Home Sri Lanka News 2021 අයවැය ජනතාවට කෙසේ බලපායි ද?

2021 අයවැය ජනතාවට කෙසේ බලපායි ද?

0
117

2021 අයවැය ජනතාවට කෙසේ බලපායි ද?

2021 සඳහා රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 2,029 ක් දක්වා වර්ධනය වනු ඇතැයි මෙවර අගමැති වරයා ඉදිරිපත් කළ අයවැයෙන් අපේක්ෂා කෙරේ. එය 2020 දී එකතු කර ගත හැකිවේයැයි අපේක්ෂා කරන සාපේක්ෂව අඩු ආදායම් පදනමක් වූ රුපියල් බිලියන 1,588 ට වඩා 27.8% කින් වර්ධනය වීමකි.

මුළු ආදායමෙන් දළ වශයෙන් 85% ක් බදු මාර්ගයෙන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර 11.2% ක් බදු නොවන ආදායම් ස්වරූපයෙන් ද ඉතිරිය ප්‍රදාන ස්වරූපයෙන් ද ලබා ගැනීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කර තිබේ.

අදායම් බදු අයකිරීමෙන් සියයට 14.5 ක වර්ධනයක් අපේක්ෂාකරන අතර එමගින් රුපියල් බිලියන 371 ක් අපේක්ෂා කර ඇත. භාණ්ඩ හා සේවා මත බදු අදායම සියයට 30.4ක වර්ධනයක් තුළින් රුපියල් බිලියන 823ක් ද විදේශ වෙළෙඳාම මත බදු සියයට 29.5ක් වර්ධනයක් තුළින් රුපියල් බිලියන 530ක්ද අපේක්ෂා කරයි.

මහින්ද රාජපක්ෂ

කෙසේවෙතත්, ආයතනික බදු අනුපාතවල පහත වැටීම සහ පරිභෝජනය මන්දගාමී වීම සැලකිල්ලට ගෙන මෙම ආදායම් ඉලක්කය සපුරා ගැනීම අභියෝගාත්මක වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

රාජ්‍ය අදායම

2021 දී රජයේ වියදම 25.9% කින් එනම් රුපියල් බිලියන 3,594 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනුයේ 2020 දී පදනම පහත් තත්ත්වයක (low base) තිබීම හේතුවෙන් යැයි විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

වැටුප් හා වේතන, පොලී, සහනාධාර සහ මාරුවීම් සහ වෙනත් භාණ්ඩ හා සේවා ඇතුළත් පුනරාවර්තන වියදම් සමස්ත වියදමෙන් 70.5% ක ප්‍රමාණයක් බවට පෙන්නුම් කරයි.

අයවැය හිඟය 23.6% කින් එනම් රුපියල් බිලියන1,565 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයට හේතුව ආදායමට සාපේක්ෂව වියදම් වැඩිවීම නිසා 2021 දී අයවැය හිඟය පුළුල් වීමය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, 2020 සඳහා ඇස්තමේන්තු කර ඇති 7.9% ට සාපේක්ෂව 8.9% දක්වා පුළුල් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

අයවැය

අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැට කෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන අයවැයක් ඉදිරිපත් කරන බවය.

මෙවර අයවැය කෘෂි කර්මාන්තය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ද දේශීය කර්මාන්ත සඳහා යම්කිසි ආරක්ෂාවක් ද සැලසීමට අපේක්ෂා කෙරුණු අයවැයක් ලෙස ඇතැම් ආර්ථික විශේෂඥයෝ හැඳින්වූහ.

