ජෝර්ජ් ෆ්ලොයිඩ්: “අපි නතර වෙන්නේ නැහැ; තොපේ දණහිස අපේ බෙල්ලෙන් ඉවත්කර ගනිව්!”….

0
428
ජෝර්ජ් ෆ්ලොයිඩ්: "අපි නතර වෙන්නේ නැහැ; තොපේ දණහිස අපේ බෙල්ලෙන් ඉවත්කර ගනිව්!"....

කළු ජාතික හතළිස් හය හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතුව ඇමෙරිකානු සමාජයේ පැතිර පවතින “වර්ණභේදවාදී වසංගතය” බව ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් පවසයි.

එම නීතිවේදියා එකී ප්‍රකාශය කළේ, ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වුණ සමරු වැඩසටහනකට සහභාගිවූවන් අමතමිනි.

පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 04) පැවැත්වුණ එම සමරු මෙහෙයට සහභාගි වූ ජනතාව මිනිත්තු අටකුත් තත්පර හතළිස් හයක් නිහඬතාවයේ ගිලී සිටිමින්, ෆ්ලොයිඩ් වෙනුවෙන් උපහාරය පළ කළහ.

එම කාල නියමය අනුගමනය කරන ලද්දේ, ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔහුට මරණය කැඳවූ පොලිස් නිලධාරියාගේ දණහිසට සිය ගෙල සිරව සිටි කාල පරාසය සංකේතවත් කරමිනි.

එපරිද්දෙන් ඔහුගේ ජීවිතයේ අවසානය සලකුණු කෙරුණේ පසුගිය මැයි 25 දින (25 May) ඔහු ‘මිනසෝටා’ ප්‍රාන්තයේ ‘මිනිඅපොලිස්’ නගරයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණ අවස්ථාවෙහිය.

සිය ගණනක් සහභාගි වූ ඉහත කී සමරු මෙහෙයේ දී සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධර අල් ෂාර්ප්ටන් (Rev Al Sharpton) පූජකවරයා විසින්, මරණකරුගේ ජීවිතය අගයමින් පවත්වන ලද ‘ප්‍රශංසා’ (eulogy) ආගමික දේශනයකට සවන් දීමට ද එහි රැස්ව සිටි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

“තොපේ දණහිස අපේ බෙල්ලෙන් ඉවත්කර ගනිව්!” යනුවෙන් හඬ නැගීමට කාලය උදා වී ඇතැයි පූජකවරයා කියා සිටියේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට මරණය කැඳවන ලද ආකාරය දැක්වෙන වීඩියෝ පටයත් සමඟ ඇවිස්සුන මහජන කෝපයත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර, උපනගර ඔස්සේ රටපුරා මහා විරෝධතා රැල්ලක් පැතිර යන්නට පටන් ගත්තේය.

එම සමරු මෙහෙය පැවැත්වුණ ස්ථානයට මඳක් ඈතින් එම අවස්ථාවේ තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. එනම්, ජෝර්ජ්ගේ මරණය සිදුකළ ඔහුගේ ගෙල සිරකර ගෙන සිටි පොලිස් නිලධාරියාට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා ලබන සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා පළමුවරට අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබීමය.

විනිසකරු ඔවුන් තිදෙනා ඩොලර් දස ලක්ෂයක ($10,00000) ඇප මත මුදා හැරීමට තීන්දු කළ අතර, එහෙත් චූදිතයන් ඔවුන් සතු තුවක්කු වේනම්, ඒවා බලධාරීන්ට භාර දෙන අතරවාරයේ සෙසු කොන්දේසි සපුරාලන්නේ නම්, එම ඇප මුදල ඩොලර් $7,50000කට අඩුකරන බවත් ප්‍රකාශයට පත් කළේය.

“මට හුස්ම ගන්න අමාරුයි!” යනුවෙන් දිගින් දිගට ම කියද්දීත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ගෙල දිගට ම සිය දණහිසෙන් සිරකර ගෙන සිටි ඩෙරික් චෝවින් (Derek Chauvin) පොලිස් නිලධාරියාට එරෙහිව ”කලින් සැලසුම් කොට සිතාමතා සිදු නොකරන ලද” මිනීමැරීමේ චෝදනා යටතේ (second-degree murder) චෝදනා ගොනුකරනු ලැබ ඇති අතර, ඔහු සඳුදා (ජුනි 08) අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතව තිබේ.

Derek Chauvin, Tou Thao, J. Alexander Kueng, Thomas Lane
චුදිතයින් සිව් දෙනා

ජෝර්ජ්ගේ මරණින් පසු සතියකටත් අධික කාලයක් දියත් කෙරෙමින් පැවති මහජන විරෝධතා ව්‍යාපාරවලින් අතිබහුතර සංඛ්‍යාවක් පැවැත්වුනේ සාමකාමී මුහුනුවරකිනි. එහෙත් ඇතැම් විරෝධතා ව්‍යාපාර ප්‍රචණ්ඩ අතට හැරුන අතර, ඒවා කැරලිගැසීම් තෙක් දුරදිග යාමත් සමග නගර ගණනාවක ඇඳිරි නීතිය පවා ප්‍රකාශයට පත්කිරීමට සිදු විය.

