2011 ක්‍රිකට් ලෝක කුසලානය ‘පාවාදීමේ’ චෝදනාව ගැන පොලිස් පරීක්ෂණ නවතිද්දී ICC නිවේදනයක්…

0
556
2011 ක්‍රිකට් ලෝක කුසලානය 'පාවාදීමේ' චෝදනාව ගැන පොලිස් පරීක්ෂණ නවතිද්දී ICC නිවේදනයක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමන් වෙත ඉදිරිපත් වී නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අයිසීසී යේ දූෂණ විමර්ශන ඒකකය මූලික සලකා බැලීමක් කළ බව එම ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ අයිසීසී වෙත කිසිදු ලිපියක් යැවූ බවට කිසිදු වාර්තාවක් නොමැති බව පවසන ඇලෙක්ස් මාර්ෂල්, අමාත්‍යවරයාගෙන් එවැනි ලිපියක් ලද බවට මතකයක් නැතැයි අයිසීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද තහවුරු කරන බව සඳහන් කරයි.

එබැවින් 2011 ලෝක කුසලානයේ සම්බන්ධයෙන් සැක පහළ කිරීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වී තිබේ.

තරඟ පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් කිසියම් අවස්ථාවක අලුතෙන් සාක්ෂි ලැබුණහොත් ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ද ඇලෙක්ස් මාෂල් ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

චෝදනාව කුමක්ද?

තරඟ පාවාදීමේ චෝදනාව සම්බන්ධ විමර්ශන ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය ද පවසයි.

එබැවින් එම චෝදනාවට අදාළ විමර්ශනය නතර කරන ලද බව පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

2011 අප්‍රේල් දෙවෙනි දින ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය පාවා දී ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කියා සිටියේ, NewsFirst සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මම අද කියනවා 2011 ලෝක කුසලානය අපි වික්ක කියල,”

“අපි දිනන්න තිබුණ තරගේ මම කියනවා පාවාදීමක් කළා කියල.” ඔහු පැවසීය.

Skip Twitter post, 1

End of Twitter post, 1

ඉන් අනතුරුව පොලිසිය විසින් අලුත්ගමගේ හිටපු ඇමතිවරයාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගත් අවස්ථාවේ චෝදනාවට අදාළ ප්‍රධාන කරුණු 14 ක් ඔහු පොලිසියට හෙළි කර තිබේ.

ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, ඒ අවස්ථාවේ කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර සහ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ උපුල් තරංග කැඳවා පොලිසිය විසින් කරුණු විමසන ලදි.

පොලිස් පරීක්ෂණය අත්හිටුවේ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, අදාළ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි හෝ කිසිදු ලේඛනයක් එම මූලික විමර්ශනවලින් අනාවරණය නොවූ බවය.

“ඒ නිසා තවදුරටත් විමර්ශන ගෙනියන්න තරම් ප්‍රමාණවත් තොරතුරු නැහැ,” ඔහු පැවසීය.

ප්‍රකාශයක් සටහන් කිරීම පිණිස මහේල ජයවර්ධන සිකුරාදා (ජූලි 03) පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිය ද ඔහු ආපසු හරවා යවනු ලැබ තිබුණේ පසුව දිනයක කැඳවන බව පවසමිනි.

Skip Twitter post, 2

End of Twitter post, 2

ජාත්‍යන්තර කීර්තියට පත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පොලිසියට කැඳවා ප්‍රශ්න කරනු ලැබීම බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ සහ විරුද්ධ පක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයින්ගේ ද හෙලා දැකීමට ලක් වී තිබිණි.

හෙලා දකිති

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරනු ලැබීම හඳුන්වා දෙන්නේ හෝමාගම “ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය” ඉදි කිරීමේ සැලසුමට ක්‍රීඩකයින් විරුද්ධ වූ බැවින් ඔවුන් “විනාශ කිරීමේ” උත්සහයක් ලෙසිනි.

Skip Twitter post, 3

End of Twitter post, 3

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් බේරා ගැනීම පිණිස එක්වන මෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Skip Twitter post, 4

End of Twitter post, 4

නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, තමන් එදා මෙන්ම අදත් පොලිසිය ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බවය.

