ඊශ්‍රායල – පලස්තීන ගැටුම ගැන පැහැදිලි කිරීමක්… ‘අයන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද?

0
564

ඊශ්‍රායල – පලස්තීන ගැටුම ගැන පැහැදිලි කිරීමක්… ‘අයන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද?

ජෙරුසලමේ හටගත් ගැටුම්වලින් පලස්තීනුවන් සියගණනක් හා ඊශ්‍රායල පොලිස් නිලධාරීන් විස්සකට වැඩි ප්‍රමාණයක් ද තුවාල ලබා තිබිණි.

අලුතින් ප්‍රචණ්ඩ ක්‍රියා මතුවූයේ මාස කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුව වුවත් ඊශ්‍රායල – පලස්තීන ගැටුම දශක ගණනාවක සිට ඇදී එන්නකි.

ගැටුම ඇරඹුණේ කෙසේද?

Bethlehem in the early 20th century
බෙත්ලෙහෙම – 20 වෙනි සියවස මුලදී

සියක් වසක ගැටලුවක්

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යය යටතට පත් විණි. එසේ වූයේ එම කොටසේ පාලනය ගෙන ගිය ඔටොමාන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් අනතුරුවය.

එම භූමියේ සුළුතරය යුදෙව් ජාතිකයන් වූ අතර බහුතරය අරාබි විණි.

දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වය මතුවන්නට වූයේ, පලස්තීනය තුළ යුදෙව් ජනතාව වෙනුවෙන් “ජාතික නිවහනක්” ගොඩනැගීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව විසින් බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග ය.

එම භූමිය සිය පාරම්පරික නිවහන බව යුදෙව්වන් පැවසුවත් ඊට පලස්තීන අරාබි වැසියෝ ද හිමිකම් කියමින් අදාළ පියවරට එරෙහි වූහ.

Haganah (Jewish Underground) fighter just before the start of the Israeli War of Independence 1948
හැග්නාහ් (යුදෙව් රහසිගත) සටන්කරුවෙක් – 1948 ඊශ්‍රායල නිදහස් යුද්ධයට ආසන්නයේ

1920 සහ 40 ගණන්වල සිට එම භූමිය වෙත පැමිණෙන යුදෙව් ජනයාගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතිණි. එසේ ආ බොහෝ දෙනා යුරෝපයේ එල්ල වූ වධහිංසාවලින් ගැලවීම සඳහා මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේ සංහාරයෙන් පසු නිජබිමක් අපේක්ෂාවෙන් පැමිණියෝ වූහ.

යුදෙව් හා අරාබි ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වය ද ඉහළ නගින්නට විණි.

ඒ අනුව පලස්තීනය යුදෙව් හා අරාබි රාජ්‍ය ලෙස වෙන් කරමින් ද ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත් කරමින් ද එක්සත් ජාතීන් 1947 දී යෝජනාවක් සම්මත කර ගත්හ.

යුදෙව් නායකයින් විසින් පිළිගන්නා ලද එම සැලසුම අරාබි පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර කිසිදා ක්‍රියාවට නොනැගිණි.

The soldiers of allied Arab Legion forces fire, 06 March 1948 from East sector of Jerusalem on Jewish fighters of the Haganah, the Jewish Agency self-defence force, based in Jemin Moshe quarter of the West sector of the city during during the first Arab-Jewish conflict.
 

ඊශ්‍රායලයේ නිර්මාණය සහ ‘මහා විපත’

ගැටලුව විසඳිය නොහැකි වූ තැන 1948 දී බ්‍රිතාන්‍ය පාලකයින් ඉන් ඉවත්ව ගිය අතර ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම යුදෙව් නායකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

බොහෝ පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර යුද්ධයක් ඇරඹිණි. අසල්වැසි අරාබි රටවල හමුදා ආක්‍රමණය කළහ.

ලක්ෂ ගණනක පලස්තීනුවන්ට පලායාමට හෝ සිය නිවෙස් අතහැර යාමට බලකෙරුණු එම සිදුවීම ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ ‘අල් නක්බා’ නොඑසේ නම් ‘මහා විපත’ යනුවෙනි.

ඊළඟ වසරේදී සටන්විරාමයක් සමග ගැටුම් අවසන් වනවිට භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ඊශ්‍රාලයේ පාලනය යටතේ පැවතිනි.

ජෝර්දානය විසින් අල්ලාගන්නා ලද භූමිය බටහිර ඉවුර නමින් හැඳින්වුණු අතර ගාසා ප්‍රදේශය ඊජිප්තුව විසින් අත්පත් කරගෙන තිබිණි.

