ශ්‍රී ලංකාවේ ‘අවශේෂ වනාන්තර’ නිදහස් කිරීමේ ‘හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්’…

0
82
ශ්‍රී ලංකාවේ ‘අවශේෂ වනාන්තර’ නිදහස් කිරීමේ ‘හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්’…

‘අවශේෂ වනාන්තර’ ලෙස හඳුන්වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින හෙක්ටයාර ලක්ෂ 05ක් පමණ දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත පැවරීමට මහ මැතිවරණයක් ආසන්නයේ කැබිනට් මණ්ඩලය හදිසි තීරණයක් ගැනීම ගැටලුසහගත බව පරිසරවේදීහු පවසති.

අදාළ ඉඩම් පැවරීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස 2020.07.01 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පරිසර හා වනජීවී සම්පත් ඇමතිවරයාට දැනුම්දී ඇත.

තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී, ගොවි ජනතාවට සහන සැලසීම සඳහා බව පවසමින් 5/2001 චක්‍ර ලේඛය හදිසියේ අවලංගු කිරීමට උත්සාහ කිරීම සැකයට තුඩුදෙන බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පවතින ක්‍රමවේදය තුළ දුප්පත් ගැමි ජනයා පීඩාවට පත්වීම වැලැක්වීම සඳහා රජය මේ තීරණය ගත් බවය.

අවශේෂ වනාන්තර’ වල වටිනාකමක් තිබේද?

අවශේෂ වනාන්තර

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ප්‍රධාන ලෙස උපයෝගී කර ගනු ලැබේ. මීට අමතරව ජාතික උරුම වනභූමි පනත නමින් පනතක් ඇති අතර එමගින් ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ‘සිංහරාජය’ ලෝක උරුමය පමණි. මෙසේ ආරක්‍ෂිත ඉඩම් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රජයේ ඉඩම් වලට අමතරව කිසිඳු නීතිමය තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්කර නොමැති රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා හැඳින්වූ පොදු වචනය වුයේ ‘Other State Forest’ යන්න වේ.

එම වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී ‘වෙනත් රජයේ වනාන්තර’ යන නිවැරදි වචනය වෙනුවට ‘අවශේෂ වනාන්තර’ හෝ ‘අවශේෂ කැලෑ’ යන්න භාවිත කෙරෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේය.

නීතිඥ ජගත් ගුණවර්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතිඥ ජගත් ගුණවර්ධන

”අවශේෂ කියන වචනය දැක්කහම ගොඩක් අයට හිතෙන්නේ ආරක්ෂා කරන්න තරම් වටිනාකමක් නැති, ප්‍රයෝජනයක් නැති පැත්තකට දාල තියෙන වනාන්තර කොටස් කියලා. එවැනි අදහසක් සමාජගත කරන්නත් යම්යම් පාර්ශව උත්සාහ කරනවා. නමුත් මේ අවශේෂ රජයේ වනාන්තර තුළ තියෙනවා 1950 දශකයේ ඉඳලම රක්ෂිත විදියට යෝජිත වෙච්ච විශාල වනාන්තර සංඛ්‍යාවක්” යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.

ජෛව විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාප ද මීට අයත්වේ. ගංගා ඇළදොළ රක්ෂිත, ඇතැම් ජලපෝෂක ප්‍රදේශ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් අවශේෂ වනාන්තර තුළ දක්නට ලැබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව

අවශේෂ වන්තර ලෙස හඳුන්වන මෙම ඉඩම් අතීතයේදී දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු යටතේ පැවති අතර ඒවා වන සංරක්ෂණ දෙපාර්තම්න්තුව යටතට 2001 අගෝස්තු 10 වැනි දින පවරනු ලැබුවේ 5/2001 දරණ චක්‍ර ලේඛය මගිනි.

එම ඉඩම් නැවත දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස ජූලි 01 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පරිසර හා වනජීවී සම්පත් ඇමතිවරයාට දැනුම්දී තිබේ.

”කලින් ඒවායේ නියෝජිතයා තමයි දිස්ත්‍රික් ලේකම්වරයා. ඔහු යටතේ ප්‍රාදේශීය ලේකම්, රජයේ දේපලවල භාරකරු. එයාට පවරා දෙනවා මිසක් පුද්ගලික අංශයේ කාටවත් පවරා දීමක් වෙන්නේ නෑ. දැනට තියෙන ක්‍රමවේදය තුළ නිවසත්, සමහර වෙලාවට වැසිකිළිය වන සංරක්ෂණ ප්‍රදේශයට ගැසට් වෙලා. ඊළඟට හේන් ගොවිතැනක් කරගෙන ඉන්න අයට ලඳු කැලෑ ප්‍රදේශ අහිමිවෙලා” යනුවෙන් පැවසු ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉඩම් පරිහරණය සඳහා ඇති අවස්ථාව ගැමි ජනයාට ඇහිරී ඇති නිසා ඔවුන් පීඩාවට පත්ව සිටින බවය.

විශේෂයෙන් දකුණු පළාතේ ගොවි ජනතාවගේ ගැටලු සළකා බලා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මීට මැදිහත් වූ බව ජුලි 02 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණි.

හදිසි කැබිනට් තීරණය ගැන කුකුසක්”

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් මගින් ගන්නේ කඩිනම්, හදිසි තීරණ බැවින් මේ අවස්ථාවේදී ගෙන ඇති තීන්දුව ගැන කුකුසක් මතුවන බව නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

”සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පිහිටි වනාන්තර නොවන ඉඩම් බෙදා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් සඳහන් 2/2006 නමින් චක්‍ර ලේඛයක් දැනටමත් තියෙනවා. අපි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැර කවුරුවත් අද ඒ චක්‍ර ලේඛය ගැන කතා කරන්නේ නෑ.” යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේය.

