නීතිය: ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට නීතිය ක්‍රියා කෙරෙන්නේ කෙසේද?

0
254
නීතිය: ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට නීතිය ක්‍රියා කෙරෙන්නේ කෙසේද?

“ඒ පොලිස් කණ්ඩායම් හය හොයන්ඩ තවත් පොලිස් කණ්ඩායමක් දාල තියෙනවා. මේවා නරනාටක මේවා නරනාටක. එච්චරයි. නරනාටක මහත්තයෝ. රවී කරුණානායකවත් හෙව්වා රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන් කාටද මේ විහිළු සපයන්නේ අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා විහිළු හැටියට නෙමෙයි ගණන්ගන්නේ. හැබැයි තීන්දුව දෙයි මේවා දිගින් දිගටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණයේ දැඩි තීන්දුවක් ගනී. එක්සත් ජාතික පක්ෂයට වෙච්චදේ අපිටත් වෙන්න පුළුවන්,” මේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගියදා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකි.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීම ඔහුගේ එම ප්‍රකාශයට පදනම් විය.

ශ්‍රී ලංකා පොලීසිය හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම සමාජ මාධ්‍ය මෙන්ම පොදු සමාජය තුළ ද විශේෂ කතාබහකට ලක්විය.

නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා වහාම පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා ඔක්තෝබර 15 වෙනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහට නියෝග කළේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ජනමාධ්‍යයට පවසා තිබිණි.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවට කැඳවූ නීතිපතිවරයා එම දැනුම් දීම කළ බව ඇය සඳහන් කළාය..

නිශාරා ජයරත්න තවදුරටත් පැවසුවේ පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් මිස මහජන විශ්වාසය බිඳී යන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත් යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාද වීම මගින් යුක්තිය අහිමි වීමක් සිදුවන බවද එහිදී පෙන්වා දුන් බවය.

රිෂාඞ් බදුර්දීන්ව මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට සමගම සමාජ මාධ්‍යයේ සටන් වී අටහි අයුරු
 

කෙසේවෙතත්, පොලිසියේ විශේෂ මෙහෙයුමකින් අනතුරුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ඔක්තොම්බර 19) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රකාශ විය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් කිහිපයක් දියත් කරනු ලැබුවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට අද දින අලුයම් කාලයේදී දෙහිවල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා,” පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය.

“ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒවගේම අදාල විමර්ශණ කටයුතු වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා.” ඔහු තවදුරටත් සඳහන් කළේය.

බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පමාවීමේ පසුබිම මත ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ නිලධාරින් දේශපාලන බලවතුන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පසුගිය දිනවල කතා බහට ලක්වීමට පටන් ගැනිණි.

පසුගිය වසර කිහිපය තුළ මෙවැනි දේශපාලන බලවතුන් අත්අඩංගුවට පත්වූ ආකාරය මෙසේ හඳුනාගත හැක.

රාජිත සේනාරත්න

2019 දෙසැම්බරයේදී ආන්දෝලනාත්මක “සුදුවෑන් පිළිබඳ මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කොට පැය 48 ක් ගෙවී ගිය ද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ බව වාර්තා විය. ඔහුගේ නිවාස කිහිපයක් දින දෙකක් තුළම පරික්‍ෂා කළ ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔහු සොයා ගැනීමට නොහැකි බු බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැන්වූ බවද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පළමු ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. පසුව දෙවෙනි සහ තුන්වෙනි ඇප අයැදුම්පත් ද රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරනු ලැබිය.

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දින ගණනක්ම කොළඹ, බේරුවල සහ වාද්දූව ප්‍රදේශවල පිහිටි රාජිත සේනාරත්නගේ නිවාස පරික්‍ෂා කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැන්වූහ. නමුත් පසුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදුව එම රෝහලේම බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිණි.

ගාමිණී සේනරත්

හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇති රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බවට 2017 නොවැම්බර මාසයේදී පොලිසිය විසින් අධිකරණයට දන්වනු ලැබිය.

හිටපු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී ගාමිණී සේනරත් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් බේරී සිටින අතර, ඔවුන්ගේ නිවෙස් වෙත ගිය එවක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩී) නිලධාරීන්ට සැකකරුවන් ඉන්නා තැන් පිළිබඳ කිසිදු විශ්වාසදායක තොරතුරක් හෙළි කරගැනීමට නොහැකි වී ඇති බව එම නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ. නමුත් රජයේ ඇමතිවරයෙක් සෙනරත්ට රැකවරණය සපයන බවට මාධ්‍යවල වාර්තා වී තිබිණ.

කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් හෝටලය ඉදිකිරීමේ නාමයෙන් රුපියල් මිලියන ගණනක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණු අතර මොවුන්ට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් අදාළ හෝටල් ව්‍යාපෘතියට මුදල් දී ඇති බවට චෝදනා එල්ල වී තිබිණ.

එෆ්.සී.අයි.ඩී නිලධාරීන් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට සොයන අතර තුර එසේ අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නමුත් 2019 අගෝස්තු මාසයේදී විශේෂ මහාධිකරණ විනිශ්චය සභාව විසින් රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි මොවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබිය.

රවී කරුණානායක

2015 පෙබරවාරි සිට මාර්තු දක්වා මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන. අර්ජුන මහේන්‍ද්‍රන් ඇතුළු සැකකරුවන් දසදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා 2020 මාර්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හතක් පැය 24 පුරා සිය විමර්ශන මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් සෙවීම සඳහා යොදවා ඇති කණ්ඩායම් ඔවුන්ගේ නිවාස සොදිසි කළද ඔවුන් එහි නොසිටි බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මාධ්‍ය වෙත කියා සිටියේය.

එක් සීඅයිඩී කණ්ඩායමක් සැකකරුවන් සොයා ගැනීම සඳහා පරිගණක තාක්ෂණය භාවිත කරන අතර අනෙක් කණ්ඩායම භෞතික සෝදිසි මෙහෙයුම්වල යෙදෙන බව ද ඔහු කියා සිටියේය.

නමුත් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හදිසි රෝගාබාධ ඇති වූ බව කියමින් රෝහල්ගත වීමට ක්‍රියා කළ ද ඔවුන් නියත වශයෙන් ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක පදිංචි කෝට්ටේ පිහිටි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අවස්ථා කිහිපයක්ම දැඩි පරීක්‍ෂාවට ලක් කරනු ලැබුවද ඔහු එහි නොවීය. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් පදිංචි කොළඹ මල් පාරේ පිහිටි නිවස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරික්‍ෂාවට ලක්වුවත් සැකකරු එම නිවස අතහැර පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මේ අතර අත්අඩංගුවට ගැනීමට නියමිත මෙම සැකකරුවන් සැඟවී සිටිනු ඇතැයි සැක කරන තවත් ස්ථාන රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂාවට ලක් වුවද ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි නොවීය.

එහෙත් රවි කරුණානායකව හැර අර්ජුන ඇලෝසියස් සහ අනෙකුත් සැකකරුවන් පසුව අත්අඩංගුවට ගැනිණි.

අර්ජුණ මහේන්ද්‍රන්

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ සිංගප්පුරුවේ ඔහු සිටින ස්ථානය සොයාගැනීමට පොලිසියට හැකිවී නැත.

උදයංග වීරතුංග

ඇමරිකානු ඩොලර් මිලියන 6.8 ක වංචා චෝදනා මත, රුසියාවේ හිටපු ශ්‍රී ලාංකික තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා 2016 ඔක්තෝම්බර් මාසයේදී එවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.

වීරතුංග යුක්‍රේනයේ පදිංචිව සිටින බවට විශ්වාස කළ පොලිස් මුල්‍ය අපරාධය කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) ඔහු ශ්‍රී ලංකාවට ගෙනයාමට සහ පිටුවහල් කිරීමට යුක්‍රේන බලධාරීන්ගේ සහාය අපේක්ෂා කළේය.

කෙසේ නමුත් පසුව මැදපෙරදිග සිට පිටුවහල් කෙරුණු උදයංග වීරතුංග පසුව ඇප මත නිදහස් කිරීමෙහි දක්නට වූයේ නාටකීය ස්වරූපයකි.

වසන්ත කරන්නාගොඩ

අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන්නේ 2008 වසරේ සුදු වෑන් භාවිත කරමින් කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 667 ක් යටතේ ය.

නමුත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය පෙබරවාරි 24 වෙනිදා නඩුව කැඳ වූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ 14 වන විත්තිකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ නිවසේ නොමැති බැවින් සිතාසි භාරදීමට නොහැකි වූ බවකි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින හතර වන වරටත් අධිකරණය අද්මිරාල් කරන්නාගොඩට සිතාසි නිකුත් කළේ ය.

