණවේදිනියක වන අමිතා බේග් පවසන්නී ය.
ඉතිහාසඥ රානා සාෆ්වි දැනට දිල්ලිහි වාසය කළ ද, අග්‍රාවේ හැදී වැඩුණු තැනැත්තියකි. 1978 දී ජලගැල්මක් පැමිණෙන තුරුම තාජ් මහලේ භූගත කාමර සංචාරකයින්ට විවරව තිබූබැව් ඇයට මතක ය.
“සමාධිය ඇතුළටත් වතුර ගලලා තිබුණා. සමහර භූගත කාමරවලට රොන්මඩ ඇවිත් තිබුණා, තව පැලුම් කීපෙකුත් හැදිලා තිබුණා. ඒකෙන් පස්සේ බලධාරින් ඒ කාමර සංචාරකයින්ට වහලා දැම්මා. ඒවයේ ඇතුළේ මොකවත් නැහැ,” ඇය පවසයි. සංරක්ෂණ කටයුතු සඳහා වරින් වර මෙම කුටි විවර කෙරේ.
තාජ් වටා බොහෝ මිත්‍යාවන් සහ ජනප්‍රවාදයන් ද බැඳී පවතියි.
ඒ අතරට, පවතින සමාධියට විරුද්ධ දෙසින් “කළු තාජ් මහලක්” ඉදිකිරීමට ෂා ජහාන් සැලසුම්කර සිටිබව හා තාජ් මහල යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ ගොඩනැගුමක් ය වැනි ප්‍රවාදයන් ද වේ.
මුස්ලිම් සමාජය තුළ කාන්තාවන්ට ලබාදී ඇති පහත් ස්ථානය නිසා මෙය කාන්තාවක් වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් විය නොහැකියැ යි ඇතැම් බටහිර විද්වතුන් පවසනමුත්, ඉස්ලාමික ලෝකය තුළ කාන්තාවන් වෙනුවෙන් තනා ඇති අනෙකුත් සමාධීන් මෙම මතය හරහා පහසුවෙන් නොසලකාහැර තිබේ.
සමාධිය නිමැවීමෙන් අනතුරුව ෂා ජහාන් එහි ගෘහ නිර්මාණ ශිල්පියා හා සේවකයින්ට මරණ දඬුවම නියමකළ අයුරු පැවසෙන කතන්දර ස්මාරකය අසල දී උද්යෝගීමත් මඟපෙන්වන්නන් විසින් සංචාරකයින් වෙත විස්තර කෙරෙනු ද දක්නට හැකි ය.
තාජ් මහල යනු අතීතයේ ශිව දෙවියන් වෙත කැපකළ හින්දු දේවස්ථානයක් ය යන්න ඉන්දියාව තුළ පැළපදියම්ව ඇති මිත්‍යාවකි. 1761 දී සුරාජ් මල් නම් හින්දු රජෙකු අග්‍රාව අත්පත්කර ගත් විට, තාජ් මහල හින්දු සිද්ධස්ථානයක්බවට හරවන්නැ යි රාජ සභාවේ පූජකයෙකු යෝජනා කළබැව් කියැවේ. 1964 දී, ඉන්දීය ඉතිහාසය නැවත ලිවීම සඳහා ආයතනයක් පිහිටවූ පී. එන්. ඕක්, තාජ් මහල යනු නිසැකයෙන්ම හින්දු කෝවිලකැ යි සිය ග්‍රන්ථයක් හරහා ප්‍රකාශ කරයි.
2017 දී භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු වන සංගීත් සෝම්, තාජ් මහල “ද්‍රෝහීන් විසින් ගොඩනගනු ලැබූවක්” බැවින් එය ඉන්දියානු සංස්කෘතියට “කැලැලක්” ලෙස හැඳින්වීය. පසුගිය සතියේ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරියක වන දියා කුමාරි ප්‍රකාශකර සිටියේ ෂා ජහාන් හින්දු රජ පවුලකට අයත්ව තිබූ “ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන” මෙම ස්මාරකය ඉදිකර ඇතිබවකි.
ඉතිහාසඥ සාෆ්විට අනුව පසුගිය දශකය හෝ ඒ ආසන්න කාලයක් තිස්සේ දක්ෂිණාංශික මත දරන්නන් පිරිසක් අතර මෙවන් න්‍යායයන් පැතිරීම වඩාත් වේගවත්වී තිබේ.
“දක්ෂිණාංශික මත දරන අයගෙන් පිරිසක් අසත්‍ය පුවත්, ව්‍යාජ ඉතිහාසය, සහ හින්දූන්ගෙන් බොහෝ දේ උදුරාගත්තා, හින්දූන්ට හැමෝම පහරදෙන්න බලාගෙන ඉන්නවා වගේ මතයන්ගේ ග්‍රහණයට ලක්වෙලා ඉන්නවා,” ඇය පවසන්නී ය.
මහාචාර්ය කොක් ඒ සම්බන්ධයෙන් මෙසේ පවසයි: “පේන විදියට තාජ් මහල් සම්බන්ධයෙන් සිද්ධ කෙරුණු විද්වත් පර්යේෂණයන්ට වඩා තියෙන්නේ ඒ වටා ගෙතිච්ච කතාන්දර.”