ජෙරුසලම බෙදී ගොස් තිබුණේ එහි බටහිර කොටස ඊශ්‍රායල හමුදාව සහ නැගෙනහිර කොටස ජෝර්දාන හමුදාව අතට පත්කෙරිමිනි

සෑම පාර්ශවයක් ම එකිනෙකාට චෝදනා කරන අතරේ සාම ගිවිසුමක් නොතිබූ හෙයින් ඉන් පසු එළඹුණු දශක ගණන තුළ යුද්ධ හා ගැටුම් හට ගත්තේය.

line
line

වර්තමාන සිතියම

ඊශ්‍රායලයේ සිතියම
Presentational white space

එසේ 1967 දී ඇති වූ තවත් යුද්ධයකදී නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුරත්, සිරියානු ගෝලාන් කඳුකරයේ වැඩි ප්‍රමාණය මෙන්ම ගාසා සහ ඊජිතුවේ සිනායි අර්ධද්වීපය ද ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලදී.

බොහෝ පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගාසා හා බටහිර ඉවුර මෙන්ම අසල්වැසි ජෝර්දානය, සිරියාව හා ලෙබනනයේ වෙසෙති.

එම සරණාගතයින්ට හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන් හට යළි සිය නිවෙස් වෙත පැමීණීමට ඊශ්‍රායලය ඉඩ නොදේ. ඊශ්‍රායලය පවසන්නේ එසේ කළහොත් සිය රට පිරී ඉතිරී යනු ඇති අතර යුදෙව් රාජ්‍යයක් ලෙස එහි පැවැත්මට තර්ජනයක් වන බවකි.

Israeli military commanders arrive in East Jerusalem, after Israeli forces seized East Jerusalem, during the Six Day War 1967
1967 සය දින යුද්ධයේදී අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලම කරා ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරීන් පැමිණෙන අයුරු

ඊශ්‍රායලය තවදුරටත් බටහිර ඉවුර අත්පත් කරගෙන සිටී. ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත් වුව ද එක්සත් ජාතීන් විසින් එය තවදුරටත් සලකනු ලබන්නේ අත්පත් කරගන්නා ලද භූමියේ කොටසක් ලෙසිනි.

සමස්ත ජෙරුසලම සිය අගනුවර බව ඊශ්‍රායලය පවසන අතර සිය අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම වන බව පලස්තීනුවෝ පවසති. එසේ මුළු නගරයටම ඊශ්‍රායලය හිමිකම් පෑම පිළිගත් අතලොස්සක් වූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් වේ.

ගෙවී ගිය 50 වසර තුළදී අදාළ ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් ජනපද ගොඩ නගනු ලැබ ඇති අතර මේ වනවිට එහි 600,000 ට වැඩි යුදෙව් ජනතාවක් වාසය කරති.

මෙය ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී වන අතර සාමයට බාධාවක් බව පලස්තීනුවන් පවසතත්, ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරයි.

දැන් සිදුවන්නේ කුමක් ද?

A pro-Palestinian woman and a pro-Israeli man shouting at each other

නැගෙනහිර ජෙරුසලම, ගාසා හා බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් හා ඊශ්‍රායලය අතර නිතර උණුසුම් තත්ත්ව හටගනී.

ඊශ්‍රායලය සමග බොහෝ විට යුද වැදුණු හමාස් නමින් හඳුන්වන පලස්තීන සන්නද්ධ කණ්ඩායම ගාසා පාලනය කරයි. ඔවුන් වෙත අවි ලැබීම නැවැත්වීම සඳහා ඊශ්‍රායලය මෙන්ම ඊජිප්තුව ද ගාසා තීරය සමග ඇති සිය දේශසීමා දැඩි පාලනයකට යටත් කර තිබේ.

ඊශ්‍රායලයේ ක්‍රියා සහ සීමා හමුවේ තමන් පීඩා විඳින බව ගාසා මෙන්ම බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවෝ පවසති. එහෙත් ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනුවන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම සඳහා පමණක් තමන් ක්‍රියාත්මක වන බවය.

2021 අප්‍රේල් මස මැද ශුද්ධ වූ මුස්ලිම් මාසය ආරම්භයේ සිට තත්ත්වය උත්සන්න වූයේ පොලිසිය හා පලස්තීනුවන් අතර රාත්‍රී කාලයේ හටගන්නා ගැටුම් සමගිනි.

