දෙහිවල බෝම්බකරු බුද්ධි අංශ නිලධාරියෙක් සමග කතා කළා : හිටපු ජනපතිගේ සහෝදරයා ගැනත් සැකයි – හිටපු පොලිස්පති පාස්කු කොමිසමේදී කියයි…

0
236

දෙහිවල බෝම්බකරු බුද්ධි අංශ නිලධාරියෙක් සමග කතා කළා : හිටපු ජනපතිගේ සහෝදරයා ගැනත් සැකයි – හිටපු පොලිස්පති පාස්කු කොමිසමේදී කියයි

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්නේ නම් තානාපතිකමක් දෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (25) පාස්කු කොමිසමේ දී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම තමාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්කුස උපන් සහෝදරයා පිළිබඳව තමන්ට සැකයක් පවතින බව ද හිටපු පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ තෙවන දිනටත් සාක්ෂි දුන් අතර එහිදී කොමිසම විමසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන දැනුවත් නොකළේ මන්ද යන්නයි.

එයට පිළිතුරු දුන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා,”දැනුවත් කරලා වැඩක් නැහැ ස්වාමීනි. ඔහු ක්‍රියාකාරී නැහැ. එතුමාට භාර දීලා තිබුණෙත් පුහුණුකිරීම් හා තවත් ආයතන දෙක තුනක් විතරයි. අනික තිබුණ දේශපාලන ආරවුල් එක්ක මන් කියන්න ගියෙත් නැහැ ” යැයි කියාසිටියා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පෙරළා ප්‍රශ්න කරසිටියේ ඇයි ඔබ කතෝලික පල්ලිය හෝ කාදිනල් හිමියන් දැනුම්වත් නොකළේ යන්නය.

“කාදිනල් හිමියන්ව දැනුම්වත් කරන්න තරම් මේ තොරතුර ස්ථීර තත්ත්වයක තිබුණේ නැහැ ස්වාමීනි. ස්ථීරව තිබුණා නම් මම මේ ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් කරනවා.“ යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නා.

“එහෙමනම් අප්‍රේල් 20 තොරතුරක් ලැබුණාම හෙට ගහනවා කියල.“ ඇයි ඒ වෙලාවේ කාදිනල් හිමියන් දැනුම්වත් නොකළේ යැයි සභාපති විනිසුරුවරයා යළි විමසා සිටියේ ය.

“මට සවස 5ට විතර තමයි නිලන්ත ජයවර්ධන දුරකථනයෙන් කිව්වේ මේ ගැන. ඒක විනාඩි 2 යි තත්පර 13 ක ඇමතුමක්. ‘සර් කලින් ආපු තොරතුර ගැන වැඩිදුර තොරතුරක් ලැබුණා’ කියලයි කිව්වේ. මං ඇහුවා ‘foreign intelligence එකද’ කියලා. ‘ඔව් කියලා නිලන්ත උත්තර දුන්නා. නැවතත් මං ඇහුවා ‘ඔයගොල්ලො තොරතුරක් හොයාගත්තේ නැත් ද’ කි‍යලා. ‘මුකුත් නැහැ සර්’ කියලයි නිලන්ත කිව්වේ. ඉතින් ස්වාමීනි ඒ දැනුම්දීම අනුව රාජ්‍ය බුද්ධි සේවය කළේ අනුන්ගේ තොරතුරක් පාස් කරපු එක විතරයි. තමුන්ගේ කියල තොරතුරක් එයාලා හොයාගෙන තිබුණේ නැහැ.“ යැයි පූජිත් ජයසුන්දර මහතා කියාසිටියේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,” එදා එහෙම වුණාට ස්වාමීනි මේ සිද්ධිය ගැන මං කටඋත්තර දෙන්න ගිය වෙලාවේ, පුර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන අනිත් අය කතාකරපු හැම දුරකථන වාර්තාවක්ම එතන තිබුණත් මං නිලධාරීන්ට මේ ගැන කියන්න ගත්ත එක ඇමතුමකවත් දුරකථන වාර්තා එතන තිබුණේ නැහැ. එවකට ටෙලිකොම් ආයතනයේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ එක්කුස උපන් සහෝදරයා. මම ඒ දවස්වල කෝල් ගත්ත ගමන් ටක් ගාලා සද්දයක් එනවා. ඒ ට්‍රැක් කරනවා. තව කාරණයක්, ඒ දවස්වල මගේ නිල නිවස ඉස්සරහ පාරේ සක්මන් කරන්න රාජ්‍ය බුද්ධි සේවය ඔත්තුකාරයො දාලා තිබ්බා පොලිස්පතිව ආවේක්ෂණය කරන්න. ඔන්න ඕවා තමයි මට වුණේ ස්වාමීනි.” යැයි හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් සාක්ෂි දුන්නා.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, “ඔබ කාටද මේවට ඇඟිල්ල දික් කරන්නේ?” යනුවෙනි.

