ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ජෝ බයිඩන් ජයග්‍රහණය කරයි, උප ජනපතිනි කමලා හැරිස්…

0
308
ඇමෙරිකානු මැතිවරණය 2020 ප්‍රතිඵල: ජෝ බයිඩන් ජයග්‍රහණය කරයි, උප ජනපතිනි කමලා හැරිස්…

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනපති පදවියට පත්වීමේ තරඟයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ජයග්‍රහණය කොට තිබේ.

ජනපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වූ පෙන්සිල්වේනියාවේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමිවනු ඇති බව බීබීසී ප්‍රක්ෂේපණය කරයි. ඒ සමගම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල ඡන්ද 270 පසු කර යාමට ඔහු සමත් වී සිටී.

පරාජය භාර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සැලසුමක් නොමැති බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉඟි කොට තිබේ.

Joe Biden

එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත්වීමට ලැබීම “ගෞරවයක්” වන අතර එය ඉතා නිහතමානීව පිළිගන්නා බව ජෝ බයිඩන් පැවසීය.

“පෙර නොවූ විරූ ආකාරයේ බාධක හමුවේ, වාර්තාගත ඇමෙරිකානුවන් පිරිසක් සිය ඡන්දය භාවිත කළහ. ඇමෙරිකාවේ හදවත අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ඵන්දනය වන බව එමගින් ඔවුහු යළිත් වරක් සනාථ කළහ,” ඔහු පැවසීය.

“කෝපය සහ පොතේගුරුවාදය පසෙක දමා ජාතියක් ලෙසින් එක්ව කටයුතු කිරීමට” කාලය එළඹ තිබෙන බව පැවසූ නව ජනපති පදවියට තේරී පත් වී සිටින ජෝ බයිඩන්, “තුවාල සුවකිරීමට සහ ඇමෙරිකාවට එකමුතු වීමට කාලයයි මේ,” යනුවෙන් ද සඳහන් කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, සිය රටේ නායකත්වයට තෝරාපත්කර ගැනීම තමන්ට ගෞරවයක් වන අතර, අනාගතය දුෂ්කර වුවත් මින් අනතුරුව තමන් සියලුම ඇමෙරිකානු වැසියන්ගේ ජනපතිවරයා ලෙසින් කටයුතු කරන බවය.

මේ ප්‍රතිඵලයත් සමඟම, ඩොනල්ඩ් ට්‍රම්ප් 90 ව දශකයෙන් අනතුරුව එක් වතාවක් පමණක් පදවිය හෙබැවූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වේ.

කියවන්න:

ඇමෙරිකානු මැතිවරණය

උප ජනපතිනි කමලා හැරිස්

පෙන්සිල්වේනියා ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වීමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කළ උප ජනපති පදවියට තේරී පත් වී සිටින කමලා හැරිස් “ජෝ බයිඩන්, අපි එය කළා” යනුවෙන් සඳහන් කොට තිබිණ.

Skip Twitter post, 2

End of Twitter post, 2

ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති පදවියට පත්වන පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාසයට එක් වන්නීය.

ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිස් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

සෙනෙට් සභික කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි.

දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 45 ක ප්‍රතිඵල

ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය
ජෝ බයිඩන්

ජෝ බයිඩන් පෙන්සිල්වේනියාවේ ඉදිරියෙන්

පෙන්සිල්වේනියාවේ මැතිවරණ නිලධාරීන් අනාවරණය කළ පරිදි, මේ වනවිට ප්‍රාන්තයේ ඡන්ද 98%ක් පමණ ගණන් කොට තිබෙන අතර, ජෝ බයිඩන් ජනාධිපති ට්‍ර්ම්ප්ට වඩා ඡන්ද 5,587 ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.

පෙන්සිල්වේනියා ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම පිණිස අවශ්‍ය ඡන්ද විද්‍යාල ඡන්ද 270 ඔහුට හිමිවනු ඇත.

නිව්යෝක් නුවර සිටින බීබීසී වාර්තාකරු නික් බ්‍රයන්ට් පවසන පරිදි, මෙය ජනපතිවරණයේ තීරණාත්මක අවස්ථාවකි.

ජෝර්ජියා, නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවල ද ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින නමුත් ජනපතිවරණය ජය ගැනීම පිණිස පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් බවත් බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 44ක ප්‍රතිඵල: බයිඩන් ට තවත් ජයග්‍රහණයක්

CBS සහෝදර නාලිකාව අනුව යමින්, ජෝ බයිඩන් විස්කොන්සින් ප්‍රාන්තය ජයග්‍රහණය කරනු ඇතැයි බීබීසී ද අපේක්ෂා කරයි.

ප්‍රාන්තයේ ඡන්ද 99% ක් ගණනය කර තිබෙන අතර, ජෝ බයිඩන් මේ වනවිට ඡන්ද 20,000 කින් ඉදිරියෙන් සිටියි. ඒ අනුව ප්‍රාන්තයට හිමි ඡන්ද විද්‍යාල ඡන්ද 10 ද ජෝ බයිඩන් ට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කිසියම් ලෙසකින් ඡන්ද යළි ගණනය කිරීමක් සිදුවුවහොත් අපි එය වාර්තා කරන්නෙමු.

තවත් ප්‍රාන්තයක ප්‍රතිඵල
ඇමෙරිකානු මැතිවරණය

නෙවාඩා හි ඡන්ද ක්‍රමය නීතිමය අභියෝග වලට ‘කාවැදිය නොහැකි තරම්’ – ප්‍රාන්ත නීතිපති

නෙවාඩා

නෙවාඩා ප්‍රාන්තයේ ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර තවමත් එහි ප්‍රතිඵලය අවිනිශ්චිතය.