“මෙම අයවැයෙන් සහන ලබාදීලා තියෙන්නේ කෘෂි කර්මාන්තයට අදාළව තමයි, දේශීය කිරි කර්මාන්තයටත් වැඩි අවධානයක් දීල තියෙනවා. කෘෂි කර්මාන්තය ආශ්‍රිතව කරනු ලබන ආයෝජන සඳහා බදු සහන දීල තියෙනවා,” යනුවෙන් ෆිර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ෆර්ස්ට් කැපිටල් හි ආයෝජන පිළිබඳ පර්යේෂණ ප්‍රධානී ඩිමන්ත මැතිව්

“ප්‍රාග්ධන වියදම් වැඩියෙන්ම යොමුකරලා තියෙන්නේ මහාමාර්ග සඳහා ඒකත් ග්‍රාමීය මාර්ග වලට විශේෂ අවධානයක් යොමුවෙනවා. ඉදිකිරීම් අංශය, අධිවේගී මාර්ග, මහාමාර්ග සහ ග්‍රාමීය මාර්ග සඳහාත් මුදලක් වෙන්කරලා තියෙනවා.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ණය සහන පැකේජයක්, බදු සහන පැකේජයක් දී තිබියදීත් පොලි අනුපාත තනි ඉලක්කමට ගෙනෙමින්, 160,000 කට රජයේ රක්ෂා දී අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළදී මෙම අයවැය ඉදිරිපත් කර තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“1977 න් පස්සේ පළමුවෙනි වතාවට ආනයන තහනම් කරලා මේ රටේ ලක්ෂ ගණන් මහපොළොවේ හැපෙන මිනිසුන්ගේ පැත්තේ හිටගත්ත එකම ආණ්ඩුව බවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වුණා,” යනුවෙන් ඔහු පැවසීය.

“කෘෂිකාර්මික අංශය සම්පුර්ණයෙන් බද්දෙන් නිදහස් කර තියෙනවා, අපනයන බදු නිදහස් කරලා තියෙනවා.”

“රට ඇතුලේ සියළු දෙනාට වැඩකරන්න අලුතෙන් එකතුවෙන්න කියන අවස්ථාව යටතේ උපයපු ආකාරය හෙළිදරව් නොකළ මොනවා හරි මුදලක් කාගේ හරි ළඟ තියෙනවානම් ඒ සියලු මුදල් දිවුරුම් ප්‍රකාශයක් මහින් රටට ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරලා මේ තියෙන ඕනෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් රජයේ ඉඩම් දෙන්නම් අරගෙන වවන්න, කර්මාන්ත පටන් ගන්න ව්‍යාපාර පටන් ගන්න ආයෝජනය කරන්න සියයට එකක නාමික බද්දක් විතරයි අය කරන්නේ, ලක්ෂ සියයක් තියෙනවානම් ඉපයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි ලක්ෂයක් විතරයි රජයට ගන්නේ 99 ලක්ෂයක් අලුත් බදු ලිපිගොනුවක් යටතේ අලුතෙන් මිනිසුන්ට ඉපදෙන්න අවස්ථාව දීපු ලංකාවේ ප්‍රධානතම අයවැය ලේඛනය තමයි මේ අයවැය ලේඛනය,” යනුවෙන් ඔහු පැවසීය.

2021 අයවැය නිල වශයෙන් මුදල් විශුද්ධිකරණය අනුමත කරන්නේ විදේශයන්හි සඟවා ඇති සැඟවුණු අරමුදල් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් විමසීමකින් තොරව දේශීයව ආයෝජනය කිරීමට මෙයින් ආරාධනා කෙරෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටී. වසර ගණනාවක් පුරා මුදල් අමාත්‍යංශය වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිටින මුරකරු වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ‘අළු ලැයිස්තුවට’ ශ්‍රී ලංකාව ආපසු යා යුතුද? යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාව 2019 ඔක්තෝම්බර් මාසයේදී, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් පවත්වාගෙන යනු ලබන ‘අළු ලේඛනය’ ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරිණි.

විපක්ෂය චෝදනා කරන්නේ මෙම අයවැය තුළ, රට ඉදිරියට ගෙනයාමට හෝ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට කිසිදු විසදුමක් නොමැති බවකි.

“අද තියෙන ප්‍රධානම අර්බුදය මොකක්ද? කෙටිකලීන ගැටලුව තමයි කොවිඩ් වසංගතය නිසා ඇතිවෙලා තියෙන ආර්ථික කඩා වැටීම. මම අලුතෙන් කියන්න ඕන නෑනේ ආයතන වහල, රැකියා අහිමි වෙලා පඩි කපල මිනිස්සු පාරට වැටිලා,” යනුවෙන් හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා බදාදා (නොවැ. 18) පාර්ලිමේන්තුවට පැවසීය.