“ඇඟිල්ල දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටයි ඒ හා සම්බන්ධ දේශපාලන අධිකාරියටයි. මං මෙවැනි සිදුවීම් නිසා පොලිස්පති හැටියට පුදුමාකාර විදියට විඳවලා තියෙනවා. මං එහෙම විඳවන්න ඕනෙ කෙනෙක් නෙවෙයි. අන්තිමේට මාවයි හේමසිරි ප්‍රනාන්දුවයි මේකට බිළිවුණ එකයි වුණේ.”

” ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබලාට මෙහෙම කළේ කියල හේතුවක් දන්නවා දැයි“ ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු මෙහිදි සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමුකළේ ය.

” මං දන්නවනේ මට කියපුවා. මේ යකාව අයින් කරන්න ඕනෙ කියලමයි කිව්වේ. පැජට් රෝඩ් එකේ නිලධාරින් ඉස්සරහත් මට බැනල තියෙනවා.” යැයි හිටපු පොලිස්පතිවරයා ඊට පිළිතුරු ලබාදුන්නේ ය.

එහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රශ්න කර සිටියේ, “ජයසුන්දර මහත්මයා, හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු නේද.. මේකෙ වගකීම භාරගෙන ඉවත් වුණොත් තානාපති කමක් දෙනවා හිටං කියලා?“

” ඔව් ස්වාමීනි. ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 23 එතුමා ඇමතුමක් දීලා කිව්වා ‘ පූජිත් රෑ 8ට මාව හම්බෙන්න පැජට් එකට එන්න’ කියලා. මන් රෑ ගියා. ගිහින් විනාඩි 20ක් විතර හිටියා. මොකද මට මතක විදියට ජනාධිපතිවරයා ඒ වෙලාවේ තිලංග සුමතිපාල, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීතුමන්ලා එක්ක කතාවක හිටියේ. ඒකෙන් පස්සෙ මට එන්න කිව්වා ඇතුළට. මට එතුමා කිව්වා ‘පූජිත්, මං එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. දැන් මේ වෙච්ච සිද්ධියේ වගකීම මට ගන්න බැහැ. මට මේක පූජිත් කිව්වෙත් නැහැ හේමසිරි කිව්වෙත් නැහැ. ඉතින් මට මේකේ වගකීම ගන්න බැහැ.“ කියලා.