මැතිවරණ අක්‍රමිකතා වී ඇතැයි චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණය ව්‍යාපාරය විසින් ඇතැම් ප්‍රාන්තවල නීතිමය පියවර ගනු ලැබ ඇත.

එහෙත් නෙවාඩා ප්‍රාන්තයේ නීතිපති ඒරොන් ෆෝර්ඩ් පවසන්නේ මුහුණ දීමට සිදුවන කවර හෝ නඩු හබයක් පිළිබඳ ප්‍රාන්තය තැකීමක් නොකරන බවකි. සීඑන්එන් වෙත ප්‍රකාශයක් කරමින් ප්‍රාන්තයේ ඡන්ද ක්‍රමය පිළිබඳ අදහස් පළ කළ ෆෝර්ඩ් “අපට එරෙහිව නීතිමය අභියෝගයකදී එය කාවදින්නට නොහැකි තරම්,” යැයි පැවසීය.

බීබීසී සමග බදාදා (නොවැ 04) කතා කළ ඔහු කියා සිටියේ ඇති සෑම සාක්ෂියකින් ම පෙන්නුම් කරන ආකාරයට ප්‍රාන්තය තුළ “නිදහස්, සුරක්ෂිත හා ආරක්ෂාකාරී මැතිවරණයක්” පවත්වා ඇති බවය.

“වැඩපිළිවෙලට කල් ගතවන බව අප දැන සිටියත් එය සාර්ථක වනවා,” ඩිමොක්‍රටික් පාක්ෂික නීතිපතිවරයා කියා සිටියේය.

ඒරොන් ෆෝර්ඩ් - නෙවාඩා ප්‍රාන්ත නීතිපති
 

“වංචා වැළැක්වීමට යොදන ලද ආරක්ෂක වැඩපිළිවෙල නිසා මීට කාලයක් ගතවෙනවා. අත්සන් තහවුරු කිරීම, අනන්‍ය කේත ක්‍රමය වගේම වෙනත් මෙවලම් මේ වැඩපිළිවෙලට ඇතුළත්,” ඔහු පැවසීය.

තැපැල් ඡන්ද ගණනය කරෙන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කළේය.

“මේ ඡන්ද නැවතත් ප්‍රාදේශීය ලියාපදිංචි ස්ථානයට යවනවා. එතැනදි සැසඳුම් ක්‍රමයක් හරහා අත්සන් තහවුරු කිරීම සිද්ධවෙන්නේ ඡන්ද නිරීක්ෂකයින් නමින් හඳුන්වන ද්වි පාර්ශ්වික කණ්ඩායමක් ඉදිරියේ.”

“අපේ මැතිවරණයේ පරිපූර්ණත්වය ආරක්ෂා කිරීමට කළ හැකි තහවුරු කරගැනීමේ වැඩ පිළිවෙල සෑම ස්ථරයකම සෑම පියවරකදීම ක්‍රියාත්මක වෙනවා.”

මැතිවරණ දිනය මුව විටේ දී රිපබ්ලිකන් පාක්ෂිකයින් ගොනු කළ නඩුවක් නෙවාඩා ප්‍රාන්තයේ විනිසුරුවරයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. එම නඩුව ගොනු කෙරුණේ මැතිවරණ නිරීක්ෂණ හා තැපැල් ඡන්ද සැකසුම්වලට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමු කොට, ලස් වේගස් ප්‍රදේශයේ කල් වේලා ඇතිව ප්‍රකාශ කෙරුණු ඡන්ද ගණන් කිරීම නවතන ලෙස ඉල්ලමිනි.

නිලධාරීන් පවසන්නේ නෙවාඩා ප්‍රාන්තයේ මීළඟ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා ග්‍රිනිච් වේලාවෙන් සවස 5 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30) ට පමණ පළකෙරෙනු ඇති බවය.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 43 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 43 ක ප්‍රතිඵලය

ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන් …

ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්‍රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය.

ඔවුන්ගේම වචනවලින් …

“අපි මෙය දිනනවා” යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත.

ප්‍රාන්ත 42 ක ප්‍රතිඵලය

අලුත්ම ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය

එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි.

එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි.

කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි.

“2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා,” යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රතිඵල ප්‍රමාදය ගැන මැකෝ ට ‘කළ හැකි දෙයක් නෑ’

“ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වන්නේ ඇයි දැයි” ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් විමසන පිරිසට ඔහු දුන් පිළිතුරක් ෆේස්බුක් ඔස්සේ බොහෝ දෙනෙකු විසින් හුවමාරු කරගනිමින් පවතී.

මහින්ද දේශප්‍රිය තැබූ සටහනක්

මේ අතර අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වීම සහ දැනට පවතින තත්වය කාටුන් ශිල්පියෙක් විග්‍රහ කර තිබුණේ මෙලෙසිනි.

ඇමෙරිකානු මැතිවරණය

විවිධ ප්‍රාන්තවල දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස්

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකික යුවලක් බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඔවුන් දිවි ගෙවන ප්‍රදේශය තුළ “ඡන්ද උණුසුම වැඩි වශයෙන් දක්නට නොලැබුණු බවය. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඔවුහු ඉල්ලීමක් කළහ.

