ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය: ජනගහනය අඩකින් අඩු වන බවට වාර්තාවක්…

0
357
ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය: ජනගහනය අඩකින් අඩු වන බවට වාර්තාවක්…

දරු උපත් පහළ යාම නිසා මේ සියවස අග වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය අඩකින් අඩු වෙතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ලොව රටවල් 195 ක සාඵල්‍යතා වේග (Fertility rates), මරණ, සංක්‍රමණ සහ ජනගහනයේ ඇති විය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් ‘The Lancet’ සඟරාව ජුලි මස නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය වසර 2100 වන විට මිලියන 10.45 දක්වා පහළ යනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

ඉහත කී වාර්තාවට අනුව 2017 වසරේදී මිලියන 21.60 ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 2031 වසරේදී එහි උපරිමයට, එනම් මිලියන 22.34 කට ළඟා වනු ඇත.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය (එක් කාන්තාවක් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය) 1.80 ක් වන අතර මේ සියවස අග වන විට එය 1.46 දක්වා පහළ යනු ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

යම් රටක සාඵල්‍යතා වේගය දල වශයෙන් 2.1 ට අඩු නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වී ඇතැයි සැලකෙයි.

නිල වාර්තා අනුව 1963 වසරේදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය 5.0 කි. 2016 වසර වන විට එම අගය 2.2 දක්වා පහළ ගොස් තිබේ.

1963 - 2016 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය . .  .

දකුණු ආසියාව තුළ අපි කොතැනද?

සාඵල්‍යතා වේගය පහළ යාම ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.

වර්ෂ 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

1950 දශකයේදී ලොව කාන්තාවන් බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසාන වන විට ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර, වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට, එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ පවසති.

අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී දකුණු ආසියාවේ සාඵල්‍යතා වේගය 2.27 කි. “වසර 2100 වන විට එම අගය 1.33 දක්වා පහළ යනු ඇත.”

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල සාඵල්‍යතා වේග. .  .

සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි?

කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාව නිසා දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවෝ නැඹුරුවක් දක්වති. එම තත්ත්වය ලොව සාඵල්‍යතා වේග පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති.

නමුත් කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීම ඒ සඳහා විසඳුමක් නොවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති.

උපත් පාලන භාවිතය . 2016 වසරේ සමීක්ෂණ වාර්තාව අනුව නවීන ක්‍රමවේද ඉහළ යමින් පවතී.  .

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 51% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ය.

මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් සක්‍රිය කාන්තාවන් සංඛ්‍යාව මිලියන 3.04 කි. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය 34.5% කි. ආර්ථික වශයෙන් සක්‍රිය නොවන කාන්තාවන් සංඛ්‍යාව මිලියන 5.78 කි.

2016 වසරේ නිල සමීක්ෂණ වාර්තාවලට අනුව වයස අවුරුදු 15-49 ත් අතර කවදා හෝ විවාහයට ඇතුළත්ව සිටි කාන්තාවන්ගෙන් රැකියාවල නිරතව ඇත්තේ 33% ක් පමණි.

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් අධ්‍යාපනයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද ඔවුන් රැකියාවලට යොමු වීම සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව ඉහත කී දත්ත මගින් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව තුළ වයස් කාණ්ඩ අනුව සාඵල්‍යතා වේගය. 2016 වසරේ සමීක්ෂණ වාර්තාව අනුව (වසර 3 ක කාල පරාසයක දත්ත) .  .

2016 වසරේ ජනවිකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව පසුගිය විසි වසර තුළ, වෙනත් වයස් ඛාණ්ඩවල සාඵල්‍යතාව පහළ යමින් තිබෙන අතරේ අවුරුදු 25-34 වයස් සීමාවට අයත් කාන්තාවන්ගේ සාඵල්‍යතාව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් රැකියාවලට යොමු වීම, සාඵල්‍යතා වේගය පහළ යාම කෙරෙහි සෘජුවම බලපා ඇතැයි නිශ්චිතව කිව නොහැක.