” මං ඉතින් බලන් හිටියා ස්වාමීනි එතුමා දිහා. ඔන්න එතකොට කිව්වා ‘ පූජිත්, ඔයා මේකේ වගකීම ගන්න ඕනේ. මං අද උදෙත් ආරක්ෂක කවුන්සිලයේ දී ඇහුවනේ උඹ වචනයක් කිව්වද..? ඔහොමයි කතා කළේ ස්වාමීනි මට. මං එතකොටත් පොලිස්පති නිසා මට විනයක් තියෙන්න ඕනෙ කියලා හිතලා මං සද්ද නැතුව බලාගෙන හිටියා. ඊටපස්සෙ කිව්වා ‘දැන් මන් පත්කළාට පස්සෙ විජිත් මලල්ගොඩ කමිටුව රැස්වෙනවා. ඒකෙන් උඹ වරදකරු කරනවාමයි. හැබැයි මේකෙ වගකීම භාර අරන් ඉවත් වෙනවනම් කොහේ හරි කමක් නැහැ කැමති රටක තානාපති කමක් දෙන්නම් යන්න. Inquiry වෙනස් කරවන්නම් මම’ කියලා ජනාධිපතිවරයා මට පැවසුවා.“ යැයි පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

” ඔය විදිහට තුන් වතාවක් මට කිව්වා ස්වාමිනි. මන් තුන්වෙනි වතාවෙ කිව්වා ‘ සර් මං ඕක කළොත් මං සමස්ථ පොලිසියම පාවල දුන්නා වෙනවා. අනික සර් නිලධාරින් මේ වෙනුවෙන් පියවර ගත්තනේ. එක නිසා එහෙම කියන්නෙපා සර්..’ යනුවෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එතකොට, එහෙනම් මොකද්ද කරන්න ඕනේ’ කියලා හයියෙන් කියපු එතුමා ‘මට කියන්න තියෙන්නෙ ඔච්චරයි’ කියලා නැවැත්තුවා. මං ආචාර කරල ආවා. ඊටපස්සෙ අප්‍රේල් 25 කෝල් කරල ආයෙත් ඇහුවා ‘අර ලියුම ආවේ නැහැ..’ කියලා. පස්සෙ උදය ආර්. සෙනෙවිරත්න ජනාධිපති ලේකම්තුමාව එව්වා මාව හම්බෙන්න. ඇවිත් කිව්වා ‘මං කියන එක අහපන් යකෝ ගිහින් හම්බෙලා කියන දේ කරපන්’ කියලා. එත් මං ගියේ නැහැ ස්වාමීනි.” යැයි පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ පැවසුවේ ය.

” මට පසුව ආරංචි වුණ දෙයක් මං කියන්නම් දෙහිවල පිපිරීම කළ ජමීල් ගැන. ඔහු ටාජ් එකෙන් ට්‍රොපිකල් ඉන් එකට ඇවිත් බෝම්බ තියලා දවල් 1.45ට විතර කෙනෙක්ව හමුවෙලා තියෙනවා ස්වාමීනි. ඒ හමුවෙලා තිබුණේ බුද්ධි අංශයේ නිලධාරියෙක්ව.මේ හමුවීම වෙලා තිබුණේ වෙන කොහේ හරි තැනක. එතකොට බුද්ධි නිලධාරියෙක්ට එහෙම ජමිල් එක්ක සම්බන්ධකම් තිබුණානම් සහරාන් ගැන බුද්ධි අංශ දන්නේනැති වෙන්න බෑනේ ස්වාමීනි. සුදුසු පුද්ගලයන් ගෙනැල්ලා හෙව්වොත් සහරාන්ලත් එක්ක තිබුණු සම්බන්ධතා එළියට ඒවි. තව සහරාන් කියල තිබුණා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට එහෙම විදෙස් මුදල් ලැබෙන එක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. සහරාන්ලාව නැගෙනහිර දී අත්අඩංගුවට ගන්න බැරිවුනෙත් දේශපාලනය නිසා. ඒ අයට ආණ්ඩුකාර ධූර දීපු ඒවා එහෙමත් වුණානේ ස්වාමීනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා ස්වාමිනී මේක ගැන කරන්න. ඒවා නොකර මාවයි හේමසිරිවයි මේ අය මිනීමැරුම් චෝදනාවක් යටතේ ගත්තා කිසිම සොයාබැලීමක් කරන් නැතුව. ඒකයි වුණේ. ” යැයි පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේ ය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here