“මිනිස්සු දුක්විඳිනවා මහා පාරේ, ගිහිල්ල බලන්න පුළුවන් මෙතන ඉන්න රජයේ කටිටියට ජනතාව දුක්විඳින්නේ නැද්ද කියල.

මෙම අවස්ථාවේදී ජනතාව බලාපොරොත්තු වුයේ සහනයක්, ඔවුන්ට අත්වැලක්, එහෙත් මෙම අයවැයෙන් කිසිදු ආර්ථික උත්තේජක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව ඔහු කීය.

“මිනිස්සුන්නට ජීවත්වෙන්න අත්වැලක් දෙන්න ඕන මේ අයවැයෙන් කිසිම විදිහට ඒක ලැබිල නෑ. මේ රටේ සියලුම දෙනා බලාගෙන හිටිය ඒත් ආර්ථික උත්තේජකයක් ලැබුණේ නැහැ. සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා, සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන කට්ටියට බිංදුවයි, tourist guides ලට කන්න නෑ. හික්කඩුවේ කිසිම tourist shop එකක් වැඩ කරන්නේ නෑ. මේ budget එකෙන් සෘජුවම කිසිම දෙයක් දීල නෑ. කරලා තියන එකම දේ අර ණය අයකරන එක පරක්කු කරන එක විතරයි. සත පහකවත් උත්තේජනයක් දීල නෑ.”

“හැබැයි පාරවල් carpet කරන්න විතරක් රුපියල් බිලියන 220ක්. මහා මාර්ග අමාත්‍යංශයට රුපියල් බිලියන 330ක්. අද ප්‍රමුඛතාව කතානායකතුමනි පාරවල්කාර්පට් කරන එකද එහෙමත් නැත්තම් කඩා වැටිච්ච මේ ක්ෂේත්‍ර ගොඩ ගන්න එකද කියල අපිට අහන්න සිද්ධවෙනවා.” යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ අතර විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම පිළිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ විශාල කතාබහකට ලක් වූ අයවැය යෝජනාවකි.

මේ පිළිබඳව ට්විටර් සමාජ ජලයේ සටහනක් තබමින් අයෙකු පැවසුවේ තමාගේ පියා විශ්‍රාම යාමට වසර පහක් පමණක් තිබූ නිසා පියා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවකි. ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකම දෙය නම් තමාගේ උපාධිය සඳහා ලබා ගත් ණය ගෙවීම හා අනෙකුත් දේවල් සපුරා ගැනීම ය. “රජය මුදල් කොල්ලකෑමෙන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනී.” යනුවෙන් එම පරිශීලකයා සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබිණි.

EPF

මෙම යෝජනාව තුළින් රජය බලාපොරොත්තුවන්නේ වැඩකරන ජනතාවට තමන් විශ්‍රාම ගැනීමේදී වයස අවුරුදු 55න් ලබාගත හැකිව තිබූ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් එසේ ගැනීමට ඉඩ නොදී තවත් අවුරුදු 5 ත් 10 ක් අතර කාලයක් ප්‍රමාද කිරීමට බවත් එමගින් ජනතාව තවදුරටත් අසීරු අඩියකට තල්ලු කෙරෙන බවත් ඇතැමුන් පවසති.

eps

තවත් ට්විටර් ක්‍රියාකාරිකයකු පවසුවේ: “කරුණාකර අවුරුදු 55 කින් අපිට පොරොන්දු වූ දේ දෙන්න. ඔබට අවුරුදු පහක් වැඩ කර විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි. ඊපීඑෆ් ලබා ගැනීම සඳහා අපි අවුරුදු 35 ක් වැඩ කරනවා. දැන්, ඔබ එය තවත් 5 කින් වැඩි කරනවා. මෙය අපරාධයක්.”

අයවැය

මේ අතර කොවිඩ් අර්බුදය හමුවේ එයින් බැටකා සිටින ජනතාවට සැලකිය යුතු සහනයක් ලබා දී නොමැති බවට ඇතැම්හු මැසිවිලි නගති.