“අපි ජීවත් වන ප්‍රදේශයේ කවදාවත් වෙනස් කොට සැලකීම වැනි ප්‍රශ්න ඇති වෙලා නැහැ. සාමකාමී පරිසරයක් තියෙන්නේ. මේ ඡන්දයේ දී සෑහෙන බෙදීමක් තියෙනවා. නමුත් තදින් සමාජගත නොවී ජීවත් වන නිසා අපට ඡන්ද උණුසුම දැනිලා හෝ ප්‍රශ්න ඇති වෙලා නැහැ.”

“මේ තත්වය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙන්න පුළුවන්,” ඔවුහු පැවසූහ.

මේ අතර, කොලොරාඩෝ ප්‍රාන්තයේ දිවි ගෙවන භූගෝල තොරතුරු පද්ධති උපදේශකවරයෙකු (GIS Consultant ) වන උදය ජයවර්ධන ඇමරිකානු ජනාධිපතිවරණය ගැන සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබිණ.

USA election 2020

‘ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට’

නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය.

ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය.

“මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ,” පෝද්දල ජයන්ත සඳහන් කළේය.

“එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි.”

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.

ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය.

‘ට්‍රම්ප් කියන දේවල් මගේ දරුවෝ කිව්වා නම් පාසලෙන් අස් කරනවා’

USA election 2020

එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දිවි ගෙවන නීතීඥ විදර්ශනී හංවැල්ල ඇමරිකානු ජනාධිපතිවරණය ගැන බීබීසී සේවයට සිය අත්දැකීම් පැවසුවාය.

“නීතිමය වශයෙන්ම ‘පිටසක්වල ජීවීන්’ කියල තමයි අපිව හඳුන්වන්න වෙන්නේ. ඒ නිසාම මම මේ මැතිවරණය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ,” ඇය සිය කතාව ආරම්භ කරමින් පැවසුවාය.

“මම දැන් අවුරුදු ගණනක් ඇමෙරිකාවේ ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වුණ මගේ ජීවිත කාලය පුරාම වෙනස් කොට සැලකීම මේ තරම් දරුණුයි කියලා මට හිතිලා නැහැ. ඒ තරමට විවිධ සිද්ධිවලට මුහුණ දෙනවා අපි, විශේෂයෙන්ම ජනාධිපතිවරණයත් එක්ක ඇති වෙලා තියෙන බෙදීම් එක්ක.”

විදර්ශනී හංවැල්ල පවසන්නේ, මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් මෙවැනි බොහෝ ගැටලු තවදුරටත් ඉතිරිවනු ඇති බවය.

“ට්‍රම්ප් පාලනය කාලයේ අපි චිකාගෝවල ටික කලක් හිටියා. ඒ කාලයේ මගේ දරුවා බොහෝ වෙනස්කම් වලට මුහුණ දුන්නා. ළමයින් එක්ක එයාව සෙල්ලම් කරන්නවත් ගන්නේ නැහැ, වෙනස් පාටක වගේම කතා කරනවා වෙනස් කියලා. ඒ වගේම අපි යන පල්ලියේ අපි හැර මුළු සභාවම සුදු ජාතිකයන්. ඒකෙ පූජකවරයා වගේම හැමෝම අපෙන් එක සැරේ අහන්නේ අපි මෙහේ නීති විරෝධී ලෙස ඉන්නවා ද කියලා. මගේ දරුවට සෙල්ලම් කරන්න හිටියේ පාසලේ හිටිය තවත් අප්‍රිකානු ජාතික ළමයෙක් විතරයි.”

ඉන් අනතුරුව ෆ්ලොරිඩාවට පැමිණි පසු තත්වය තරමක් වෙනස් වූ බව ඇය පවසන්නීය.

“එහේදී අපේ පාට නිසා වැඩි වශයෙන් වෙනස් කොට සැලකීම් වුණේ නැහැ. රැකියාවේදී 98% ක් අපූරු මිනිස්සු මුණ ගැසුණත්, සමහර අවස්ථාවල විවිධ වෙනස්කම් වෙනවා.”

“ට්‍රම්ප් ප්‍රකාශ නිකුත් කළා සංක්‍රමණිකයන් ඇමරිකානු රැකියාවන් උදුරා ගන්නවා කියල. ඒත් එක්කම අපිට වෙනස්කම් කරන එක වැඩි වුණා. මේ හේතු නිසා මම දන්න විවිධ ජාතීන්වල මිනිස්සු බයිඩන්ට ඡන්දය ප්‍රකාශ කළා.”

“ඔවුන්ගේ වචනවලින්ම කියනව නම් ‘ට්‍රම්ප් කියන දේවල් මගේ දරුවන් පාසලේ දී කිව්වා නම් එයාල පාසලෙන් අස් කරනවා.”

කෙසේ වුවත් මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් රටේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි තමන් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ දෙනෙකු පවසන බවත් ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

ඉන්ඩියානා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයෙකුගේ අදහස්

“සංක්‍රමණිකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට, ට්‍රම්ප්ගේ පරිපාලනය පනවා තියෙන වීසා සීමා කිරීම් සහ විශේෂයෙන් උපත් අයිතිය පුරවැසිභාවය අහෝසි කිරීමේ යෝජනාව නිසා බොහෝ දෙනෙක් ට්‍රම්ප්ට වඩා බයිඩන්ට වැඩි කැමැත්තක් දක්වනවා,” ඉන්ඩියානා ප්‍රාන්තයේ දිවිගෙවන ශ්‍රී ලාංකික නීතිඥවරියක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

“මේ යෝජනා පසුකාලීනව පුරවැසියන් බවට පත් වූ සමහර සංක්‍රමණිකයන් සහ එක්සත් ජනපද පුරවැසියන් අතර බෙහෙවින් ජනප්‍රියයි. “

“වාර්ගික ගැටළු සහ කෝවිඩ් 19 මේ වසරේ මැතිවරණයේ තීරණාත්මක සාධක වුණා. ආරම්භයේ දී සිවිල් අයිතිවාසිකම් ඉල්ලා කෝලාහල පැවතුණ නිසා පැහැදිලිවම බයිඩන්ට ඉඩක් ලැබුණා. නමුත් කැරලි කෝලාහල වැඩි වෙලා දේපළ විනාශ කිරීම දක්වා ගිය විට ජනාධිපති ට්‍රම්ප්ට වාසිදායක ප්‍රවේශයක් ලැබුණා.”

