කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ‘සේවක කප්පාදුවක්’ ගැන චෝදනා…

0
628

කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ‘සේවක කප්පාදුවක්’ ගැන චෝදනා…

කොරෝනාවෛරස් වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සමාගම්වල ‘සේවක කප්පාදුවක්’ සිදුවීමේ අවදානමක් පවතින බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය චෝදනා කරයි.

එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ, ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයින් පිළිබදව අවධානයක් යොමු නොකරන බවය.

“මේ රටේ ජනතාව අතරින් ලක්ෂ 60ක් විතර සේවය කරන්නේ පෞද්ගලික අංශයේ. ඒ සේවකයින්ගේ රැකියාවල සුරක්ෂිතභාවය ගැන මේ ආණ්ඩුව අවධානයක් යොමු කරල නෑ. ආණ්ඩුව වගකීමක් හැටියට මේ ප්‍රශ්නය දිහා බලන්නේ නෑ. විශේෂයෙන් ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සමාගම්වල මේ අවදානම වැඩියි,” කේ. ඩී. ලාල්කාන්ත චෝදනා කළේය.

ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි අවස්ථාවක ජාතික කම්කරු උපදේශන සභාව රැස්විය යුතු බවය.

“මේකට මේ වෙලාවේ කරන්න තියෙන හොද ම දේ ජාතික කම්කරු උපදේශන සභාවක් කැදවන එක. ඒ සභාව සියලු පාර්ශව නියෝජනය කරන නිසා හාම්පුතුන්ගේ ප්‍රශ්න වගේ ම සේවකයින්ගේ ප්‍රශ්නත් කතා කරල එකගතාවකට එන්න පුළුවන්. ඒත් මේ ආණ්ඩුව ඒ ගැන කිසි ම පියවරක් ගන්න බවක් පේන්නේ නෑ,” ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා චෝදනා කළේය.

bbc

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වීය.

“අපි මේ ගැන මූලිකව අවධානය යොමු කරලා තියෙනවා. ඇත්ත වශයෙන් ම මේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා පවත්වමින් ඉන්නවා. අපි ආයෝජකයින්ගේ ගැටලු වගේ ම සේවකයින්ගේ ප්‍රශ්න ගැනත් අවධානය යොමු කරනවා. මේ ප්‍රශ්නවලට නිසි විසදුම් දෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා,” ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.

ජනාධිපති සහ අගමැතිවරයා කම්කරුවන් පිළිබදව දැක්වූ අදහස්

“අපේ රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුව ද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාළ කර නැත. අඩාළ වීමට ඉඩ හරින්නේ ද නැත. එසේ ම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරයි,” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ පණිඩුඩයේ සදහන් කර තිබිණි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිකුත් කළ මැයි දින පණිවුඩයේ දැක්වුණේ, “කොවිඩ් -19 වසංගතය වැඩකරන ජනතාවගේ අනාගතයට බලපාන බව නොසඟවා කිව යුතුය,” යනුවෙනි.

“වැඩකරන ජනතාවට බලපාන කර්මාන්ත හා ව්‍යවසායන් රැකීමට අවශ්‍ය බදු සහන ලබා දීමට ද මේ දුෂ්කර අවස්ථාවේ අපි කටයුතු කළෙමු.” යනුවෙන් ද එම පණිවුඩයේ සදහන් විය.

“අපනයන කලාපවල සේවකයින් බොහෝ පිරිසක් ඉවත් කරලා”

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ අපනයන කලාප ආශ්‍රිතව පිහිටි කර්මාන්තවල සේවකයින් “බොහෝ පිරිසක් ඉවත් කර ඇති” බවය.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ෆේස්බුක්හි පළ කළ ප්‍රකාශයක මේ සම්බන්ධයෙන් සදහන් කර තිබිණි.

“අපේ රටේ අපනයනවලින් සියයට 44ක් නිෂ්පාදනය කරන්නේ අපනයන කලාප වල. ශ්‍රම බලකාය සියයට 33ක් මේ තුළ නියැලී ඉන්නවා. තව සියයට 15ක් කොන්ත්‍රාත් පදනමින් සේවය කරනවා. ඔවුන් බොහෝ පිරිසක් ඉවත් කොට තිබෙනවා. අනියම් සේවකයන්, මෑන් පවර් ආයතනවලින් ලබාගත් සේවකයන් ඉවත්කොට තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කර්මාන්ත අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසීය.

ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හරහා දත්ත ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

“කම්කරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දත්ත ලබා ගනිමින් ඉන්නවා. මේ වසංගත තත්ත්වය හමුවේ බලපෑමට ලක්වුණ ආයතන තියෙනවා නම් ඔවුන්ට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. ඒ දත්ත අනුව අපි සොයා බලලා අවශ්‍ය සහන සලසන්න ක්‍රියා කරනවා. දැනට සේවක කප්පාදුවක් සිදුවෙන බව කියන්න අමාරුයි.”

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම සමීක්ෂණය හරහා “මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසු වන,” බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය පවසන්නේ, සියලු පෞද්ගලික ආයතන විසින් මෙම සමීක්ෂණයට අදාළ පෝරමය කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk අඩවියට පිවිස ඔන්ලයින් හරහා සම්පූර්ණ කොට කම්කරු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු බවය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here