නැගෙනහිර ජෙරුසලමේ ඇතැම් පලස්තීන පවුල් තර්ජනාත්මකව ඉවත් කිරීමද ප්‍රකෝපය ඉහළ යාමට හේතු විය.

Tear gas is fired at protestors during clashes with Israeli forces near the border between the Gaza strip and Israel
ගාසා තීරය හා ඊශ්‍රායලය අතර දේශසීමාව ආසන්නයේ ඊශ්‍රායල හමුදා සමග ඇතිවූ ගැටුම්

ප්‍රධාන ගැටලු මොනවාද?

ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර එකඟතාවක් ඇති නොවන ගැටලු ගණනාවකි.

පලස්තීන සරණාගතයින්ට කුමක් සිදුවේද, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස එසේ පවතින්නේද නැති නම් ඉවත් කරන්නේද, ජෙරුසලම දෙපාර්ශවය විසින් ම බෙදාහදාගනු ලබන්නේද, සහ වඩාත් දුෂ්කර කරුණ වන ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යය ගොඩනැගිය යුතුද යන ගැටලු ඒ අතර වේ.

වසර 25 ක් පුරා අතරින් පතර සාම සාකච්ඡා පැවතිය ද අර්බුදය තවමත් විසදී නැත.

අනාගතයට ඉතිරිව ඇත්තේ කුමක් ද?

කෙටියෙන් පවසතොත්, මෙම තත්ත්වය ඉතා ඉක්මණින් විසඳෙන බවක් පෙනෙන්නට නැත.

වඩාත් මෑත කාලීන සාම සැලසුම සකසනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරය දරන සමයේ දී ය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය හඳුන්වනු ලැබුවේ “සියවසේ එකඟතාව” (the deal of the century) ලෙසය. එය ඒක පාර්ශ්වික යැයි පවසමින් පලස්තීනුවන්ගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ එම සැලසුම ක්‍රියාවට නොනැගිණි.

අනාගතයේ මොනයම් හෝ සාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නම්, දෙපාර්ශවයම සංකීර්ණ ගැටලු විසඳාලීමට එකඟ විය යුතුය.

එය ඉටුවන තාක්, අර්බුදය තවත් ඉදිරියට යනු ඇත.

ඊශ්‍රායල ගාසා ගැටුම්: ‘අයන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන මේ කරුණු දැන සිටියාද?

Palestinian militants from Hamas's military wing, the Izzedine al-Qassam Brigades, display a Qassam rocket at a parade in Rafah, southern Gaza, on 21 August 2016
ගාසා හි හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් මිසයිල වර්ග ගණනාවක් භාවිත කරති

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි.

එහෙත් එම රොකට්වලින් බහුතරයක් ‘අයන් ඩෝම්’ හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලනු ලැබ ඇත.

ඊශ්‍රායලයේ ජනාකීර්ණ පෙදෙස් වෙත ලඟා වීමට පෙර, තමා වෙත පැමිණෙන රොකට් ගුවන මැදදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් ‘අයන් ඩෝම්’ පද්ධතිය සතු බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

Iron Dome

‘අයන් ඩෝම්’ යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. ඒ සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කෙරේ.

තමා වෙත පැමිණෙන රොකට් හඳුනා ගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිත කරන අතර ඒවා බිඳ හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි.

එම තාක්ෂණයට ගොඩනැගිලි සහිත ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකියාව ඇත.

1px transparent line

නගර වෙත ලඟා වෙන රොකට් පමණක් එමගින් බිම හෙලන අතර ඒ හේතුවෙන් වැය වන මුදල අඩු කර ගැනීමට හැකි වීම තුලින් පද්ධතියේ පිරිවැය එලදායිතාව ඉතා ඉහලය.

‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පතට අනුව එක් රොකට් බිඳහෙලනයක් සඳහා වැය වන මුදල ඩොලර් 150,000 කි.

එය වැඩිදියුණු කර ඇත්තේ කෙසේද?

Rockets are launched by Palestinian militants in Gaza towards Israel (10 May 2021)
සඳුදා රාත්‍රියේ සිට ගාසා තීරය වෙතින් දහසක ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල වූ බව ඊශ්‍රායලය පවසයි

‘අයන් ඩෝම්’ හි ඉතිහාසය 2006 වසරේ පැවති ඊශ්‍රායල හිස්බුල්ලා ගැටුම දක්වා දිව යයි. හිස්බුල්ලා යනු දකුණු දිග ලෙබනනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කණ්ඩායමකි.

