කොරෝනා මර්දන “දේශීය ඖෂධ පරික්ෂා නොකිරීමෙන් ජනතාව අනතුරක” – සෞඛ්‍ය නිලධාරීන්…

0
261
කොරෝනා මර්දන “දේශීය ඖෂධ පරික්ෂා නොකිරීමෙන් ජනතාව අනතුරක” – සෞඛ්‍ය නිලධාරීන්…

කොරෝනා වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ විවිධ එන්නත් ඇතැම් රටවල් මේ වන විට තම ජනතාවට ලබාදීම ආරම්භකර ඇති අතර එක්සත් රාජධානිය ෆයිසර් සමාගම නිපැයූ එන්නත ලබාදුන් පළමු රට බවට පත්විණි.

එහෙත් එවැනි කිසිදු එන්නතක් අනයනය කිරීමට හෝ කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට අදාළ කිසිදු විධිමත් සැලැස්මක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙතින් හෙළි වී නැත.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට උචිත යැයි සඳහන් වූ විවිධ දේශීය බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතරේ විවිධ ආයුර්වේද මෙන්ම ‘හෙළ වෛද්‍යවරුන්’ යැයි පැවසෙන පුද්ගලයින් කොරෝනා වෛරසය මර්දනය කිරීමට හෝ රෝගය සුව කිරීමට ඖෂධ සොයා ගත බවට ප්‍රචාරය වීමෙන් ජනතාව මහත් අනාරක්ෂිත බවකට පත්ව සිටින බවට ඇතැම් සෞඛ්‍ය නිලධාරීහු චෝදනා නගති.

රජය හා සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පරීක්ෂණ නොකිරීම හා ඒ පිළිබඳව මුනිවත රැකීමෙන් ජනතාව අනාරක්ෂිත බවට පත්වෙද්දී ඇතැම් දේශපාලකයන් විසින් මෙම තත්ත්වය තමන්ගේ ප්‍රචාරණය සදහා යොදාගනු ලැබීම ඉතා භායනක බවට ඔවුන් ගේ අදහසය.

“දේශපාලකයන්ගේ පැත්තෙන් මේ සමහර උත්ප්‍රේරණයක් කරන්නේ මේ පැණි ගැන එහෙම නැත්තම් මේ ඖෂධ ගැන නිවැරදි සොයාබැලීමක් කරලා නෙමෙයි. ඔවුන් මේ සම්බන්ධයෙන් අර දේශීයත්වය උඩට ඉලිප්පුවහම තමන්ට දේශපාලන වාසියක් ඇතිවෙනවා කියන කාරණාව මුලික කරගනිමින් සමහර අය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒකනිසා ඖෂධයක් විදිහට කෙනෙකුට දෙනවනම් පළමුවෙනි එක තමයි රෝගය සුව කරන එක කෙසේවෙතත් ඒ ඖෂධය නිසා දීර්ඝ කාලින හා කෙටි කාලිනව මිනිස්සුන්ට ඇතිවෙන්නට පුළුවන් සංකුලතා සම්බන්ධයෙන් මිට වඩා විධිමත්ව විමර්ශනය කරන්නට පුළුවන්,” යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

රවී කුමුදේශ්

“අපිට ඕන එකක් බොන්නට පුළුවන් අඩුම තරමේ අපිට හානියක් වෙන්නේ නැත්නම්. මේවා සම්බන්ධයෙන් රටේ මිනිස්සු අයාලේ යන්න ඉඩ දීම බරපතල සෞඛ්‍ය වැරැද්දක් විදිහට අපි පෙන්නලා දෙනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් විධිමත්ව ක්‍රියා කරනකන් ඒ ප්‍රචාරණය විශේෂයෙන්ම අමාත්‍යංශය, කැබිනට් ප්‍රකාශකයෝ, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් දෙන ප්‍රචාරණය කිසියම් අත්හිටුවිමක් කරන්නට කියල අපි පැහැදිලිවම රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා.”

මේ අතර මහත් කතාබහකට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් සාදන ලද බව කියන කොරෝනා වෛරසය මැඩලීමට හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂාවකට ලක්කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බව කී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ එහිදී සිදු වී ඇත්තේ යමෙකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ය.

