19 වැනි සංශෝධනය: “විධායක ජනාධිපතිට බාධාවක්” – “ඉවත් කිරීමෙන් තර්ජනයක්”…

0
564
19 වැනි සංශෝධනය: “විධායක ජනාධිපතිට බාධාවක්” – “ඉවත් කිරීමෙන් තර්ජනයක්”…

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා 20 වෙනි සංශෝධනය ගෙන ඒමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් සිය එකඟතාව පළ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ද පත් කරගැනිණි.

මහාචාර්ය ජී එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුනවර්ධන, උදය ගම්මන්පිල හා අලි සබ්රි යන අමාත්‍යවරුන් ඊට ඇතුළත්වන බව ද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේය.

19 වැනි සංශෝධනය ඉවත් කිරීමට අදාළ අනුමැතිය ලබාගැනීමේ අරමුණ ඇතිව එම පත්‍රිකාව අද (අගොස්තු 19) පැවති, නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙන බව බීබීසී සිංහල සේවයට ඊයේ කියා සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැහැදිලි කළේ ජනාධිපතිවරයාගේ ධුරකාලය මෙන්ම පාර්ලිමේන්තුවේ ධුරකාලය අවුරුදු 05ක් ලෙසත් ජනාධිපති ධූරය දැරිය හැක්කේ දෙවරක් පමණක් බවටත් වන වගන්ති එලෙසම තබා ගැනීමට සියලු දෙනා එකග වී ඇති බවය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මුල් වූ මෛත්‍රීපාල සිරිසේන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා එම් ඒ සුමන්තිරන් යන අය විසින් ම මෙම ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කර හෙලා දැක ඇති පසුබිමක එය වෙනස් නොකර තවදුරටත් ඉදිරියට ගෙනයාමට සූදානම් නොමැති බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවී තිබෙනවා පමණක් නොව එමගින් කාර්යක්ෂමව රට පාලනය කල නොහැකි තත්වයක් ඇතිවී තිබීම තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදීත් ජනතාවගෙන් වරමක් ඉල්ලුවේ එය වෙනස් කිරීමටයි. අප මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ මෙය වෙනස් කර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමටයි. එය ජනතාව ලබා දී තිබෙනවා,” යනුවෙන් අමාත්‍ය අලි සබ්රි කියා සිටියේය.

19th amendment Sri Lanka

“ස්වාධීන කොමිෂන් සභාවලට පත්වීම් කිරීමේදීත් ගැටලු මතුවී තිබෙනවා.” යැයි කී අමාත්‍යවරයා, ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇති බවය.

ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අනුමැතිය මෙන්ම ඒ සඳහා කෙටුම්පතක් සම්පාදනය සඳහා රජයේ නීති කෙටුම්පත් දෙපාර්ථමේන්තුවට බාරදීමට බලය ලබා දෙන ලෙස තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලන බව ද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසූවේ “මේ වෙලාවේ රට කරවන්නනම් ක්ෂණිකව 19 ය ඉවත් කරන්න ඕන. එතකොට ඉබේම 18 දක්වා පස්සට යනවා. අපි පක්ෂයක් හැටියටත් ජනාධිපතිතුමාත් අපිත් ඉන්න ස්ථාවරය තමයි ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන ඉතාම ඉක්මණින්. ඒක හැබැයි ජනතා සහභාගීත්වයෙන් හැමකොටසක්ම සම්බන්ධකරල හොද ව්‍යවස්ථාවක් මේ වගේ අණ්ඩ දාන්න වෙනස් වෙන්නෙ නැති ස්ථීරසාර එකක්. ඉතින් ඒ ව්‍යවස්ථාව හදන්න ඉස්සල්ල 19 ඉවත්කරන්න ඕන. 19ත් එක්ක කරන්න බෑ” යනුවෙනි

19th amendment Sri Lanka

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව විශාල සාකච්ජාවක් ඇතිවී තිබෙන නමුත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මොනවාද, එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දිශාවට ද මානව හිමිකම් පුළුල්කිරීමේ දිශාවටද, ප්‍රජාතන්ත්‍රවාදය තවත් හැකිලීමේ දිශාවටද, යම් ව්‍යාවස්ථාපිත ඒකාධිපතිත්වයක් දිශාවටද යන කරුණු කිසිවක් හෙලිකර නොමැති බව කියා සිටියේය.

19th amendment Sri Lanka

“අපි විශ්වාස කරනවා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් ඒ ව්‍යවස්ථාව කවර ආකාරයේ ව්‍යවස්ථාවක් ද එහි අරමුණ කුමක්ද කියල රටේ ජනතාවට ඉදිරිපත්වෙයි කියන විශ්වාසය තියෙනවා.” යැයි ද අනුර කුමාර දිසානායක පැවසීය.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සකසන ලදුව 1978 වසරේදී සම්මත වූ ව්‍යවස්ථාවට “ගැහැණියක පිරිමියෙකු කිරීම හෝ පිරිමියෙකු ගැහැණියක කිරීම හැර” අන් සියල්ල කළ හැකි අසීමිත් බලයක් ඇති බවට චෝදනා එල්ල වූ අතර මේ දක්වා එය 19 වතාවක් සංශෝධනයට ලක්විණි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන වන ස්වාධීන කොමිෂන් සභා හදුන්වාදුන්න ද මහින්ද රාජපක්ෂ රජය විසින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒවා නැවතත් ආපස්සට හැරවූ බවට විවේචන එල්ල විය. 19 වැනි සංශෝධනය තුළින් ජනාධිපතිට ඇති අසීමිත බලතල සීමා කර එම බලය පාර්ලිමේන්තුවට පැවරීම ද පසුව විවේචනයට බඳුන් විය.

2018 ඔක්තෝම්බරයේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයා ඉවත් කරන ලදුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් උත්සහය ව්‍යවර්ථ වූයේ 19 වැනි සංශෝධනයේ නෛතික ප්‍රතිපාදන හේතුවෙනි.

ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම තුළින් 2015 දී ලබාගත් ප්‍රජාතන්ත්‍රිය අයිතීන්වලට මරු පහරක් එල්ල වන බව ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීහු පවසති.

එවන් සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන නීතීඥ භවානී ෆොන්සේකා බීබීසී සිංහල සේවයට පැවසුවේ, “අපි තවම දන්නෙ නෑ මොනවද මේ සංශෝධන කියල. ඒත් 19 ඉවත් කීරීම තුළින් බලාපොරොත්තු වන්නේ 2015 දී දිනාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමට ගන්නා උත්සාහයක් බව නම් පැහැදිලියි,” යනුවෙනි.

“මෙය ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්.” යැයි ද ඇය අවධාරණය කළාය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here