නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙතැනින්…

0
363
2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි, ජනපතිට ආරක්ෂක ඇමති පදවිය දැරිය හැකිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටවනු ලැබූ නව රජයේ නව කැබිනට් මණ්ඩලය මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම් දුන්නේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයෑම සඳහා අමාත්‍යවරුන් 25 දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිවක් සඳහන් කොට නැති අතර, තමන් කතානායක පදවියට පත්කළහොත් එය භාරගැනීමට තමන් සූදානම් බව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මහින්ද, චමල්, අගමැතිවරයා ගේ පුත් නාමල්, චමල් ගේ පුත් ඌව හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අමාත්‍යවරුන් වශයෙන් පත්වීම් ලැබූ අතර අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ගේ සහෝදරිය ගේ පුත් නිපුණ රණවක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු ලෙස පත්වීම් ලැබීය.

Skip Twitter post, 1

End of Twitter post, 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ප්‍රබල ඇමතිවරුන් වූ සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, එස් බී දිසානායක, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද සමරසිංහ, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ විජේදාස රාජපක්ෂ ට කිසිදු අමාත්‍යාංශයක් හිමි වී නැත.

කාන්තාවෝ

මන්ත්‍රීවරියන් අතරින් කැබිනට් අමාත්‍ය පදවියක් හිමි වී තිබෙන්නේ පවිත්‍රා වන්නිආරච්චිට පමණි. වෛද්‍ය සීතා අරඹේපොළ සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍ය පදවි ලැබූ කාන්තාවන් දෙදෙනාය.

රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පදවියට පත්කොට තිබේ.

මන්ත්‍රීවරියන් අතරින් කැබිනට් අමාත්‍ය පදවියක් හිමි වී තිබෙන්නේ පවිත්‍රා වන්නිආරච්චිට පමණි

මේ අතර, දැනට මිනීමැරුම් චෝදනා යටතේ අධිචෝදනා ඉදිරිපත්ව රක්ෂිත බන්ධනාගාරව සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, ඔහුට ආරාධනා පත්‍රයක් ලැබුන නමුත් ඒ සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොවූ හෙයින් ඔහු ඉදිරි දිනයකදී අමාත්‍ය වරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවය.

මරණ දඬුවමකට ලක්ව එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රෙමලාල් ජයසේකරටත් රාජ්‍ය අමාත්‍යංශයක් හිමිවීමට නියමිතව තිබූ බවට වාර්තා පළ වුවත් දිවුරුම් දීමේ උත්සවයට ඔහුත් පැමිණ සිටියේ නැත.

ආරක්ෂක අමාත්‍යාංශය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට අමාත්‍ය පදවියක් දැරීමට නෛතික හැකියාවක් තිබේ ද යන්න ගැටලුවක් වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට පත්කොට තිබේ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය.”

එහි දැක්වෙන අන්දමට ජනාධිපතිවරයාට එම විෂයයන් දැරීමේ බලය දී තිබුණේ එම අවස්ථාවේ පදවිය දැරූ (මෛත්‍රීපාල සිරිසේන) ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසාන වනතෙක් පමණි.

නව කැබිනට් මණ්ඩලය

කෙසේවෙතත්, 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න කියා සිටියේ, “43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා,” යනුවෙනි.

“අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්,” ආචාර්ය දිනේෂා සමරරත්න තවදුරටත් පැවසීය.

රාජ්‍ය ඇමතිවරු

කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, “ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශය ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ,” යනුවෙනි.

“හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා” යනුවෙන් ද ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් සඳහන් කළේය.

කෝඩුකාරයෝ

පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි ලැබූවන් අතරින් කැබිනට් අමාත්‍ය පදවියක් හිමි වී තිබෙන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට පමණි.

අලි සබ්රි

ශෂීන්ද්‍ර රාජපක්ෂ, සීතා අරඹේපොළ, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය චන්න ජයසුමන, ජීවන් තොණ්ඩමන් සහ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍ය ධුරවලට පත්කරන ලද මෙවර අලුතෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හෝ පත්කරන ලද මන්ත්‍රීවරුන්ය.

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ බොහෝ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාය. ඒ සඳහා අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂගෙන් කිසිදු මුදලක් අය නොකළ බව දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර හා හිටපු මහලේකම් දුමින්ද දිසානායකට රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවී තිබීම ද කැපී පෙනිණ.

පත්වීම් ලැබූ නව කැබිනට් අමාත්‍යවරුන්:

01. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

04. ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

10. ආර් සී බී රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

18. එස් එම් චන්‍ද්‍රසේන – ඉඩම් අමාත්‍ය

19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

23. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

24. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

25. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

26. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

පත්වීම් ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන්:

01. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

02. පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

03. දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

04. දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

05. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය

06. ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

07. අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය

08. නිමල් ලාන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

09. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

12. විදුර වික්‍රමනායක – ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ

13.ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය

14. විජිත බේරුගොඩ – දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය

15. ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

17. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

18. දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

19. විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

20. තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය

23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

24. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

25. සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

26. අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

27. සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

28. තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය

30. පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

31. ප්‍රසන්න රණවීර – වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය

32. ඩී වී චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

33. ඩී බී හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

34. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

36. ජීවන් තොණ්ඩමන් – වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

38. සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

39. චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here