කොරෝනා වෛරසය: මාර්ගෝපදේශ නීතිගත කිරීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන කතාව…

0
433
කොරෝනා වෛරසය: මාර්ගෝපදේශ නීතිගත කිරීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන කතාව…

එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඒ බව කියා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

“මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කළත් ඒ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහාත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ පියවර ගැනීම සඳහාත් යම් නිලධාරියෙකුට බලය දිය යුතු වෙනවා. එහෙම නිලධාරියෙක් නැතිව ලියවිල්ලක් නිකුත් කළ විට එය කඩදාසියකට පමණක් සීමා වෙනවා. මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළත් එකයි නැතත් එකයි, එය පරීක්ෂා කිරීමට හෝ ඊට එරෙහිව කටුතු කිරීමට වගකිවයුතු නිලධාරියෙක් නැහැ,”

“උදාහරණයක් විදිහට මෝටර් රථ ආඥා පනත ශක්තිමත් කර, මෝටර් රථ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් ගෙදර යවනවා වගේ වැඩක්. පනත කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ, නීතිය බලාත්මක නොකර.” යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව පවසන පරිදී 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පත සඳහා බ්‍රහස්පතින්දා (ජුලි 16) නීතිපතිවරයාගේ ලිඛිත අවසරය හිමිව ඇත.

“එම රෙගුලාසිවලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම්, එසේම ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර නීතිපතිවරයා විසින් ඒ සඳහා ලිඛිත අවසරය ඊයේ දින ලබා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ඒ බව දැනුම් දී ඇත.” යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නිකුත් කල නිවේදනයක දැක්වේ.

A Chinese tourist (C), who was tested positive for the COVID-19 coronavirus and isolated for treatment, poses for photographs with Sri Lankan Health Minister Pavithra Wanniarachchi (front L) and medical staff after she was discharged from the main infectious diseases hospital near Colombo on February 19, 2020, following her recovery. - The 43-year-old woman, the first and only COVID-19 patient in Sri Lanka, was admitted to the hospital on January 25 and tested positive for COVID-19 two days later.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත් වුණේ ඇයි

සිකුරාදා (ජුලි 17) පස්වරු 12:30 සිට තම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කළේය.

කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් “මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොදෙන බවට සෞඛ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශයත් ඒ හමුවේ නීතිමය රැකවරණය රහිතව සිය රාජකාරී කිරීමට නොහැකි වීමත් පදනම් කරගෙන ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

“කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවම සම්පත් සහ මානසික පීඩනයන්ට යටත්ව ජීවිත අවදානම දරා ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල කැප කිරීමක් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය දිගින් දිගටම කෝවිඩ්-19 පාලනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළේ නැහැ. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළ නීතිමය බලතල නිරවුල් කර දුන්නේ නැහැ. මේ නිසා අපිට දිගින් දිගටම මහජනතාව ඉදිරියේ නීතිමය නොවන තත්ත්වයන්ට නිරාවරණය වෙන්න සිද්ධ වුණා.”

“අද පෙරවරුවේ මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍ය සෞඛ්‍ය ඇමතිනිය උපුටා දක්වමින් වාර්තා කළා මැතිවරණයට අදාළ සියලු මාර්ගෝපදේශ ගැසට් කරන්න කටයුතු කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලය ලබා දීමක් සිදු කරන්නේ නැහැ කියලා. එහි විශේෂයෙන් උපුටා දක්වා තිබුණේ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දෙන්නේ නැහැ කියලා,”

“ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව.” යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් කියා සිටියේය.

මොකක්ද මේ “නීතිමය රැකවරණය”?

election guidlines

කෝවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම තුළ රාජකාරි කිරීමේ දී සිය නිලධාරීන්ට නීතිමය රැකවරණයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

“දැනට බෝවන රෝග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන නීතිමය ලියවිල්ල 1897 අංක 03 දරන රෝග නිරෝධායනය සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනතයි. මේ පනත මූලික ලියවිල්ලක්. එක් එක් රෝග ආපු කාලවල ඒවා පාලනය කළ යුත්තේ කෙසේද, රෝගීන් රෝහල් ගත කරන ආකාරය, රඳවා තැබිය යුතු ආකාරය පිළිබඳ ගැසට් පත්‍ර මගින් මේ පනතට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා නීති වශයෙන්.”

“උදාහරණයක් විදිහට මදුරුවන්ගෙන් බෝවෙන රෝග වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. ඒ වගේම කොකු පණු රෝගය, මහාමාරිය වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. දැන් කොවිඩ්-19 කියන අලුත් රෝගයට ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. දින කීයක් නිරෝධායනය කල හැකිද, කැමැත්තක් නැතුව රෝහල් ගත කල හැකිද, කැමැත්තක් නැතුව සාම්පල ගන්න පුලුවන්ද, කැමැත්තක් නැතුව යම් ස්ථානයක රඳවා තැබිය හැකිද, යන කාරණා ඊට ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිමය රැකවරණයක් තිබිය යුතුයි,” යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

එසේ නොමැතිව ඉහත කී කරුණු ක්‍රියාත්මක කිරීමට යාමේ දී පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පමණක් නොව පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ද නීතිය ඉදිරියේ නිරාවරණය වන බව ඔහු පෙන්වා දෙයි.

“ඒ නිසා ඒ නීතිමය රැකවරණය සැපයීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.”

කෝවිඩ්-19 පාලනයට නීතිමය බාධා තිබේද?

A Sri Lankan female police officer wearing a face mask conducts temperature checks as Sri Lankan voters wearing face masks stand in line during a mock election ahead of the parliamentary election in Colombo, Sri Lanka, on June 20, 2020.

කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා දැනට ගෙන යන ක්‍රියාමාර්ග මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් අදාළ පියවර ගැනීම සඳහා වන නීති කඩිනමින් සකස් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ට නිර්දේශ කර ඇති බව උපුල් රෝහණ සඳහන් කරයි.

“එහෙම සකස් කිරීමක් සිදු වී නැහැ. පැහැදිලිවම අපි යම් පුද්ගලයෙකුගේ සංචරණය සීමා කරනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. අයුතු ලෙස යම් තැනක සිර කර තබනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. බලෙන් රෝහලක රඳවා ගෙන ඉන්නවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්.”

“ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් යම් දවසක මහජනතාව අතුරින් කවුරු හෝ කෙනෙක් නිලධාරීන්ට අභියෝග කළොත් ඒ නිලධාරීන්ට ඊට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැදිහත් වන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා,” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.

සෙනසුරාදා (ජුලි 18) ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීන්දු කිරීමට නියමිතය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here