“කොරෝනාවෛරසය මැඩලන්න ක්‍රියාශීලීව කටයුතු කරන්න අපොහොසත් වුණත් ජනාධිපති ට්‍රම්ප් තවමත් ජනප්‍රියයි. ඒ නිසා මෙවර ඉතා සමීප සටනක් පවතිනවා,” ඇය තවදුරටත් පැවසීය.

ඇමෙරිකානු මැතිවරණය

මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල

ග්‍රිනිච් වේලාවෙන් 12:49 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 18.19) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම.

මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල
ඇමෙරිකානු මැතිවරණය

අධිකරණ ගැටුමක පෙර නිමිති

උතුරු මෙරිකාව සම්බන්ධ බීබීසී වාර්තාකරු ඇන්තනි සර්චර් ගෙන එන විමසුමක්:

ඩොනල්ඩ් ට්‍රම්ප්

කලක් ‘බියකරු සිහිනයක්’ ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරයි.

එය මත ගැටුම් සහ දිග්ගැස්සුනු අධිකරණ සටනක පෙර නිමිති වන අතර, එයින් පරාජය වන කණ්ඩායමේ ආධාරකරුවෝ තමන් වංචාවකට ලක් වූයේය යන හැඟීමෙන් කෝපය පළ කිරීමට ඉඩ තිබේ.

අවසාන ප්‍රතිඵලය තවමත් නොදන්නා නමුත්, මැතිවරණ රාත්‍රියෙන් පසුව පැහැදිලි වන්නේ එක්සත් ජනපදය දැඩි ලෙස බෙදී ගිය ජාතියක් ලෙස දිගටම පවතින බවය.

ඇමරිකානු ඡන්දදායකයින් කිසිදු අර්ථවත් ආකාරයකින් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර නොමැත. එමෙන්ම, ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආකාරයෙන් අනුමත කිරීමක් ද සිදු වී නොමැත.

ඒ වෙනුවට ගැටුම් තත්වයන් නිර්මාණය වෙමින් පවතින අතර, මෙම විශේෂිත මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන් වුවද දේශපාලන ගැටුම දිගටම පවතිනු ඇත.

ඇමෙරිකානු මැතිවරණය

මේ දක්වා සිදු වූයේ කුමක්ද?

USA election 2020

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ අපගේ සජීව වාර්තාකරණයට සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු!

ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය.

මැතිවරණ රාත්‍රිය දිග හැරුණු ආකාරය:

ජනපති පදවියට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270 ලබා ගැනීමේ තරඟයේදී ජෝ බයිඩන් 224 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් 213 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේනමුත්, මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ මිලියන ගණනක් තැපැල් ඡන්ද මත වන අතර, ඒවා ගණන් කිරීම තවමත් ආරම්භ කර නොමැත.

තීරණාත්මක පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මිඩ්වෙස්ට් සහ රස්ට් බෙල්ට්හි ප්‍රතිඵල මඟින් තියුණු තරගයක් පෙන්නුම් කර තිබේ. මිචිගන් සහ විස්කොන්සින් වැනි නාගරික හා තදාසන්න ප්‍රදේශවලින් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලය දින ගණනක් යන තුරු දැනගැනීමට නොහැකි විය හැකිය.

එක්සත් ජනපද වේලාවෙන් සවස් කාලය වන විට ධවල මන්දිරයේ සිට නිරවද්‍යතාව ඔප්පු නොකළ ‘ජයග්‍රහණය’ ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ තැපැල් ඡන්ද වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කරන බවය. නමුත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය හැකි තාක් නිරවද්‍ය කිරීමට උත්සාහ කළ අතර, තවමත් තහවුරු වී නොමැති ජයග්‍රහණය ගැන ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ නීත්‍යානුකූලව ලබා දුන් ඡන්ද සියල්ල ගණන් කරන ලෙස අවධාරණය කළේය.

තවමත් ගණන් නොකළ ඡන්ද පත්‍රිකාවල නීත්‍යානුකූලභාවය ගැන ට්‍රම්ප්ගේ ප්‍රශ්න කිරීම “කුපිත කරවන සුළු, පෙර නොවූ විරූ සහ වැරදි දෙයක්” යැයි ජෝ බයිඩන්ගේ ඡන්ද ප්‍රචාරක කණ්ඩායම පැවසූහ.

ඩෙලවෙයාර්හි ආධාරකරුවන් අමතමින් ජෝ බයිඩන් පැවසුවේ, “සෑම ඡන්දයක්ම ගණන් කරන තුරු මැතිවරණය අවසන් වී නැති” බවත්, “අපි ජයග්‍රහණය කරා යන ගමනක සිටින” බවත්ය.