පරිසරයට විය හැකි බලපෑම

රක්ෂිත ප්‍රදේශ අතර අඛණ්ඩ වන ආවරණයක් ඇති කරන අවශේෂ වනාන්තර හෙක්ටයාර ලක්ෂ පහකට පමණ එකවර නීතිමය ආරක්ෂාව අහිමි වුවහොත් එම ප්‍රදේශවල සිටින ජීවීන්ට මෙන්ම ඊට යාබදව පවතින රක්ෂිතවල ඇති ශාක සහ සතුන්ට ද විශාල බලපෑමක් සිදු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ප්‍රවේණි සහ අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

”පසුගිය දිනවල අලුතෙන් ජීව විශේෂ ගණනාවක් සොයා ගත්තේ මේ අවශේෂ වනාන්තර කියලා හඳුන්වන පරිසර පද්ධති වලින්. ලංකාවට අවේණික ජීවින් විශාල ප්‍රමාණයක් මෙම වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙනවා. ස්ථානීය ආවේණිකත්වය හෙවත් Point Endemism කියන තත්ත්වය පෙන්නුම් කරන, විශේෂ ස්ථානවල පමණක් ඉන්න විශේෂ රාශියක් මෙම ප්‍රදේශ තුළින් හමුවෙලා තියෙනවා.” යනුවෙන් ඇය පැවසුවාය.

ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර පෙන්වා දෙන්නේ අවශේෂ වනාන්තර පරිසර පද්ධති විනාශ වීම තුළ පරිසරයේ වායු සංතුලනය සහ ජල පෝෂක සිදීයාම වැනි කරුණු පිළිබඳ නිතර කතා කළ ද එමගින් ප්‍රවේණි විවිධත්වයට වන බලපෑම සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානය යොමු නොකරන බවය.

ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර

”මෙවැනි පරිසර විනාශ වුණොත් වාසස්ථාන අහිමිවීම වගේම වාසස්ථාන කුට්ටිකරණය [වාසස්ථාන හුදෙකලා වීම] කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එවිට සතුන්ට අභිජනනය සඳහා අවස්ථා සීමා වීම තුළ ජාන ගලනයට බාධා වෙන නිසා ගහනයක තියෙන වටිනා ලක්ෂණ සම්පූර්ණයෙන් තුරන් වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක අවසානයේ සිද්ධ වෙන්නේ එම සත්ත්ව ගහනය වඳ වී යෑමයි.” යනුවෙන් ඇය වැඩිදුරත් සඳහන් කළා ය.

05/2001 චක්‍රලේඛය අහෝසි වීම තුළින් වර්තමානයේ මධ්‍ය කදුකරය ආශ්‍රිතව සිදුවන කොටි මිනිස් ගැටලුව පවා ඉදිරියේදී තවත් උග්‍ර වියහැකි බව පරිසරවේදී සෙතිල් මුහන්දිරම් පවසයි.

”කඳුකර කොටීන් බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ සහ ගොදුරු බිම් ලෙස යොදා ගන්නේ මේ අවශේෂ වනාන්තර. බොහෝ දෙනා පහුගිය කාලේ කතා කරපු කළු කොටියා පවා බොහෝ දුරට වාසස්ථාන කරගෙන හිටියේ මේ ශේෂ කැලෑ. මේ කැලෑ විනාශ වීම තුළ ඔවුන්ගේ වාසස්ථාන සහ ආහාර අහිමිවී යාම තුළ උන් තව තවත් තේ වතු කරා පැමිණෙන්න පුළුවන්. ඒක මේ සතුන්ගේ වගේම මිනිසුන්ගේ ජීවිත වලටත් තර්ජනයක්.” යන්න ඔහුගේ අදහස වී තිබේ.

news.lk

විරෝධය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය සංවිධානයක් වන ‘වන සම්පත් සංරක්ෂකයිනේ වෘත්තීය සංවිධානය’ ද මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ හා ජනාධිපතිවරයාගේ අවධානයට කරුණු ඉදිරිපත් කර ඇත.

අවශේෂ වනාන්තර නිදහස් කිරීමට සමාජය මාධ්‍ය ඔස්සේ විරෝධය

එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ලලිත් ගමගේ පවසන්නේ වනාන්තර ලෙස කළමනාකරණය කළ නොහැකි ඉඩම් පමණක් මුදා හැරීම වෙනුවට අවශේෂ වනාන්තර සියල්ල සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදා හැරීම ගැටලු සහගත බවය.

”මේකෙන් වෙන්න පුළුවන් හානිකර තත්ත්වය ගැන අපි දැනටමත් බලධාරීන්ට දැනුම් දීලා තියෙන්නේ. මේක ප්‍රාදේශීය ලේකම්වරු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර ගැටලුවක් නෙමෙයි. වනාන්තරවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මෙතැනදී මතුවෙලා තියෙන්නේ.” යනුවෙන් ඔහු කියා සිටියේය.

5/2001 චක්‍ර ලේඛය අවලංගු කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැමැත්තක් නොමැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද පැවසීය.

මේ අතර 5/2001 චක්‍ර ලේඛය අවලංගු කිරීම සහ පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ MCC ගිවිසුම අතර සම්බන්ධයක් ඇති බවට ද අදහස් පළ වේ.

අවශේෂ වනාන්තර නිදහස් කිරීමට සමාජය මාධ්‍ය ඔස්සේ විරෝධය

2050 වන තෙක් දියත් කරමින් යන ජාතික භෞතික සැලසුමට සහ MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙන් රජයේ වනාන්තරවල ආරක්ෂාවට තිබූ 05/2001 චක්‍ර ලේඛය අහෝසි කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here