‘යහපාලන’ රජය සමයේ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පොලිසිය ප්‍රශ්න කළ අවස්ථාවෙදීත් තමන් එයට විරෝධය පළ කළ බව ඔහුගේ ට්විටර් සටහනේ දැක්වේ.

Skip Twitter post, 5

End of Twitter post, 5

ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවාදීම සම්බන්ධ චෝදනාව පිළිබඳ පොලිසිය විසින් විමර්ශන පවත්වනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යධුරය දරන සමයේ සම්මත කරන ලද ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ නීතිය පදනම් කරගෙනය.

2011 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා 2019 දී සම්මත කරගත් නීතියක් යොදාගත නොහැකි බවට නීති තර්කයක් මතු වූ අතර, විමර්ශනය අත්හැර දැමීමට එය තවත් හේතුවක් වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.

Skip Twitter post, 6

End of Twitter post, 6

පොලිසියේ තීරණය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ‘ජනතා බලය’ හමුවේ දණ ගැසීමට ආණ්ඩුවට සිදු වී ඇති බවය.

ක්‍රීඩකයින්ගේ ප්‍රතිචාරය

2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2017 ජුලි මාසයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එවක කැබිනට් අමාත්‍ය පදවියක් දැරූ අර්ජුන රණතුංග පැවසුවේ ලෝක කුසලාන අවසාන මහා තරඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිසි විමර්ශනයක් පැවැත්විය යුතු බවය.

සංගක්කාර බීබීසී මැදිරියේ

ඒ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර ප්‍රසිද්ධ වාදයක නියැළුණු අතර, ඒ අවස්ථාවේ (2017 ජුලි මාසයේ) ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සජීව සංවාදයක නිරත වූ කුමාර් සංගක්කාර අවසාන මහා තරගය පාවාදීමේ චෝදනාව සහ අර්ජුන රණතුංග පළ කළ අදහස් සම්බන්ධයෙන් ද සිය මතය පැහැදිලි කළේය.

“විශේෂයෙන් 1999 න් පස්සේ, ක්‍රීඩකයින් සෙල්ලම් කරද්දී සෑම තරගයකම, සෑම ක්‍රීඩාංගනයකදීම ඒ ICC anti corruption unit එකේ කට්ටිය ඉන්නවා. අපි ඉන්න හෝටල්වලත් ඉන්නවා. අපි කතා කරන්නේ හම්බවෙන්නේ කවුද කියල ඔවුන් බලන් ඉන්නවා. ඒ වගේම තමයි ඕනෑම අවස්ථාවක ඔවුන්ට සැකයක් තිබුණොත් ඔවුන් ඒ ගැන සොයා බලනවා,” කුමාර් සංගක්කාර පැවසීය.

“ඉතින් මේගොල්ලන්ටත් නැති දත්ත අර්ජුන රණතුංග මහත්තය හෝ වෙන කාගේ හරි ළඟ තියෙනව නම් මම හිතන්නේ ඔවුන්ගේ වගකීමක් තියෙනව මේ අයිසීසී එකේ මේ ඉන්න කට්ටියට භාරදීලා, මට සැකයක් තියෙනව හොයල බලන්න කියල කියන්න. ක්‍රීඩකයන්ටත් ඒ වගේ වගකීමක් තියෙනව.”

එසේ සොයා බැලීම “ඉතාම හොඳ දෙයක්” බව ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයාගේ ස්ථාවරය විය.

අවසාන මහා තරගයේදී කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මාරු කිරීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් ද කුමාර් සංගක්කාර සවිස්තරව කරුණු දැක්වීය.

ඒ අවස්ථාවේ ඇන්ජලෝ මැතිවුස් සහ මුත්තයියා මුරලිදරන් දෙදෙනාම ආබාධිතව සිටි බව සිහිපත් කළ ඔහු, ක්‍රීඩකයන් සිව් දෙනෙකු ආදේශ කළේ තේරීම් කමිටු සභාපතිවරයා, කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනාගේ අනුමැතිය සහිතව බවද සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේ දී කුමාර් සංගක්කාර වැඩිදුරටත් කියා සිටියේ, තරඟය පරාජය වීම ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද වේදනාවක් බවය.

 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here