ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු : ‘එක රටක් එක නීතියක්’….

0
260

ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු : ‘එක රටක් එක නීතියක්’….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙන අතර ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා තමා සමග එකතු වන ලෙස සියලුදෙනාටම මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරන බවය.

1978 සිට19 වතාවක් සංශෝධනය වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවත් ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා ඉල්ලූ ජනවරම ජනතාව ලබා දී තිබෙන නිසා පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය. සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කී ජනාධිපතිවරයා රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බව ද පැවසීය.

පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නොවන නිසා නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා පැවසීය. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ සෘජු නියෝජනය ද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරන බව ඔහු සඳහන් කළේය.

කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට වගකීමක් පැවරී තිබෙන බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පහත සදහන් කරුණු ද ඇතුළත්විය:

ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා ඇතුළු කණ්ඩායම භාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක් බව සඳහන් කළේය.

බුද්ධ ශාසනය

ව්‍යවස්ථාවට අනුව තම ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් පොරොන්දු වී තිබෙන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙන බව පැවසීය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, බෞද්ධ උරුමයන් රැකගැනීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීම තහවුරු කරන අතරම, රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බවත් ඔහු පැවසීය.

රටේ ආරක්ෂාව

රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබූ බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට කටයුතු කොට තිබෙන බවත් ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් යළි ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට කටයුතු කරමින් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය වෙනස් කරමින් ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළ බව ඔහු සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන් බවත් අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ද පැවසීය.

දේශීය ව්‍යවසාය අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළ බවත් ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කර දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී ආනයනයන් සීමා කිරිමද සිදු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනතා ඉල්ලීම්

වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙන බවත් නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් නොකරන බවත් ප්‍රකාශ කළේය.

ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නැතිකම හැම තැනකදීම පෙනී ගිය බව පැවසු ඔහු බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙන බවත් ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකමත් හදුනාගෙන ඇති බවත් ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසල්වල නොමැති බවත් ප්‍රකාශ කළේය.

රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු පැවසීය.

ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩු බවත් වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙන බවත් ප්‍රකාශ කළ ඔහු පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ විෂමතා ඉවත් කරන බවය.

දේශීය වෙදකම

විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

රැකියා

රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් ඊට සමගාමීව උපාධිධාරීන් හැටදහසකට රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙන බවත් ඔහු පැවසීය.

රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට කටයුතු කරන බවත් රැකියා අවස්ථා ලබා දීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට කටයුතු කරන බවත් කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය දියුණු කරන බවත් ඔහු පැවසීය.

‘තේ’ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු හිමියන්ට රජය උදව් කරන බව පැවසූ ජනපති වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරන බවත් ‘සිලෝන් ටී’ සන්නාමයට තිබුණු පිළිගැනීම ශක්තිමත් කරන බවත් පැවසීය.

අධ්‍යාපනය

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විශේෂයෙන් සැලකිලිමත් වන බව පැවසූ ජනපති උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කිරීමටත් විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් විෂය මාලාවන් නවීකරණය කොට මෙම උපාධි, ආර්ථිකයට සෘජුව දායකත්වය ලබාදිය හැකි විෂයයන් බවට තහවුරු කරන බවත් පැවසීය .

සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන අතර ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට නොවන බව ජනාධිපතිවරයා පැවසීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here