‘නොනවතින ගමනක්’

පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 04) සමරු මෙහෙයේ දී අදහස් දැක්වූ නීතිවේදී බෙන්ජමින් ක්‍රම්ප් ( Benjamin Crump) “ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දමන ලද්දේ කොරෝනාවෛරසය මගින් නොවන බව” කියා සිටියේය.

“ජෝර්ජ් මරා දමන ලද්දේ වෙනත් වසංගතයක් විසින්. එය වර්ණභේදවාදී සහ මිනිසුන්ට වෙනස්කම් සිදුකරනු ලැබීමේ වසංගතයයි,” නීතිවේදියා අවධාරණය කළේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයන්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධර පූජක ජෙසී ජැක්සන් (Jesse Jackson), මිනසෝටා ආණ්ඩුකාර ටිම් වොල්ෂ් (Tim Walz), මිනසෝටා සෙනෙට් සභික ඒමි ක්ලෝබුචර් (Amy Klobuchar), සහ ‘මිනිඅපොලිස්’ නගරාධිපති ජේකබ් ෆ්‍රේ (Jacob Frey) ඇතුළු සිය ගණනක් ජනතාව එම නගරයේ ‘නෝර්ත් සෙන්ට්‍රල්’ සරසවියෙහි පැවැත්වුණ සමරු මෙහෙයට සහභාගි වෙමින් සිටියහ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදර ෆිලනීස් ෆ්ලොයිඩ් (Philonise Floyd) එම සමරු මෙහෙය අමතමින්, සිය පවුල පසු වූ දිළිඳු තත්වය විස්තර කරමින්, තමා සහ තම සහෝදරයා තුරුණු වියේ දී නිවසේ අත් සහ පිඟන් සෝදන වතුර බේසමෙන් (sink) රෙදි සෝදා ඒවා කෑම පිසින උදුනේ වේලාගත් ආකාරය සිහිපත් කළේය.

“ඔහු ආකර්ෂණීය මිනිහෙක්. මේ ඔක්කොම ජනතාව ඇවිත් ඉන්නේ මගේ සහෝදරයා බලන්න. එය පුදුම සතුටක්! මගේ සහෝදරයා බොහෝ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළා,” ෆිලනීස් ෆ්ලොයිඩ් වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අතරවාරයේ ප්‍රකාශයක් කළ අල් ෂාර්ප්ටන් පූජකවරයා ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය වෙනුවන් වගකීම භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

“අපි නතර වෙන්නේ නැහැ!” පූජකවරයා අවධාරනයෙන් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය පුරා සෑම තැනකම ව්‍යාප්ත වෙමින් පවතින විරෝධතා ව්‍යාපාර ගැන සඳහන් කරමිනි.

“යුක්තියට අදාළව සමස්ත ක්‍රමයේ වෙනසක් අපි සිදුකරන තෙක් අපි අපේ ගමන දිගටම පෙරට ගෙන යනවා,” ඔහු සඳහන් කළේය.

ඉතා සංවේදී කතාවක් කළ අල් ෂාර්ප්ටන් පූජකවරයා, ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ කතාව ඇමෙරිකානු කළු ජනතාවගේ කතන්දරයේ ප්‍රතිරාවයක් බව පෙන්වා දුන්නේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ ඉරණම අලුත් දෙයක් නොව, එය අධ්‍යාපන සහ සෞඛ්‍යය සේවාවන් ඇතුළු ඇමෙරිකානු ජන ජීවිතයේ හැම අංශයකම,හැම දවසකම සිදුවෙමින් පවතින යතාර්ථය යයි සඳහන් කළ පූජකවරයා,ජෝර්ජ්ගේ නාමයෙන් නැගී සිටිමින්, ”තොපේ දණිස අපේ බෙල්ලෙන් අයින්කර ගනිල්ලා,” යයි හඬ ගෑමට දැන් කාලය පැමිණ ඇතැයි කියා සිටියේය.

George Floyd's nephew Brandon comforts his cousin Shareeduh Tate

ජෝර්ජ් උපන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ඔහු වෙනුවෙන් සමරු වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, ඔහුගේ ගම ලෙස සැලකෙන ‘යූස්ටන්’ වෙතින් ද පසුගිය සතියේ සඳුදා එවැනි වැඩසටහනක් වාර්තා විය.