මැතිවරණ දිනයේදී වාර්තාගත ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු විය. අඟහරුවාදා දින අග භාගයේ ඡන්ද විමසීම අවසන් වීමට ආසන්නව තිබියදී, වොෂිංටන් ඩීසී හි වීදිවල ට්‍රම්ප්ට එරෙහි විරෝධතා පැවැත්වුණු අතර, එය යම් නොසන්සුන්කාරී තත්වයක් ඇති කළේය.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 41 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 41 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ඉදිරියට කුමක් වේද?

US Election

එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැත. වියහැකි සමහර කරුණු:

දින ගණනක් යනතුරුත් අවසන් ප්‍රතිඵලය දැනගැනීමට නොහැකි විය හැක. මෙය බොහෝ දුරට ඉඩ ඇති තත්ත්වයක් සේ පෙනේ, මෙම සටන මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා වැනි ස්ථානවල තවමත් ගණන් ගණන්කරන තැපැල් ඡන්ද වෙත මාරු වනු ඇත.

නීතිඥයන් මෙයට සම්බන්ධ විය හැකිය. ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවට තර්ජනය කර තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ එයට සති කිහිපයක් ගත විය හැකි බවය.

අවිනිශ්චිතතාව නිසා නොසන්සුන්තා ඇති විය හැකිය. බොහෝ ඇමරිකානුවන් ඔවුන්ගේ ගැටලු ගැන කතා කර ඇතත්, සැලකිය යුතු නොසන්සුන්තාවක් ඇති වේ දැයි කීමට කල් වැඩි ය. නමුත් අනිවාර්යයෙන්ම අවිනිශ්චිතතාවක් ඇති වනු ඇත.

ඇමෙරිකානු මැතිවරණය

ට්‍රම්ප්: “අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා”

ට්‍රම්ප්

නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.

“අවංකව ම අපි මේ මැතිවරණය ජයගත්තා,” යැයි පහත් ස්වරයකින් ඔහු කීය. මැතිවරණය තුළදී “වංචා” වූ බව ඔහු පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරිමකින් තොරවය.

“මේක අපේ රටට ලැජ්ජාවක්,” යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.

ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි. ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.

“අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,”යැයි කී ඔහු “අපි හැම දෙයක්ම දිනුවා.” යි සඳහන් කළේය.ජයග්‍රාහී ස්වරය ගනිමින් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී ලැබූ සිය විශාල ජයග්‍රහණය ප්‍රකාශ කළේය.

“අපි එය දිනුවා නොවෙයි විශාල ලෙස දිනා ගත්තා,” මීට පෙර මැතිවරණ රාත්‍රියේදී ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් කළාක් මෙන් ට්‍රම්ප් ද පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගෙන සිටින බව කියා සිටියි. එම ප්‍රාන්තයේ ජයග්‍රහයකයා තීරණය කිරීමට තවමත් කල් වැඩිය.

ඇමෙරිකානු මැතිවරණය

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් රිපබ්ලිකන් පාක්ෂිකයින් ‘පීඩාවට පත්ව සිටිති’

ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ කළ කතාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ නොකළ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කර ඇත. ඔහු එසේ කළේ මිලියන ගණනකගේ ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් කර නොමැති තත්ත්වයක් තුළ ය.

ඉහළ පෙලේ රිපබ්ලිකන් පාක්ෂිකයින් සහ ගතානුගතික විචාරකයින් කිහිප දෙනෙකු ට්‍රම්ප්ගේ සනාථ නොකළ අදහස් දැක්වීම ගැන අවධානය යොමු කරති.

ඒබීසී ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් නිව් ජර්සි හි හිටපු ආණ්ඩුකාරවරයා සහ ට්‍රම්ප්ගේ උපදේශක ක්‍රිස් ක්‍රිස්ටි ජනාධිපතිවරයාගේ කතාව හැඳින්වූයේ උපායමාර්ගිකව මෙන්ම ජනාධිපතිවරයෙකු වශයෙන් ද ගත් වැරදි පියවරක් ලෙසිනි.

“එය නරක උපායමාර්ගික තීරණයක්,” ඔහු පැවසීය. “එය නරක දේශපාලන තීරණයක්.”

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තමා “දැඩි පීඩාවට පත්වූ” බව පෙන්සිල්වේනියා හි හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික රික් සැන්ටෝරම් පැවසීය. “වංචාව යන වචනය භාවිත කිරීම … මම හිතන්නේ වැරදියි,” ඔහු සීඑන්එන් නාලිකාව වෙත පැවසීය.

ගතානුගතික විචාරකයෙකු මෙන්ම ට්‍රම්ප්ගේ විවේචකයෙකු වන බෙන් ෂැපිරෝ ට්විටර් පණිවුඩයක් තුළින් කියා සිටියේ මෙම ප්‍රකාශය “දැඩි වගකීම් විරහිත” බවය.

Skip Twitter post, 5

End of Twitter post, 5

ඇමෙරිකානු මැතිවරණය

මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති

මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ පාරට බසිති

මැතිවරණ දිනයේ රාත්‍රිය උදාවෙද්දී, ඡන්ද විමසීම අවසන් වී ඡන්ද ගණන් කිරීමත් සමඟ වොෂිංටන් අගනුවර වීථිවල ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි විරෝධතා දියත්වීම නොසන්සුන්කාරී තත්ත්වයකට තුඩු දී තිබුණි.

සිය ගණනක් පිරිස අගනුවර ඇතැම් ප්‍රදේශ හරහා ගමන් කළ අතර සමහර අවස්ථාවලදී ගමනාගමනය අවහිර කළ ඔවුහු ගිනිකෙළි දැල්වූහ. “අපට යුක්තියක් නොලැබෙන්නේ නම් ඔවුන්ට සාමයක් නොලැබේ!” යනුවෙන් ඇතැම් විරෝධතාකරුවෝ හඬ නැගූහ.

