‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්…

0
364
‘ෆේස්බුක් වෙතින් මහජන සෞඛ්‍යට අනතුරක්’ – වාර්තාවකින් අනතුරු ඇඟවීමක්…

ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි.

ඉහත කී තත්ත්වය කෝවිඩ්-19 අර්බුද සමයේ උච්ඡ වී ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ෆේස්බුක් මහජන සෞඛ්‍යට “දැඩි තර්ජනයක්” බව අදාළ සමීක්ෂණය මෙහෙය වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ‘අවාස්’ ආයතනය පවසයි.

එන්නත් සම්බන්ධයෙන් ෆේස්බුක් හි පළ වන ව්‍යාජ තොරතුරු නිසා කෝවිඩ්-19 සඳහා එන්නතක් සොයා ගත්ත ද එය ලබා ගැනීමට සූදානම් වන පිරිස සීමා වීමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

සිය ආයතනය ගෙන ඇති පියවර ඉහත කී වාර්තාවේ අඩංගු සොයා ගැනීම් මගින් පෙන්නුම් නොකරන බව ෆේස්බුක් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කර තිබුණේ “වැරදි තොරතුරු පැතිරීම සීමා කිරීම සඳහා අවාස් සතු ඉලක්කය අපටත් තිබෙනවා. කරුණුවල නිවැරදිභාවය සොයා බලන අපේ ගෝලීය ජාලයට ස්තූතිවන්නට, අප්‍රේල් සිට ජුනි දක්වා කෝවිඩ්-19 ගැන පළ වූ නොමග යවන සුලු වාර්තා මිලියන 98 ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමටත් හානියක් සිදුවිය හැකි වාර්තා මිලියන 7 ක් ඉවත් කිරීමටත් අපි කටයුතු කළා,” යනුවෙනි.

“සෞඛ්‍ය ආයතන ලබා දී ඇති තොරතුරු වෙත අප විසින් බිලියන දෙකකට වැඩි පිරිසක් යොමු කරනු ලැබ තිබෙනවා. යමෙකු කෝවිඩ්-19 සම්බන්ධ යොමුවක් (link) ‘ෂෙයාර්’ කිරීමට සූදානම් වන විට අප ඔවුන් වෙත විශ්වසනීය සෞඛ්‍ය තොරතුරු අඩංගු ස්ථාන පෙන්නුම් කර තිබෙනවා,”

බොරු බෙහෙත්

ෆේස්බුක් සමාගම එවැනි උත්සහයක් ගත්ත ද එම සමාජ ජාලයේ තිබී හඳුනා ගත් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුලු තොරතුරුවලට අදාළව අනතුරු ඇඟවීම් දක්වා තිබුණේ 16% ක පමණක් බව ‘අවාස්’ වාර්තාවෙන් පෙන්නුම් කරයි.

ෆේස්බුක් තුළ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන බවට පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති ප්‍රධාන වෙබ් අඩවි දහය, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි නිල වෙබ් අඩවි මෙන් සිව් ගුණයක් කියවා ඇති බව ඉහත කී වාර්තාවේ දැක්වේ.

සෞඛ්‍යට අදාළ නොමග යවන සුළු තොරතුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු (ෂෙයාර්) වී ඇත්තේ ෆේස්බුක් පිටු (පේජස්) ඔස්සේය.

එවැනි පිටු 42 කින් තොරතුරු ලබා ගෙන ඇති පිරිස (ෆලෝවර්ස්) මිලියන 28 කට අධිකය.

එසේ වැඩි වශයෙන්ම හුවමාරු වී ඇති තොරතුරු:

  • ‘වීව්ස්’ (කියවා ඇති පිරිස) මිලියන 8.4 – ඉන්දියාවේ දරුවන් මිලියන භාගයක් අංශභාග තත්ත්වයට පත් කිරීමට හේතු වූ එන්නතට බිල් ගේට්ස්ගේ සහාය ලැබී ඇතැයි පැවසෙන වාර්තාවක්
  • ‘වීව්ස්’ මිලියන 4.5 – ඉබෝලා සඳහා කොලොයිඩ් සිල්වර් ද්‍රාවන ලබා දීම වැනි මාරක රෝග සඳහා ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේද අඩංගු වාර්තාවක්
  • ‘වීව්ස්’ මිලියන 2.4 – නිරෝධායනය මගින් මහජන සෞඛ්‍යට හානි ගෙන දෙන බව සඳහන් වාර්තාවක්

ඉහත කී පර්යේෂණය මගින් එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ජර්මනියේ සහ ඉතාලියේ සමාජ ජාල ගිණුම් වෙත අවධානය යොමු කර තිබේ.

‘අවාස්’ ආයතනයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ෆාඩි කුරාන් කියා සිටියේ “ෆේස්බුක් ‘ඇල්ගොරිදම’ (algorithm) මහජන සෞඛ්‍යට ප්‍රධාන තර්ජනයක්” යනුවෙනි.

“වසංගතය අතරතුර විශ්වාසය තැබිය හැකි තොරතුරු ලබා දෙන බවට මාක් සකර්බර්ග් ප්‍රතිඥා දුන්නා.”

“නමුත් ෆේස්බුක් හි බිලියන 2.7 ක් සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු පතුරුවන ජාල වෙත යවමින් ඔහුගේ ‘ඇල්ගොරිදම’ ඒ උත්සාහය කඩාකප්පල් කර දමනවා,”

“ෆේස්බුක් සමාගම මේ ‘ඇල්ගොරිදම’ ඉවත් නොකර, විශාල වශයෙන් හුවමාරු වූ බොරුවලට නිරාවරණය වූ සෑම දෙනාටම නිවැරදි කිරීම් සැපයුවේ නැති නම් මේ ගැටලුකාරී තොරතුරු නිසා වසංගත තත්ත්වය තවත් නරක අතට හැරේවි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෝවිඩ්-19 පාලනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු නොකරන ලද තොරතුරු ද ෆේස්බුක් ඔස්සේ පළ වී තිබිණි.

කොරෝනාවෛරසයෙන් ගැලවී සිටීම සඳහා කැඳ පානය හෝ දුම් ඇල්ලීම වැනි ක්‍රමවේද ඒ අතර විය.

එවැනි අත්හදා බැලීම් මේ මොහොතේ යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපතිවරයා මෙන්ම ආයුර්වේද කොමසාරිස්වරයා ද එවක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here