හිස්බුල්ලා සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් දහස් ගණනක් එල්ල කළ අතර එමගින් විශාල හානියක් මෙන්ම ජීවිත ගණනාවක් අහිමි විය.

ඉන් වසරකට පසු ඊශ්‍රායලය ප්‍රකාශ කලේ තම රජය යටතේ ක්‍රියාත්මක ‘Rafael Advanced Defense Systems’ ආයතනය විසින් අලුතින් මිසයිල ආරක්ෂණ පද්ධතියක් වැඩිදියුණු කරන බවයි.

එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදයෙන් අතිරේක ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබිණි.

වසර ගණනාවක පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම්වලින් අනතුරුව එම පද්ධතිය සටන් භූමියකදී පළමුව අත්හදා බලන ලද්දේ 2011 වසරේදීය. ඒ ඊශ්‍රායලයේ දකුණු දිග බීර්ෂීබා නගරය වෙත එල්ල වූ මිසයිලයක් එමගින් ව්‍යර්ථ කළ අවස්ථාවේදීය.

‘අයන් ඩෝම්’ හි දුබල තැන් තිබේද?

Iron Dome

ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරවලට හසුව මේ දක්වා දරුවන් දෙදෙනෙකු ඇතුළුව 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති.

මේ අතර පලස්තීන සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, ගාසා වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ගණන 83 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර ළමුන් 17 දෙනෙකුවත් සිටින බව ඔවුහු පවසති.

ජීවිත හානි සිදු කළ හැකි ප්‍රහාර ගණනාවක් ව්‍යර්ථ කරමින් ‘අයන් ඩෝම්’ ඊශ්‍රායල වැසියන් ආරක්ෂා කර ඇති බවට සැකයක් නැතත් එය මිසයිල වලින් පූර්ණ ආරක්ෂාවක් ලබා දිය හැකි තිරයක් නොවේ.

ගාසා වෙතින් එල්ල කෙරෙන රොකට්වලින් 90%ක් පමණ ව්‍යර්ථ කිරීමට හැකියාවක් පැවතීම, අනාගතයේදී වෙනස් සතුරෙකු ඉදිරියේදී වඩාත් අභියෝගයක් විය හැකි බව ඇතැම් විවේචකයෝ පවසති.

ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩි වැඩියෙන් මිසයිල විදීමේ හැකියාවක් හිස්බුල්ලා සතු බව, ‘ද ජෙරුසලම් පොස්ට්’ හි බුද්ධි තොරතුරු පිළිබඳ සංස්කාරක යෝනා ජෙරමි බොබ් පවසයි. ඒ සියල්ලම ව්‍යර්ථ කිරීම ‘අයන් ඩෝම්’ වෙත අපහසු විය හැකි බව සංස්කාරකවරයා පෙන්වා දෙයි.

A Palestinian man walks past the remains of a tower block in Gaza City that was destroyed in an Israeli air strike (12 May 2021)
රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා වෙත ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත

මෑත ගැටුම්වලට මැදි වූ ඊශ්‍රායල වාසීහු සිය ජීවිත බේරා දීම ගැන ‘අයන් ඩෝම්’ වෙත ස්තූතිවන්ත වෙති.

එහෙත් ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාඥයෙකු වන ආචාර්ය යොආව් ෆ්‍රොමර් කියා සිටියේ ඊශ්‍රායල බලධාරීන් මිසයිල ආරක්ෂණ ආවරණයමත විශ්වාසය තැබීම නිසා ඊශ්‍රායල පලස්තීන ගැටුම සඳහා දීර්ඝ කාලීන දේශපාලන විසඳුමකට ලඟා වීම එකතැන නතර වී ඇති බවය.

“මෙහි ඇති උත්ප්‍රාසය නම්, ‘අයන් ඩෝම්’ හි කැපී පෙනෙන සාර්ථකත්වයේ අතුරු ඵලයක් වන්නේ එය විදේශ ප‍්‍රතිපත්ති අසාර්ථකත්වයට දායක වන ආකාරයයි. එය ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රචලිත වීමට හේතු වෙනවා.” යනුවෙන් ඔහු බීබීසියට පැවසීය.

“වසර ගණනාවකට පසුවත් අපි අවසානයක් නැති එකම ප්‍රචණ්ඩ චක්‍රයයේ තවමත් සිරවී සිටිනවා,”

ඊශ්‍රායල – ගාසා ගැටුම්: සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලීම්

Grandmother of 15-year-old Mahmud Tolba, who was killed in Israeli air strike, mourns during his funeral in Al Zaitun neighborhood in the east of Gaza City
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිය 15 හැවිරිදි මුණුබුරා අහිමි වූ ගාසා හි කාන්තාවක්

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කරුවන් අතර දැඩි ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිව සිටින සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉල්ලා සිටිති.

ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දරුවන් ඉවතට ගන්නා අයුරු සහ ඊශ්‍රායලයේ ජනයා ආරක්‍ෂිත ස්ථාන සොයා දිවයන අයුරු දැක්වෙන දර්ශන ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

දෙපාර්ශවය අතර ගැටුම් දෙවෙනි සතියටත් ඇවිල යද්දී සටන් විරාමයක් පිළිබඳ ඇත්තේ කුඩා බලාපොරොත්තුවකි.

ගාසා තීරයේ දරුවන් 61 ක් ඇතුළු 212 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ දරුවන් 2 ක් ඇතුළුව දස දෙනෙකු මරණයට පත්ව තිබේ.

ගාසා හි මරා දැමුණු වැඩි දෙනෙකු අතර සිටින්නේ සටන්කරුවන් බව පවසන ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ගේ මරණ සිතා මතා සිදු නොකළ ඒවා බව කියා සිටියි.

ගාසා තීරයේ පාලනය ගෙන යන හමාස් සන්නද්ධ කණ්ඩායම එය පිළිගන්නේ නොමැත.

රාත්‍රියේ රොකට් ප්‍රහාර

A woman walks inside her parents" apartment after it was hit with a rocket fired from Gaza, in Ashdod, Israel
ගාසා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් හානියට පත් දකුණු දිග ඊශ්‍රායලයේ නිවසක්

සඳුදා (මැයි 17) රාත්‍රියේ, ලෙබනන දේශසීමාවට ආසන්නයෙන්, උතුරු සහ දකුණු දෙසින් රොකට් ප්‍රහාර එල්ල වීමත් සමග යළි ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ නලා හඬ ඇසුනි.

සිය ප්‍රහාර තවදුරටත් පවත්වාගෙන යන බව ඊශ්‍රායල නායකයෝ යළි සපත කර තිබේ.

line
line

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන අවධානය ඉහළ යමින් පවතී.

සාමාන්‍ය වැසියන් තුවාල වීම සහ මරණයට පත්වීම හෝ විනාශයන් නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වීම වළකාලනු වස් පියවර ගන්නා ලෙස ලෝක නායකයන් සහ මානුෂීය ආධාර ලබා දෙන සංවිධාන ඉල්ලා සිටිති.

‘පාසල් 40 ක් රෝහල් 4 ක්…’

ඊශ්‍රායලයේ සිතියම

දවස් අටක් ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර ගාසා හි පැවති ගැටුම් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සටන් විරාමයක් වෙනුවෙන් සහාය දෙන බව පවසයි.

ගැටුම් නතර කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව, ඊජිප්තුව සහ සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බව ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත පවසා තිබේ.

එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව ඇමරිකාව විසින් යළි වළකනු ලැබිණි.

සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම ඊශ්‍රායලය විසින් වළකා ගනු ලැබ යුතුව ඇතැයි එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා කියා සිටියි.

එහෙත් “අනෙක් අතින් හමාස් සිය මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන්ගේ ගොඩනැගිලි සහ මිනිස්සු පලිහක් වශයෙන් යොදා ගන්නවා.” යනුවෙන් එම ප්‍රකාශකයා අවධානයට ලක් කරයි.

විශේෂයෙන් දරුවන් ද ඇතුළුව සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇන්ටනී බ්ලින්කන් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය. “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඒ සඳහා ඊශ්‍රයලයට අතිරේක බරක්” ඇති බව ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායල් – ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි

දැනටමත් දුගීභාවයෙන් පීඩා විඳින, මිලියන දෙකක් වෙසෙන ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදුවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කරයි.

මෑත දිනවලදී පාසල් 40 ක් සහ රෝහල් 4 ක් “සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්” විනාශ වී ඇති බව එම සංවිධානය පවසයි. මූලික සේවාවන්ට තර්ජනයක් වන පරිදි එහි ඉන්ධන සැපයුම අවසන් වෙමින් පැවතීම පිළිබඳව ද එම සංවිධානය අනතුරු ඇඟවීය.

සෞඛ්‍ය සේවා ගොඩනැගිලි වෙත එල්ල කෙරෙන් සියලුම ප්‍රහාර නවතා දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවසීය.

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here