විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි: විපක්ෂ මන්ත්‍රීවරු අට දෙනෙකුත් සහය දෙති…

0
284
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි: විපක්ෂ මන්ත්‍රීවරු අට දෙනෙකුත් සහය දෙති…

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය.

පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.

පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේදී විපක්ෂය සමහර වගන්ති වලට විරෝධය පළ කළ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම හේතුවෙන් ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ.

එම වගන්තියට එකඟව ඡන්ද 157ක් සහ විරුද්ධව ඡන්ද 64ක් ද ලැබීම තුළින් එම වගන්තිය ද තුනෙන් දෙකකට වඩා වැඩි ජන්දයකින් සම්මත විය.

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රතිඵලය පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, විසිවෙනි සංශෝධනය මගින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇතැයි සඳහන් කොට තිබුණි.

19 වෙනි සංශෝධනය

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 87 දෙනෙකු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

17 වන, 18 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයන්ට පක්ෂව ඡන්දය භාවිත කළ මන්තී‍්‍රවරුන් 27 දෙනෙක් මෙවර පාර්ලිමේන්තුව තුළ සිටී.

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ද ඔහු එයට පෙර යම් යම් වගන්ති වලට ඔහුගේ විරෝධය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන එන අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයේ සකී‍්‍රය ලෙස දායක වීමට ඇති හැකියාව අහිමිකරන බවට අවසාන මොහොතේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් මත ඔහු එයට ද පක්ෂව ඡන්දය භාවිත කළේය.

ඔහු ඒ පිළිබඳව විරෝධය පළකරමින් පැවසුවේ “යම් ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපති, අගමැති, ඇමැතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයේ සකී‍්‍රය භූමිකාවක් ඉටුකිරීමට වුවමනා නම් වෙනත් රටක් සමග තිබෙන බැඳීම්, පක්‍ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්‍ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි,” බවයි.

“දැනට ද්විත්ව පුරවැසි බාධකය පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලටද අදාළ වන සේ පැවතිය යුතු,” බවත් අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ “එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත්” මීට ඉහතදී පවසා තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන හැර ආණ්ඩු පක්ෂයේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරිද්ධව ප්‍රකාශ නිකුත්කළ, විදුර වික්‍රමනායක, විජේදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයකි.

සංඝරත්නයේ විරෝධය

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා ගැනීම පිණිස ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් ජාතික නිදහස් පෙරමුණේ මන්තී‍්‍රවරුන්ට කරන ලද බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා බදාදා (ඔක්තොම්බර 21 දා) පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

එහිදී කැටගොඩ මන්තී‍්‍රවරයා වීරවංශ ඇමැතිවරයාට බැණ වැදී ඇති අතර පහරදීමට ද උත්සාහ දරා ඇතැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු බදාදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් එය පරාජය කිරීමටද සංඝරත්නය පියවර ගන්නා බව ය.

ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවසූවේ “මේ ආණ්ඩුව හදන්න පෙරහැරේ ගියේ අපියි. හැබැයි දැන් වෙන වෙන කසකාරයෝ බෙරකාරයෝ නැට්ටුවෝ එකතුවෙලා වෙනම පෙරහැරක් යන්න හදනවා. ඊට අපි ඉඩ දෙන්නේ නැහැ.”

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here