“කිසිම මිනිහෙක් budget එකක් තියෙනවා කියල දන්නේ නෑ. මම ව්‍යාපාරිකයෙක් හැටියට මිනිස්සුත් එක්ක කතා කරනවා ඒත් මිනිස්සුන්ට කිසිම හැගීමක් නෑ. බජට් එකෙන් කරපු දෙයක් නෑ. මේ බජට් එකෙන් මිනිස්සුන්ට දැනෙන වෙනසක් නෑ. මේකෙන් මේ කරලා තියෙන්නේ ඉලක්කම් වෙනසක් කරපු එක විතරයි.” 56 හැවිරිදි, ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන කෝලිත දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

“මේකෙන් සමාන්‍ය මිනිහට එදිනෙදා ජිවිතයේදී බඩුමිල වැඩිවෙයි. හැබැයි අඩුම ගණනේ අර ගැසට් ගහල අඩුකරපු එකවත් කරලා නෑ. ගැසට් ගැහුවට ඒවායේ මිල අඩු උනේ නෑනේ. අඩුම ගණනේ ඒ ගැසට් වලින් අඩුකරපු එකවත් මේ budget එකෙන් අඩුකරලා දුන්නනම් මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු සහනයක්.” ඔහු කීය.

මේ අතර ගෘහනියක වන අමාලි සිල්වා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ මෙවර අයවැය අන් වසර වල මෙන් විශාල කතාබහකට ලක් නොවන බවය.

“වෙන පාරවල් වල අපිට අයවැයෙන් පස්සේ ලොකු ලොකු දේවල් අහන්න පුළුවන්. සිගරට් මිල වැඩිකිරීම, වාහන මිල අඩුකිරීම, අත්‍යාවශ භාණ්ඩ මිල අඩු වැඩි වීම් එත් මේ පාර බජට් එකක් තිබුණ ද කියලවත් අපිට තේරුණේ නෑ,” ඇය පැවසුවා.

මෙවර අයවැයෙන් විශාල සහන තමන් බලාපොරොත්තු නොවූ බව කළුතර පදිංචි සෙව්වන්දි කොතලාවල බීබීසී සිංහල සේවයට පැවසීය.

“කොරෝනා කාලේ අපිත් ගෙවල්වල වැව්වා නේ අපි දැනගත්තා වවන්න බැරි දෙයක් නෑ කියල, වවන්න බෑ කියන එක බොරු මේ පාර අයවැයෙන් ගොඩාක් සහන දීල තියෙනවා ගොවීන්ට. කෘෂි කර්මය පිළිබඳව ටිකක් වැඩ්පුර දේවල් දීල තිබුණා ,”

සෙව්වන්දි කොතලාවල

“කොරෝනා ත් එක්ක රටේ තිබුණ ප්‍රශ්ණත් එක්ක සහන එහෙම මම බලාපොරොත්තු උනෙත් නෑ, රජයේ සේවකයින්ට පඩි කියක් හරි වැඩි වෙයි කියල බලාගෙන ඉන්නවා එත් මේ ගමන එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ .” සෙව්වන්දි කොතලාවල පැවසීය.

“වෙළෙඳාම කෙරෙන්නේ එක් දිශාවකට නොවෙයි”

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත හවුල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ආනයන තහනම ජාත්‍යන්තර වශයෙන් සෘණාත්මක ව බලපාන බවය.

යුරෝපා සංගමය, දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක් කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත්. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබෙන බවත් එම නිවේදනයෙන් සිහිපත් කර තිබේ.

ප්‍රධාන වශයෙන් ජීඑස්පී ප්ලස් (GSP plus) පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් මෙවැනි ඒක පාර්ශ්වික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවෙනි විශොලතම ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාව ආනයනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කෙරෙහි සිය අවධානය යොමු කරන යුරෝපා සංගමය කියා සිටින්නේ, “”කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙත ද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ,” යනුවෙනි.

කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් සේම දිගින් දිගට ම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූළ නොවන බව ද යුරෝපා සංගමය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here