විරෝධතා බොහෝ දුරට සාමකාමී වූ නමුත් ධවල මන්දිරයෙන් පිටත දී ගැටුම් හටගත් බවට වාර්තා විය. ගැටුම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වොෂිංටන් හි එන්බීසී සේවය වාර්තා කළේය.

“යම් ආකාරයක දුම් බෝම්බයක්” භාවිත කළ බවක් පෙනෙන්නට ඇතැයි සීබීඑස් ප්‍රවෘත්ති වාර්තාකාරිනී ක්‍රිස්ටිනා රුෆිනි ට්විටර් පණිවිඩයක සඳහන් කළාය.

මේ අතර කැලිෆෝනියා හි ලොස් ඇන්ජලිස්, උතුරු කරොලයිනා හි රැලේ, ඔරිගන් හි පොර්ට්ලන්ඩ් මෙන්ම නිව් යෝර්ක් නගරයේද තැන තැන විරෝධතා පිළිබඳ තොරතුරු වාර්තා විය.

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගනු ඇතැයි පළවූ බිය හේතුවෙන් එක්සත් ජනපදය පුරා ඇති නගරවල ව්‍යාපාරික ස්ථාන රැසක් එහි දොර සහ ජනේල ආරක්ෂාව සඳහා පුවරු යොදා ඒවා ආවරණය කළහ.

ඇමෙරිකානු මැතිවරණය

ග්‍රිනිච් වේලාවෙන් 06.57 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 12.27) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම

සිතියම
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 40ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 40ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ඉහළ ප්‍රතිචාරයක්? අවධානය යොමු කළ යුතු ප්‍රාන්ත

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 50 ක්, අපේක්ෂකයින් දෙදෙනෙකු සහ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් සිටින එක්සත් ජනපද මැතිවරණය තීරණාත්මක විය හැකිය. ඉතින් ප්‍රධාන ප්‍රාන්ත තුනක් මෙන්න.

ෆ්ලොරිඩා: කියුබානු-ඇමරිකානු සම්භවයක් ඇති පිරිසගේ සහය ලැබෙනු ඇති මියාමි-ඩේඩ් ප්‍රාදේශීය බල ප්‍රදේශය ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත.

ඇරිසෝනා: 1996 සිට මේ දක්වා ඇරිසෝනා ප්‍රාන්තය රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දී නැති අතර එහි ජීවත් වන තරුණ ප්‍රගතිශීලී ලතින් ජාතිකයන් නිසා බයිඩන්ට වාසිදායක විය හැකි සේ පෙනේ.

විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා: මෙම ප්‍රාන්ත තැපැල් ඡන්ද ගණන් කිරීම පවා ආරම්භ කර නැති අතර එයට දින කිහිපයක් ගත විය හැකිය.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 39ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 39ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 38ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 38ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ට්‍රම්ප් ගේ ට්විටර් පණිවිඩයක් ගැන ට්විටර් සමාගමෙන් අවවාදයක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළ කරන ලද ට්විටර් පණිවිඩයකට “මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ වෙනත් ප්‍රජා ක්‍රියාදාමයක් පිළිබඳ නොමග යවන සුළු” යනුවෙන් අවවාදයක් එකතු කිරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබේ.

සිය ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වේදිකාවක් මත ඡන්ද ගණන් කිරීම අවසන් වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් මදකට පසු ට්විටර් පණිවිඩය නිකුත් කළේය.

“අපි විශාලයි, නමුත් ඔවුන් උත්සාහ කරන්නේ මැතිවරණය සොරකම් කරන්නයි,” ට්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය. “අපි ඔවුන්ට කිසි විටෙකත් එය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඡන්දය අවසන් වීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ බැහැ.”

ට්‍රම්ප් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර ඡන්දය “සොරකම් කිරීම” පිළිබඳව බොහෝ විට සනාථ නොකළ ප්‍රකාශ සිදුකර ඇත.

තමන් ඉතා ඉක්මණින් ප්‍රකාශයක් කරන බව ඔහු තවදුරටත් පැවසීය.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 36ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 36ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 35ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 35 ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ග්‍රිනිච් වේලාවෙන් 04.53 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 10.23) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම

සිතියම
ඇමෙරිකානු මැතිවරණය

මැතිවරණය ‘බොහෝ දෙනා බලාපොරොත්තු වූවාට වඩා තරගකාරියි’

මැතිවරණය පැහැදිලිවම බොහෝ දෙනා බලාපොරොත්තු වූවාට වඩා තරගකාරී වනු ඇති බව ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ උපදේශක බ්‍රයන් ලන්සා බීබීසී සමග පැවසීය.

2000 වසරේ මැතිවරණය එක් ප්‍රාන්තයක් වන ෆ්ලොරිඩා විසින් තීරණය කරනු ලැබුවද, මෙම මැතිවරණයේදී එය ප්‍රාන්ත පහක් විසින් තීරණය කරනු ලැබිය හැකි බව ඔහු සඳහන් කළේය. “දවස අවසානයේදී, විශ්ලේෂකයන් සහ ඡන්දදායකයින් අපට පැවසූ දේට වඩා බෙහෙවින් උණුසුම් මැතිවරණයක් අපට පෙනෙනවා. ඒ ගැන අප පුදුම නොවිය යුතුයි” යනුවෙන් ලන්සා තවදුරටත් පැවසීය.

