බේරුට් නුවර දෙදරවූ පිපිරීමෙන් පුද්ගලයින් රැසකට තුවාල…

0
359
බේරුට් නුවර දෙදරවූ පිපිරීමෙන් පුද්ගලයින් රැසකට තුවාල…

ලෙබනනයේ බේරුට් අගනුවර විශාල පිපිරීමකින් විශාල හානියක් සිදුවී ඇති අතර පුද්ගලයින් රැසකට තුවාල සිදුවී ඇති බව බලධාරීහු පවසති.

නගරයේ වරාය ආශ්‍රිත ප්‍රදේශයේ පිපිරීම සිදුවී ඇතැයි වාර්තාවල දැක්වෙන අතර තහවුරු නොවූ දෙවෙනි පිපිරීමක් පිළිබඳව ද වාර්තා වේ.

විනාශ වී ගිය ගොඩනැගිලි හා විශාල හැත්තක් වැනි වූ දුම් වලාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ පළ වී ඇත.

මෙම පිරිරීම සිදුවුයේ සංවේදී කාල වකවානුවකදීය. එනම් හිටපු අගමැති රෆික් හරිරි 2005 වසරේදී මරාදැමීමට අදාළ නඩුවිභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදීය.

මෝටර් රථ බෝම්බයකින් හරිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනෙකුට අදාළ නඩුවිභාගය එක්සත් ජාතීන්ගේ අධිකරණයක් හමුවේ විභාග කෙරිණි. එහි තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දෙවෙනි පිපිරීමක් ලෙස වාර්තාවූ සිදුවීම හටගෙන තිබෙන්නේ බේරුට් නගරයේ පිහිටි හරිරි නිවසේදීය.

බේරුට් අගනුවර

ශ්‍රී ලංකා තානාපතිනියගේ අත්දැකීම

පිපිරීම පිළිබඳ බීබීසී සිංහල සේවයට විස්තර කළ ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කියා සිටියේ බේරූට් නුවර තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී තිබෙන බවය.

පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරිනි. එහෙත් එහි කම්පනය බොහෝ ප්‍රදේශයකට පැතිරී තිබේ.

“මම කාර් එකේ එනකොට කාර් එක එකපාරටම උඩට ඉස්සුණා. අපි හිතුව පිටිපස්සෙන් ආපු කාර් එක හැප්පුවා කියල. ඒත් පස්ස බැලුවම කාර් එකක් තිබුණේ නෑ. එතකොටම ගිනි බෝලයක් වගේ දෙයක් උඩ යනව දැක්ක.”

“ඊට පස්සේ පළාතම සුදු පාටින් වැහිලා ගියා. දැන් මුළු බේරූට් ම දුමාරෙන් වැහිලා.”

ශ්‍රී ලාංකිකයින් 25,000 ක් පමණ ලෙබනනයේ වාසය කරති. ඒ කිසිවෙකුටත් අනතුරක් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

පිපිරීම අසල්වැසි සයිප්‍රසයට පවා ඇසුණු බව එහි සිටින කොන්සල් ජනරාල්වරයා කී බවද තානාපතිනි ශානි කල්‍යාණරත්න සඳහන් කළාය.

“දැන් මුළු අහසම රතු පාට වෙලා,” ඇය විස්තර කළාය.

“එම්බසි එකේ ලොකු රෝලර් ශටර් එකක් තියෙනව ඒක ඇඹරිලා ගිහිල්ල. සමහර පැතිවල ලයිට් නෑ, අපිට ලයිට් තියෙනව.”

තානාපතිනියගේ සැමියා, ඇන්ඩෲ චින්නයියා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, තමන් නිවසේ උද්‍යානයේ වාඩි වී සිටින අතරවාරයේ එක්වරම පුටුවෙන් විසි වී ගිය බවය.

“මට මහා ලොකු ගිගිරුමක් වගේ සද්දයක් ඇහුණා. මම හිතුවේ ජෙට් එන්ජින් එකක් ද කියල. නැත්නම් අහස ගොරවනවද කියල. ඒ එක්කම මාව පුටුවෙන් විසි වෙලා වැටුණා.”

“ඊට පස්සේ මම දැක්ක සුදු පාට මොකක්ද මගේ පැත්තට එනවා වගේ,” ඇන්ඩෲ චින්නයියා පැවසීය.

බේරුට් සිතියම

මෙම සිදුවීම්වලින් බොහෝදෙනෙක් තුවාල ලද බව හා විශාල හානියක් සිදුවී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.