ශ්‍රී ලංකාවේ ජනවර්ග සහ සමාජීය මට්ටම් අනුව සාඵල්‍යතා වේගය

ජන වර්ගය අනුව මුළු සාඵල්‍යතා අනුපාතිකය - 2011. .  .

2012 ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව:

  • 2011 වසරේ දී යෝනක ප්‍රජාව වැඩිම සාඵල්‍යතා වේගය පෙන්නුම් කරයි. එය අනුපාතිකයක් වශයෙන් 3.3 කි.
  • 2011 වසරේදී සිංහල සහ ශ්‍රී ලංකා දෙමළ යන ජන වර්ග දෙක අඩුම සාඵල්‍යතා අනුපාතික පෙන්නුම් කරයි.
සමාජීය මට්ටම් අනුව මුළු සාඵල්‍යතා අනුපාතිකය 2011. .  .

2012 ජන හා නිවාස සංගණනයට අනුව:

  • 2011 වසරේ මුළු සාඵල්‍යතා අනුපාතිකය 2.4 කි.
  • ඉහළම සාඵල්‍යතා අනුපාතිකය වතු අංශයේ කාන්තාවන්ගෙන් (3.0) වාර්තා වන අතර පහළම අගය නාගරික අංශයේ කාන්තාවන්ගෙන් (2.1) වාර්තා වේ.
  • ඉන්දියානු දෙමළ ජනවර්ගයේ මුළු සාඵල්‍යතා අනුපාතිකය (2.9), ශ්‍රී ලංකා යෝනක මුළු සාඵල්‍යතා වේගයට පමණක් දෙවෙනි වෙයි.

විශේෂඥ මතය කුමක්ද?

සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා, ව්‍යාප්තිය, වයස් සංයුතීන් තුළ සිදුවෙන වෙනස්කම් සහ ප්‍රතිවිපාක ඇතුළු ජන විකාශය පිළිබඳ පර්යේෂණ වාර්තා සහ ඒ ආශ්‍රිත ප්‍රක්ෂේපණ සිදු කළ ප්‍රවීණයෙකි.

ශ්‍රී ලංකාවේ ජනගහනය පහළ යන බවට ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති පුරෝකථන සහ ප්‍රක්ෂේපණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සඳහන් කරන පරිදී ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා වේගය තවමත් 2.1 ට මදක් ඉහළින් පවතියි. 2010-2012 කාල සීමාවේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අගය 2.4 ත් 2.5 ත් අතර අගයක් ගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එම වැඩිවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන හරිහැටි අවබෝධ කරගෙන නොමැති බව කියා සිටියේය.

“සාඵල්‍යතාව අඩු වෙමින් ඇවිත් යම් කිසි හේතු ගණනාවකට එය එකවරම වැඩි වුණා. ඒ වැඩිවීම සිදු වුණු රටවල් කිහිපයයි තිබෙන්නේ. එයින් එකක් ශ්‍රී ලංකාව,”

“මා කලින් කළ ප්‍රක්ෂේපණ අනුව පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතාව සීග්‍රයෙන් අඩු වෙනවා, අපේ ජනගහනය මිලියන 22 ක් වගේ වෙනකොට උපරිමයකට එන බව. ඒ ස්ථාවර අගය දශක කිහිපයක් එලෙස පැවතිලා අඩු වෙන්න පුළුවන් බව ප්‍රක්ෂේපණය කර තිබුණා,”

“නමුත් 2010 -2012 කාලවල සාඵල්‍යතාවේ වැඩි වීමක් දැක්කට පසු මම අලුතෙන් කරපු ප්‍රක්ෂේපණ මගින් පෙන්නලා තිබෙනවා 2050, 2060 ගණන් වෙනකොට අපේ ජනගහනය මිලියන 25 ක් 26ක් දක්වා වැඩි වෙන බව. ඒ වැඩිවීම මිලියන 27 ක් වෙන්නත් පුළුවන්. 2100 ගණන් වෙනකොට පොඩි බැස්මක් සිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර කලින් වැඩි වුණු සඵලතාවය යළි අඩු වෙමින් පැවතීම.” යනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පැවසීය.