“එය ට්‍රම්ප්ගේ ප්‍රචාරණය වැඩපිළිවෙල ගැන සාක්ෂියක්. සියලු ඝෝෂාවන් ඉවත් කර ජයග්‍රහණය සඳහා ඔවුන් කළ යුතු දේ ඔවුන් දන්නා දේ කෙරෙහි අවධානය යොමු කරනවා.”

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 34 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 34ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ග්‍රීනිච් වේලාවෙන් 03:26 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 8.56) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම

පළමු සිතියමඇමෙරිකානු මැතිවරණය

තවත් ප්‍රාන්ත දෙකක් විනෝදය සදහා කංසා භාවිතය නීතිගත කරයි

ගංජා

නිව් ජර්සි ප්‍රාන්තයේ ඡන්දදායකයින් විනෝදය සදහා කංසා භාවිතය නීතිගත කිරීම සඳහා මෙම මැතිවරණයේදී විශාල වශයෙන් සහයෝගය දැක්වූ බව ඒපී සේවයේ ප්‍රතිඵල වලට අනුව පෙන්නුම් කෙරේ.

මෙයින් අදහස්වන්නේ එසේ වුවහොත් කංසා නීතිගත කළ 12 වන ප්‍රාන්තය බවට නිව් ජර්සි පත්වන බවය. ඊට 67% ක ඡන්ද ප්‍රතිශතයක් සහ ප්‍රාන්තයේ 21 ක් වූ සියලුම ප්‍රාදේශීය බල ප්‍රදේශවල සහාය හිමි විණි.

නිව් ජර්සි හි ප්‍රතිඵලය ප්‍රකාෂ වීමෙන් මිනිත්තු කිහිපයකට පසුව, වැඩිහිටියන්ගේ භාවිතය සඳහා කංසා නීතිගත කිරීමේ පියවරක් ඇරිසෝනා ප්‍රාන්තය විසින්ද සම්මත කරනු ලබනු ඇතැයි පුරෝකථනය කෙරිණි.

කංසා නීතිගත කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් තවත් ප්‍රාන්ත දෙකක ඡන්දදායකයින් විසින් මැතිවරණ රාත්‍රියේ තීරණය කරනු ඇත. ඒ අනුව මොන්ටානා සහ දකුණු ඩැකෝටා තවමත් ඔවුන්ගේ ප්‍රතිඵල වාර්තා කළ යුතුව ඇත.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 31ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 31ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ඡන්දදායකයින්ගේ අදහස්: රිපබ්ලිකන් පාක්ෂිකයින් ෆ්ලොරිඩා හි ජයග්‍රහණයක් ගැන මහත් බලාපොරොත්තුවෙන්

ඡන්දදායකයන්

ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ට්‍රම්ප්ට හොඳ ප්‍රතිචාරයක් පෙන්නුම් කර ඇති බැවින් ඡන්දදායක මණ්ඩලවලින් බීබීසී වෙත කෙටි පණිවිඩ එවන කණ්ඩායමේ රිපබ්ලිකන් පාක්ෂිකයෝ උද්දාමය පළ කරති.

ජිම් (රිපබ්ලිකන් – ඉන්දියානා): “ඔබ මෙය දකිනවාද? ට්‍රම්ප් ට ෆ්ලොරිඩාවේ නාගරික ප්‍රදේශවලින් + 4% සහ හිස්පැනික් ජන කණ්ඩායමෙන් + 13% තිබෙනවා”

ගැවින් (රිපබ්ලිකන් – ජෝර්ජියා): “ට්‍රම්ප්, ෆ්ලොරිඩා වගේම උතුරු කරොලයිනා දිනා ගනීවි! මේ මොහොතේ ලොකු සතුටක් දැනෙනවා! “

එලියානා ජිරාඩ් (රිපබ්ලිකන් – ෆ්ලොරිඩා): “අපි 500 ක් සමඟ එක්ව ක්ලබ් 45 හි පැවැත්වෙන සාදයක බලා සිටිනවා.”

ප්‍රාන්ත 27ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 27ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 25 ක ප්‍රථිඵලය

ප්‍රාන්ත 25ක ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 23 ක ප්‍රථිඵලය

ප්‍රාන්ත 23ක් ප්‍රතිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ට්‍රම්ප්ගේ උපදේශක: ‘ෆ්ලොරිඩා බයිඩන් ට ගියොත් තරගය අවසන්’

එක්සත් ජනපදයේ බීබීසී හවුල්කාර ජාලය වන සීබීඑස් වෙත ප්‍රකාශයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙකු සමඟ පවසා තිබෙන්නේ ජනාධිපතිවරයා නැවත තේරී පත්වීමට ඇති ඉඩ කඩ පිළිබඳව තමා මහත් නොසන්සුන් තත්ත්වයක පත්ව සිටින බවය.

ධවල මන්දිර නිලධාරීන් උපදේශකවරයාට පවසා ඇත්තේ තරගකාරී ප්‍රාන්තවල “ඉතා තියුණු සටනක්” ඇති බවකි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන ඇත්තේ හොඳ හැඟීමක් ඇති වුවද “අතිශයින්ම නොසන්සුන්” බව ද පවසා ඇත.

අදාළ උපදේශකයා එය “ප්‍රාන්ත හයක මැතිවරණයක්” ලෙස හැඳින්වූ අතර ට්‍රම්ප්ට එම ප්‍රාන්තවල හොඳ අවස්ථාවක් ඇතැයි විශ්වාස කරයි. එහෙත් ඔහු කියා සිටියේ රටේ ඩිමොක්‍රටික් පක්ෂ බල ප්‍රදේශවල කල් වෙලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණය නිසා තම හිත වංචල කරන බවකි.