පුද්ගලයින් සුන්බුන්වල සිරවී ඇති ආකාරය ලෙබනන මාධ්‍යවල දැක්විණි. පළමු පිපිරීම කන් බිහිරි කරවන සුලු වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් විස්තර කළේය. සුන්බුන්ව ගිය මෝටර් රථ හා හානි වූ ගොඩනැගිලි ද වීඩියෝ දසුන්වල දක්නට විය.

මෙම අලුත්ම සිදුවීම වාර්තා වුයේ ලෙබනනය තුළ දේශපාලනික උණුසුම් බවක් මතුවෙමින් තිබියදීය. 1975-1990 අතර සිවිල් යුද්ධය පැවති සමයේ සිට මේ දක්වා මතුවූ දරුණුම ආර්ථික අර්බුදය ආණ්ඩුව හසුරුවන ආකාරයට එරෙහිව වීථි පුරා උද්ඝෝෂණ දියත්වෙමින් පැවතිණි.

එසේම ඊශ්‍රායලය සමග ඇති දේශසීමාවේ ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. සිය භූමියට ඇතුළුවීම සඳහා හිස්බොල්ලාහ් සංවිධානයේ සාමාජිකයින් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කරන ලද බව ඊශ්‍රායලය පසුගිය සතියේ පැවසීය.

හරිරි පිළිබඳ නඩු විභාගය කුමක් ද?

2005 වසරේ පෙබරවාරි මස 14 වෙනිදා උදෑසන බේරුට් නගරයේ හෝටල හා බැංකුවලින් පිරුණු කාර්ය බහුල ප්‍රදේශයක් හරහා රෆික් හරීරි රැගත් මෝටර් රථ පෙළ ඇදී යද්දී සිදුවූ පිපිරීමෙන් ප්‍රදේශයට දැඩි හානි සිදුවිය. පිපිරීම සිදුවන අවස්ථාවේදී හරිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විය.

හරීරි යනු ලෙබනනයේ සිටි වඩාත් ප්‍රමුඛ සුන්නි දේශපාලනඥයින් අතරින් අයෙකි. මරණයට පත්වන අවස්ථාව වන විට, එරට සිවිල් යුද්ධය ඇරඹුණු තැන සිට ලෙබනනයේ රැදී සිටි සිරියානු හමුදාවලට ඉවත්ව යන ලෙස නැගුණු ඉල්ලීම හා එක්ව සිටියේය.

මෙම ඝාතනය, සිරියාවට පක්ෂපාතී ආණ්ඩුවට එරෙහිව දහස් ගණන් උද්ඝෝෂකයින් වීථිවලට කැඳවාගෙන ඒමට හේතු වූ අතර එම ඝාතනය පිළිබඳ දෝෂාරෝපණය එල්ලවූයේ ලෙබනනයට වඩාත්ම බලපෑම් එල්ල කරනු ලබන අසල්වැසියා වන සිරියාවට ය.

සති දෙකක් තුළදී ආණ්ඩුව ඉල්ලා අස්වූ අතර ඉන් තවත් සති කිහිපයකට පසු සිරියාව සිය හමුදා ඉවත් කරගත්තේය.

සාක්ෂි රැස්කිරීමෙන් අනතුරුව, ලෙබනනය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව 2007 දී ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණය (STL – Special Tribunal for Lebanon) හේග් නුවරදී පිහිටුවාගනු ලැබුවේ අදාළ බෝම්බ පිපිරීම විමර්ශනය සඳහාය. අනතුරුව ඉරාන සහය ලබන හෙස්බොල්ලාහ් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනෙකුට ත්‍රස්තවාදය, ඝාතනය හා ඝාතනයට තැත්දැරීම පිළිබඳ චෝදනා ගොනු කෙරිණි.

ප්‍රහාරයට සම්බන්ධ පස්වැන්නා ලෙස සැලකුණු හිස්බොල්ලාහ් සංවිධානයේ හමුදා අණදෙන දෙන නිලධාරී මුස්තෆා අමීන් බරෙද්දීන් 2016 වසරේදී සිරියාවේදී ඝාතනය කෙරිණි.

හිස්බොල්ලාහ් ආධාරකරුවන් මෙම නඩුවිභාගය ප්‍රතික්ෂේප කර තිබුණේ අදාළ අධිකරණය දේශපාලනික වශයෙන් මැදහත් නොවන බව පවසමිනි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here