හරිත අලුත්ගේ

“මේ පිළිබඳව යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එක හොදයි රටක් විදිහට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා මේක හරියට සනාථ වෙනකම් මේ පිළිබඳව අනවශ්‍ය බලාපොරොත්තු තබල කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්. මොකද ජනතාවට ඇත්තටම අනුගමනය කළ යුතු පුරුදු අමතක වෙන්න පුළුවන්. මේ වගේ සමහර දේවල් එල්ල එහෙම වෙන්නේ නැතිව මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වන තාක්කල් අපි මේ දක්වා අනුගමනය කරපු මුලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ඉස්සරහට ගමන් කිරීම තමයි සිදුවිය යුත්තේ. එහෙම උනොත් විතරයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කම ලැබෙන්නේ,” යැයි වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

“හෙළ ඔසුවක් කියපු පමණින් කලබල වෙන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසගේ මතයට සවන්දෙනවට වඩා මේ විද්‍යාත්මක පදනමක් සහිතව මේ දේවල් පරික්ෂා කළ යුතුයි කියන කණ්ඩායමත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා මේකේ යම් ප්‍රතිඵලයක් තියෙනවා නම් එක රටට අරන් දෙන්න කණ්ඩායමක් විදියට රටක් විදිහට අපි ක්‍රියාත්මක විය යුතුයි කියල තමයි අපි විශ්වාස කරන්නේ,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද යම් කණස්සල්ලක් පළ කරති.

“මේ විදිහට විවිධ බෙහෙත් තියෙනවා කියල ප්‍රචාරණය විමෙන් ජනතාව තුළ මේ රෝගයට තියෙන භීතිය නැතිවෙලා මෙතෙක් අනුගමනය කරපු නියම සෞඛ්‍ය පුරුදු අතහැරලා කටයුතු කරන්න ගියොත් බොහොම භයානක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

“රජය විසින් මැදිහත් වෙලා මේ පිළිබඳව විධිමත්ව සායනිකව හා විද්‍යාත්මකව පරීක්ෂණයක් කරලා හරි දේ ඔප්පුකරගෙන ජනතාවට හරි දේ කියන්න ඕන. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු ජනතාව මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි.”

කොරෝනා මර්ධන පැණිය දේශපාලකයින් විසින් ඔසවා තබන බවට හැගවෙන කාටුනයක් අවන්ත ආටිගල විසින් සිත්තමට නගා ඇති අයුරු

“අපිට ගැටලුවක් නෑ බටහිර උනත් දේශීය උනත් එත් මේක තවම සියයට සීයක්ම සනාථ වෙලා නැති නිසා මේක නිසා ගැටලුවක් මතුවෙන්න පුළුවන්,” යැයි ද කී මහජන සෞඛ්‍ය පරේක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස මේ මත කෙරෙහි විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසය.

කෙසේවෙතත්, කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට පසුගිය දා දැනුම් දුන් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ සහ ඉන්දික ජාගොඩ ගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇති බව එහි දැක්විණි.

නිවේදනයෙන් තවදුරටත් කියා සිටියේ කෑගල්ල ධම්මික බණ්ඩාර ගේ පැණිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යොමු වී සිටින බවය.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මාධ්‍ය හමුවේ පැවසුවේ “සාදික්කා අධිමාත්‍රාවක් ශරීරගතවීම විෂ සහිත වන බවකි.

“මේ වගේ ඖෂධ ඔබ හිතු මනාපේ ගන්න යන්න එපා. මේවා අධිමාත්‍රාව අනිවාර්යයෙන්ම ශරීරයට හානිකරයි. විවිධ ඖෂධ සමහරු ගෙදර හදාගන්නේ කොහොමද කියල දාල තියෙනවා. මේවා නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව හදන්න ගිහිල්ල ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම ඔබ විසින් භාරගත යුතුයි. මේවා එකපාරටම ඇත්තටම වෛද්‍ය අචාරධර්ම වලට අනුව උනත් තමා ඖෂධයක් හොයාගත්තා හෝ මේකට ඖෂධයක් කියල එහෙම ඉදිරිපත් කරන්න බෑ.” යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ කීය.

මේ අතර දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙසය.

“කොවිඩ් 19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම් තුළ භාවිතාවන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මෙම දිනවල විශාල වශයෙන් සංසරණය වීමක් දක්නට ලැබේ. මෙම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසට සමස්ත මහජනතාව චෙත කාරුණිකව දන්වා සිටිමි,” ලේකම්වරිය නිවේදය කළාය.

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞක්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර ගේ නිවේදනය

“ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. එම ඖෂධය සඳහා භාවිතා කරන්නේ ශාකමය අමුද්‍රව්‍යක් නම් එසේ භාවිතා කළ යුත්තේ එම ශාකයේ කුමන කොටසද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. යම් ඖෂධයක් සකස් කිරීම සඳහා ශාකයක පොතු යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදාගැනීම එම ඖෂධ වට්ටෝරුවෙහි නියමිත ගුණය නොලැබෙන අතර ඒ තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවීමට පවා අවස්ථාව ඇති විය හැකිය,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here