ගිනි ගත් තෙල් නැවේ අලුත් ම තත්ත්වය ගැන නාවික හමුදාවෙන් නිවේදනයක්…( VIDEO )

0
283
ගිනි ගත් තෙල් නැවේ අලුත් ම තත්ත්වය ගැන නාවික හමුදාවෙන් නිවේදනයක්…( VIDEO )

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වනවිට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

“ගින්න නැවත ඇතිවීම වැළක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්  ක්‍රියාත්මක වේ,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසීය.

“නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරකින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක්  නිරීක්‍ෂණය කර ඇත. පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ  මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුල එකතුවීම හේතුවෙන්  නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බරවීම මෙලෙස නෞකාවේ  ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍රවීමට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ. නමුත්, ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැත”.

මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථානගතකර තිබූ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනීය වර්ගයේ ගුවන්යානය අදාළ ඩීසල් ඉන්ධන පැල්ලම නිරීක්‍ෂණය කරන ලද ප්‍රදේශය වෙත අද (08) සවස් භාගයේදී යොමුකර විශේෂීත රසායන ද්‍රව්‍යක් එම මුහුදු ප්‍රදේශයට ඉසීමට කටයුතු කර තිබේ.

එම ඉසින ලද විශේෂිත රසායන ද්‍රව්‍ය මගින් මුහුදු ජලයට මිශ්‍රවී ඇති ඩීසල් ඉන්ධන වල රසායන සංයුතිය වෙනස්කර එමගින් සාගරයට පරිසරයට වියහැකි බලපෑම අවම කෙරෙන බව නාවික හමුදාව පවසයි.

MT New Diamond නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැඳි පරීක්‍ෂා කිරීමට අද උදෑසන පරීක්‍ෂණ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබුණි.

එම කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත  වූ අතර, ඔවුන් එම මුහුදු ප්‍රදේශය වෙත ගොස් අදාළ නියැඳි ලබාගැනීමෙන් පසු රසායනාගාර පරීක්‍ෂණ කටයුතු සඳහා ඒවා ගොඩබිමට රැගෙන ඒමට නියමිතය.

එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද දින එම මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටද නියමිතව තිබූ බව නාවික හමුදාව පැවසීය .

මේ අතර, ආපදාවට පත් වූ නෞකාවේ සිට මුදවාගෙන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවෙහි ආරක්‍ෂිතව වෙන්කර තබා සිටි පිලිපීන හා ග්‍රීක ජාතික නාවිකයින් 20 දෙනා අද දින හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදි.

එමෙන්ම එම නාවිකයින් හුදකලා කර තැබීමේ මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, පීසීආර් පරීක්‍ෂණ සඳහා ඔවුන්ගේ ජෛව සාම්පල ලබා ගෙන තිබේ.

ආපදාවට පත් නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 ක් පමණ වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ආපදා කළමණාකරන මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටින අතර, ගුවන් යානා මගින් නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි.

එසේම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දේපාර්තමේන්තුවට අයත් නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් සැපයුම් යාත්‍රා ලෙස මෙම මෙහෙයුමට යොදවා ඇති අතර, මෙම මෙහෙයුම සඳහා ‍දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමණාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්ද සහභාගීව සිටින බව නාවික හමුදාව පැවසීය.

මේ අතර, 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීම පනත යටතේ නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඊට එක්ව සිටියේය.

නෞකාවෙන් හදිසි තෙල් විසුරුමක් සිදුවුවහොත් ඒ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදී පැවැත්විය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here