“ෆ්ලොරිඩා බයිඩන්ට ගියොත් තරගය ඉවරයි. නමුත් ෆ්ලොරිඩාව ට්‍රම්ප්ට ගියොත් තරගය දිගටම තියෙනවා” යනුවෙන් එම ඔහු සීබීඑස් ජාලයට පවසා තිබේ.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 19 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 19ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 18 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 18 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 17 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 17 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 16 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 16 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 14ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 14 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 12ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 12 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත 10 ක ප්‍රතිඵලය

ප්‍රාන්ත 10 ක ප්‍රථිඵලය
ඇමෙරිකානු මැතිවරණය

ෆ්ලොරිඩා හි මුල් ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එය මිශ්‍ර ප්‍රතිඵල බවට පෙන්නුම් කරයි

ෆ්ලොරිඩා හි නැගෙනහිර කාල කලාපයේ ඇති ප්‍රදේශවල ප්‍රථිපල කඩිනමින් වාර්තාවීමට පටන්ගෙන ඇත. එය මිශ්‍ර ප්‍රතිඵලයක් බවට පෙන්නුම් කෙරෙන බැවින් දෙපාර්ශවයටම හොඳ සහ නරක ආරංචියක් වී තිබේ.

ටම්පා බේ ආසන්න බටහිර වෙරළ තීරයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වන පිනෙල්ලාස් වැනි ස්ථානවල බයිඩන්, හිලරි ක්ලින්ටන්ගේ 2016 ප්‍රතිපල ප්‍රතිඵල ඉක්මවා යමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එම ප්‍රදේශය දිනා ගත්තේ සියයට 1 කිනි. ඇස්තමේන්තුගත ඡන්ද ප්‍රතිශතය 75% ක් වන අතර, බයිඩන් 52% සිට 46% දක්වා ඉදිරියෙන් සිටිනුයේ ඡන්ද 248,620 කිනි. මීට වසර හතරකට පෙර ඡන්ද 239,201 ක් ලබා ගනිමින් ට්‍රම්ප් එම ප්‍රදේශය ජයග්‍රහණය කළේය.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් බලකොටුවක් වන මියාමි-ඩේඩ් හි දී, ට්‍රම්ප් තමන්ගේ 2016 ලබාගත් ඡන්ද ප්‍රමාණය අහිබවා යමින් සිටී. බයිඩන් 84% ක් වාර්තා කිරීමත් සමඟ ඉදිරියෙන් සිටින්නේ 54% සිට 45% දක්වා වූ මායිමකිනි. ක්ලින්ටන් එවර 63% සිට 33% දක්වා වූ සීමාවකින් ජය ගෙන තිබිණි.

නූතන එක්සත් ජනපද දේශපාලනයේ එක් මූලික රීතියක් තිබේ නම්, එය ෆ්ලොරිඩාව මුලිකව වනු ඇත – මේ වසරේදීත් එහි වෙනසක් නැත. කෙසේ වෙතත්, එය මේ වසරේදීත් තීරණාත්මක වීම පුදුමය සහගත විය හැකිය.

ඇමෙරිකානු මැතිවරණය

ප්‍රාන්ත කිහිපයක ඡන්ද විමසීම අවසන්

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතැම් ප්‍රාන්තවල අවසන් වෙද්දී ඡන්ද ගණන් කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී.

එසේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ ප්‍රාන්ත අතරට උතුරු කැරොලයිනා , බටහිර වර්ජිනියා සහ ඔහායෝ අයත් වේ.

එම ප්‍රාන්ත අතරින් උතුරු කරොලයිනා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 15ක් හිමි අතර ඔහායෝ ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද 18 ක් පවතී. බටහිර වර්ජීනියා ප්‍රාන්තයට ඡන්ද විද්‍යාලය තුළ හිමි ඡන්ද ගණන 5 කි.

ඔහායෝ, ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද ඉතිහාසය තුළ තරගකාරී ප්‍රාන්තයක්ව පවතී. සම්ප්‍රදායිකව ඔහායෝ ප්‍රාන්තය තුළ පරාජය වන සෑම රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ම ජනාධිපති ධුරය සඳහා වන තරගය පරාජයට පත්ව ඇත.

ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී වැඩි වශයෙන් චාරිකා කළ උතුරු කරොලයිනා ප්‍රාන්තය ප්‍රධාන පෙළේ දෝලනය වන ප්‍රාන්තයක් බවට මතුවෙමින් පවතින අතර ජනාධිපතිවරයාගේ එම සංචාර කෙතරම් දුරට ඵල දරා ඇත්ද යන්න විමසා බැලීමට මෙය අවස්ථාව වේ.

ඇමෙරිකානු මැතිවරණය
බයිඩන් (වමේ) සහ ට්‍රම්ප්

අදාළ ප්‍රදේශයේ වේලාවෙන් උදෑසන 6 ට (වර්මන්ට් හි පමණක් උදෑසන 5ට) ආරම්භ වන ඡන්ද විමසීම එදින රාත්‍රී 9 ට (බ්‍රිතාන්‍ය වේලාවෙන් නොවැම්බර් 04 උදෑසන 2 ට) අවසන් වේ.

බීබීසී සිංහල සේවය මෙම පිටුව ඔස්සේ මැතිවරණයේ ප්‍රතිඵල මෙන්ම ඊට අදාළ තොරතුරු ද ඔබ වෙත ගෙන එයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here