නමුත් ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුවීමේ හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජනගහනය ‘අඩු නොවීමට’ හේතු?

ශ්‍රී ලංකාවේ ජන වර්ගය අනුව සංයුතිය 2012 . .  .

ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ පහළ යාමක් සිදු නොවීම කෙරෙහි ‘අපටම අනන්‍ය වූ’ කරුණු තුනක් බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඒවා නම්:

  • දරුවන් බිහි කිරීම සම්බන්ධයෙන් ජාතීන් අතර දක්නට ලැබෙන “තරඟය”.
  • කොරෝනා වසංගතය හමුවේ රැකියා වෙළෙඳපොළ අහිමි වීම නිසා ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් යළි මව්රට බලා පැමිණීම සහ බටහිර රටවල පදිංචිවීමේ බලාපොරොත්තුවෙන් පසු වූ සහ විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටි සැලකිය යුතු පිරිසකට ඒ පිළිබඳ දෙවරක් සිතා බැලීමට බල කෙරෙන තත්ත්වයක් උද්ගත වීම.
  • 2009 වසරේ යුද්ධය නිමා වීමෙන් පසු ආයු අපේක්ෂාව ඉහළ යාම

දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න අගයක් ගනු ලබන නමුත් ඉදිරියේදී ඊට තවත් මිලියන 4-5 ත් අතර සංඛ්‍යාවක් එක් වූ පසු භූමියට දරා ගත නොහැකි මට්ටමක් ඇති විය හැකි බවට මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා අනතුරු අඟවයි.

“දැනටමත් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ගැටලු පවතිනවා. පානීය ජල ප්‍රශ්න තිබෙනවා. කැලෑ එළිපෙහෙළි කිරීම නිසා අලි ගම් වැදීම ඇතුළු බරපතල පාරිසරික ගැටලු රාශියක් මතු වෙමින් පවතිනවා. මේ දැන් වෙනකොට තත්ත්වය, 2050, 2060 වෙනකොට ජනගහනය තවත් වැඩි වුණොත් මේ තත්ත්වය උග්‍ර වෙනවා,”

රටක් වශයෙන් එවැනි අර්බුදකාරී තත්ත්වයක් අප ඉදිරියේ පැවතියත් පෙර සඳහන් “තරඟය” නතර කිරීමට මිනිසුන්ගේ සූදානමක් නොමැති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

“අන්න එතන තමයි අපිට තිබෙන උභතෝකෝටික ප්‍රශ්නය. මේක ගැටලුවකට යන බව මා පෙන්වා දී තිබෙනවා. මේ කෝවිඩ්-19 නිසා ඒ ගැටලුව තවත් බරපතල වෙනවා. නමුත් මේ තත්ත්වය නතර කිරීමත් පහසු දෙයක් නොවෙයි. මොකද වැඩි දෙනෙක් බලන්නේ අර ගැටලුව දෙස නොවෙයි, තමන්ගේ ප්‍රමාණය අඩු වැඩි කර ගැනීම කියන එකට තමයි මුල් තැන දී තිබෙන්නේ,”

මහාචාර්යවරයා පවසන පරිදී ඉහත කී තත්ත්වය මග හරවා ගැනීමට ඇති එකම මග එකී ගැටලුව පිළිබඳ සෑම ජන වර්ගයකටම අවබෝධයක් ලබා දීම පමණි.

“රටට ගැලපෙන ජන සංඛ්‍යා වර්ධනයක් පවත්වාගෙන ගියොත් අපිට ලංකාවේ වතුර ටිකක් බොන්න පුළුවන් තැනක් සෑම තැනකම තිබෙන විදිහට හදා ගන්න පුළුවන් වේවි. එහෙම නැතිව දැන් යන රේස් එකේ නම් අර්බුද ගොඩක් එනවා ඉස්සරහට,” සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here