බරක් ඔබාමා සහ මේගන් මාකල්

පසුගියදා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මගින් නිර්මාණය කරන ලද ‘ගතිකත්වය’ ඉදිරි පරිවර්තනයක් සඳහා බද්ධ කරනු ලැබීම අතිශයින් වැදගත් කරුණක් වන බව හිටපු ජනාධිපති බරක් ඔබාමා පෙන්වා දෙයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණින් අනතුරුව පළමුවරට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වූ බරක් ඔබාමා, එම විරෝධතා ව්‍යාපාර ඔහුගේ ජීවිත කාලය තුළ දුටු අන් ඕනෑම දෙයක් මෙන් ගැඹුරක් සහිත සිදුවීමකැයි කියා සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ ඔබාමා සමාජයේ පවතින බරපතල ප්‍රශ්න සමඟ ගනුදෙනුවක් සඳහා මේ අවස්ථාව උපයෝගි කර ගන්නා ලෙස ඉල්ලීමක් ද කළේය.

බලය පාවිච්චි කරමින් විරෝධතා මැඩලීමේ පිළිවෙත ගැන යළි සලකා බලන ලෙස බරක් ඔබාමා ඇමෙරිකාව පුරා නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටි නමුත්, ජනාධිපති ට්‍රම්ප් විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කරන ලද ආකාරය ගැන කෙලින්ම අදහස් දක්වා නැත.

“නිතරම මෙන් ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කෙරෙන්නේ අපට සේවය කරනු ඇතැයි, අප ආරක්ෂා කරනු ඇතැයි විශ්වාසය තබන කණ්ඩායම් අතින්,” බරක් ඔබාමා පෙන්වා දුන්නේය.

“මට අවශ්‍ය කරන්නේ ඔබට වටිනාකමක් ඇති බව පෙන්වා දීම. ඔබේ ජීවිතවලට වටිනාකමක් ඇති බව පෙන්වා දීම. ඔබේ බලාපොරොත්තුවලට වටිනාකමක් තියෙනවා.”

ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණය සම්බන්ධයෙන් මේගන් මාකල් ‘සසෙක්ස්’ ආදිපාදවරියත් පෞද්ගලික පණිවුඩයක් නිකුත් කර ඇත. ජෝර්ජ්ගේ ජීවිතයටත් ‘වටිනා කමක් ඇතැයි සඳහන් කරන ආදිපාදවරිය, පසුගිය දා දියත් වූ විනාශකාරී ක්‍රියා ගැනත් සඳහන් කරන්නීය.

ෆ්ලොයිඩ් මරණයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මහජන විරෝධතා ව්‍යාපාර පැතිර යාමට සමගාමීව ලෝකයේ වෙනත් රටවල ද එවැනි උද්ඝෝෂණ දියත් වෙන්නට විය.

පසුගිය සතියේ බදාදා ඕස්ට්‍රේලියාව, ප්‍රංශය,නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය ආදී රටවලින් එවැනි මහජන උද්ඝෝෂණ වාර්තා විය. ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයට දහස් ගණනක් ජනතාව සහභාගී වූහ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු කෙරුනේ එවැනි මහජන ආන්දෝලනයට තුඩුදුන් තවත් කළුජාතික මරණ කීපයකින් අනතුරුවය.

මිසෝරි ප්‍රාන්තයේ ෆර්ගියුසන් නගරයේ දී පොලිස් අත්අඩංගුවේ මරණයට පත් මයිකල් බ්‍රවුන්,නිව්යෝර්ක් හි එරික් ගාර්නර්ගේ මරණය සහ තවත් එවැනි මරණ කළු ජාතිකයන්ගේ ජීවිත වටිනාකමක් ඉල්ලා සිටින ‘Black Lives Matter movement’ සංවිධානය ගොඩ නැගීමට පවා හේතු විය.

ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ කෝපයට පත් බොහෝ ජනයා විසින් පිළිබිඹු කරන ලද්දේ සමාජ-ආර්ථික අසමානත්වය සහ වෙනස්කම් කිරීමට ගොදුරුවීම නිසා පත්ව සිටින අපේක්ෂාභංගත්වයයි.

එවැනි පසුබිමක් යටතේ ඔවුහු සිය විරෝධය පළ කරමින් සිටියේ ඇඳිරි නීතිය පවා නොසලකමිනි.

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ වැනි නගරවල මහජන විරෝධතා ව්‍යාපාර බෙහෙවින් සාමකාමී වූ අතර, එහි ප්‍රචණ්ඩ මුහුණුවර අවසන් යයි තක්සේරු කරනු ලැබීමෙන් අනතුරුව එකී නගරයන්හි බලපැවැත්වූ තහංචි ළිහිල් කරනු ලැබුණි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින්, ඔහු අප්‍රේල් මස මුල කොරෝනා ආසාදනය වී සිටි බවක් ද අනාවරණය විය. එහෙත් එම තත්ත්වය ඔහුගේ මරණය කෙරෙහි බලපෑමක් නොවූ බව නිලධාරීහු අවධාරණය කරති.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here