එහෙත් කිහිප විටක්ම අද්මිරාල් කරන්නාගොඩ ප්‍රසිද්ධ ස්ථානයන් හි රාජ්‍ය උත්සව වලදී පවා දැක ගැනීමට හැකි යැයි ඔහුගේ චායාරුප ද සමගම මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනුණු බවක් වාර්තා නොවිණ.

රවින්ද්‍ර විජේගුණරත්න

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන ‘නේවි සම්පත්’ හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන් බවට එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබිණි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය භාර එවක ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබුණි.

රටේ ඉහළම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියෝගය දී දින ගණනාවක් ගතවී තිබුණත් එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද්මිරාල්වරයාව කැඳවා තිබුණු නමුත් එසේ නොකොට එදින ඔහු රටින් පිටව ගොස් ඇති බවට ඇති බව පොලීසිය මාධ්‍යයට පැවසීය.

පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනුණද ඇපමත නිදහස්කෙරිණ.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අගෝස්තු මාසයේදී වරෙන්තු නිකුත් කළේ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පෞරාණික වටිනාකමක් ඇති දෙවෙනි බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල වීම හේතුවෙනි.

අදාළ වරෙන්තු නියෝගය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේවාවසම් නියෝග කර තිබිණි.

ඊට හේතුවූයේ, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් හයක් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ යොදවා තිබෙන බවටත් දින ගණනක් ගතවුවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවූ බවටත් අධිකරණය වෙත කරන ලද දැනුම් දීමය.

කෙසේ වෙතත්, අනතුරුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචණාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් ගොනු කර ඇති පෙත්සම් පහ විභාගයට ගෙන අවසන් තීන්දුවක් දෙන තුරු එම අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවය.

මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ

වරෙන්තු නියම කර දින 12 ක් තිස්සේ සැඟවී සිටි වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ප‍්‍රදේශයේ සිටියදී මීගමුව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් තවත් එක් සිද්ධියකි.

සැකකාර අනුරුද්ධ සම්පායෝ නමැත්තා ඔහු පදිංචි නිවස වසා දමා බිරිඳ හා දරුවන් සමඟ පලාගොස් ඇති බවඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට දන්වා තිබිණි.

කෙසේවෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කි‍්‍රයාත්මක කළ සූක්‍ෂම මෙහෙයුමකින් පසු සැකකාර අනුරුද්ධ සම්පායෝ සැඟවී සිටි ස්ථානයෙන් පිටතට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බවට පොලීසිය මාධ්‍යයට පැවසීය.

සැකකරු කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයකුගේ රැකවරණය ලබමින් සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සිටි නමුත් එසේ සැඟවී සිටින ස්ථානය හඳුනාගත් විශේෂ පොලිස් කණ්ඩායම සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඔහු කුරුණෑගල නගරය වෙත ගෙන්වාගෙන පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙය නාටකයක් බවය. එවැනි සූක්‍ෂම මෙහෙයුමක් කි‍්‍රයාත්මක වී නොමැති බව එම නිලධාරීහු පැවසූහ.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලු සැප පහසුකම් ලබාදුන් බවට මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනකු වෙත චෝදනා එල්ල වී තිබිණි.

බැසිල් රාජපක්ෂ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ. රණවීර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ, දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 30ක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට නීතිපතිවරයා ගොනු කර තිබූ චෝදනා සැලකිල්ලට ගනිමිනි.

සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගැනුණද එසේ අත්අඩංගුවේ සිටි කාලය පුරා රෝහල්ගතව සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවති නඩුවේදී ඔහු කිහිපවිටක්ම විදේශගතවූ අතර තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාගැනීම සඳහා අධිකරණය මගින් ම ලබාගත් නියෝග හරහා අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටියේය.

කිහිපවිටක් ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ තමන්ගේ මැදිහත්විම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකු හා ආරක්ෂක අංශ හිටපු ප්‍රධානින් අත්අඩංගුවට ගැනීම වැළකුණු බවකි.

මේ, බොහෝ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හිතවතුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්වීමත් සමග අතුරුදහන්වීම හෝ අත්අඩංගුවට පත්වූ සැණින් රෝගාතුරවීමේ ඉතා සුලභ සිදුවීම් අතරින් කිහිපයකි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here