පාස්කු ප්‍රහාරයට වසරයි: වසරකට පසු වින්දිතයින් කරන ‘එක ම ඉල්ලීම’…

0
880

පාස්කු ප්‍රහාරයට වසරයි: වසරකට පසු වින්දිතයින් කරන ‘එක ම ඉල්ලීම’…

පුද්ගලයින් 250ට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් පාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද (අප්‍රේල් 21) වන විට වසරක කාලයක් ගත වී තිබේ.

2019 අප්‍රේල් මස 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් බවට මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පත්විය.

දේවස්ථානයේ පාස්කු ඉරු දින දේව මෙහෙයට සහභාගි වී සිටි බැතිමතුන් සිය ගණනක් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.

කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ මීසම් සාමාජික සිසිර ප්‍රනාන්දු ද සිය බිරිද සමග එම දේව මෙහෙයට සහභාගි වී සිටියේය. වසරකට පෙර තමාගේ ඇස් ඉදිරියේ සිදුවූ ඛේදවාචකය පිළිබදව ඔහු බීබීසී සිංහල සේවයට විස්තර කළේ මෙසේය.

“මමයි බිරිදයි දෙන්න ම ඒ වෙලාවේ පල්ලිය ඇතුළේ හිටියා. මගේ බිරිදගේ ඔළුවට උළු කැට කිහිපයක් කඩාගෙන වැටුණා. මටත් සුළු තුවාල වුණා. ඒත් අපි දෙන්නා අපේ තුවාල අමතක කරලා වැටිලි හිටිය අය නැගිට්ටන්න උත්සහ කළා. අපේ ගමේ අසල්වැසියෝ අපි ඉස්සරහ ඇදගෙන වැටෙනවා දකිනකොට ඇති වුණ හැගීම විස්තර කරන්න අමාරුයි,” සිසිර ප්‍රනාන්දු පැවසීය.

සිසිර ප්‍රනාන්දු සහ බිරිද
සිසිර ප්‍රනාන්දු සහ බිරිද

කටුවාපිටියේ අද තත්ත්වය කෙබදු ද?

මීට වසරකට පෙර එක ම මළ ගෙයක් වූ කටුවාපිටිය ගම්මානයේ වාසය කරන්නන්ගේ ජීවිත මේ වන විට ගත වන්නේ කෙසේ දැයි අපි සොයා බැලුවෙමු.

getty

කටුවාපිටිය කතෝලික දේවස්ථානයේ මීසම් සාමාජික සිසිර ප්‍රනාන්දු පැවසුවේ, බෝම්බ ප්‍රහාරයට ජීවිත දුන් පුද්ගලයින් වෙනුවෙන් මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවය.

“අපේ දේවස්ථානයේ මිය ගිය අය එකසිය ගණනක්. ඒ අයට සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ කියන්නේ ප්‍රධාන වශයෙන් ම ඊට සම්බන්ධ වුණ අය, අරමුදල් සපයපු අය කවුද කියල තාම හොයාගෙන නෑ. හැබැයි මේ රජය මේ වෙනකොට පරීක්ෂණ හොදින් කරගෙන යනව කියල හිතෙනවා. අද හෙට ම ඒ ගැන හෙළිකරීමක් සිදුවෙයි කියල ජනතාවට බලාපොරොත්තුවක් තියෙනවා.”

සිසිර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇතැමුන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

“සමහර දෙනෙක් තාමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. තවත් පිරිසක් මානසිකව අඩපණ වෙලා ඉන්නවා තාමත්. කාදිනල් තුමාගේ මැදිහත් වීමෙන් මේ ජනතාවට සහ කුඩා දරුවන්ට අනාගතය වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් සිදුකෙරෙනවා.”

පාස්කු ප්‍රහාරය එල්ලවී වසරක් ගත වන මොහොතේ කටුවාපිටිය වැසියන්ගේ ‘එක ම ඉල්ලීම’ කුමක් දැයි සිසිර ප්‍රනාන්දු පැහැදිලි කළේය.

“ගමේ හැමෝ ම ඉල්ලන්නේ එක දෙයයි. ඒ, මේ ප්‍රහාරවලට සම්බන්ධ අය හොයල ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙන්න කියන ඉල්ලීමයි. අපිට සාධාරණයක් කරනවා නම් ඒ ඉල්ලීම ඉටු විය යුතුයි.”

පරීක්ෂණවල වත්මන් තත්ත්වය

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලීසිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක්, අප්‍රේල් 14 වන දා රාත්‍රියේ පුත්තලමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, අවුරුදු 40 සහ 41 යන වයස්වල පසුවන පුත්තලමේ පදිංචිකරුවෝ වූහ.

පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න
පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් සොයාගැනීම් ඔස්සේ නැවත විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පළමු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු යම් දිනක නැවත බෝම්බ ප්‍රහාර මාලවක් එල්ල කිරීම සඳහා සැලසුම් කර තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඉරිදා (අප්‍රේල් 19) ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් අහිමි වුණා. සිය ගණනක් ආබාධිත වුණා. රට ඛේදනීය තත්ත්වයකට පත් කළ යම් කිසිවෙක් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොලීසියේ පරම යුතු කම වෙනවා. මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු පරීක්ෂණ නව මුහුණුවරක් ඔස්සේ සිදු කරගෙන යන්නේ. ප්‍රමාණවත් සාක්ෂි මතයි අත් අඩංගුවට ගැනීම් කර තිබෙන්නේ. විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා, යම් යම් සංවිධාන ඇති කරල, එම සංවිධානවලට නායකත්වය දෙමින් කටයුතු කළ තැනැත්තන් පිළිබඳව. මේ සංවිධානවලට මුදල් සැපයූ අය ඉන්නවා, නායකත්වය දුන් අය ඉන්නවා.”

“මේ රටේ පළමු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු යම් දිනක නැවත බෝම්බ මාලවක් සිදු කිරීම සඳහා සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. එම සැලසුම් ව්‍යර්ථ කිරීමට විමර්ශනවලට හැකි වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. විමර්ශන පුළුල්ව සිදුකරගෙන යනවා,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පැවසීය.

මේ අතර, පාස්කු ප්‍රහාරය එල්ලවූ සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන පසුගිය අප්‍රේල් 12 වන දා සිය ෆේස්බුක් පිටුවේ පැහැදිලි කිරීමක් කර තිබිණි.

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු වාර්තාවෙන් නිර්දේශ අටක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව 2019 ඔක්තෝබර් 23 වන දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි.

එම වාර්තාව තුළින් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් ඉදිරිපත් කර තිබිණි.

  1. ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ
  2. ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම
  3. ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව
  4. අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම : නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම
  5. වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව
  6. මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර
  7. දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම
  8. නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ

පාස්කු ප්‍රහාරය

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් පිරිස 250ට අධිකය.

තවත් පන්සීයකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබූහ.

ඒ සමග තවත් ප්‍රහාරකයන් සිටීදැයි සොයා රට පුරා ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහිදී අවි ආයුධ සහ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට පත් විය.

ප්‍රහාරයෙන් අනතුරුව හටගත් උණුසුම්කාරී තත්ත්වය හමුවේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් විරෝධී ප්‍රහාර එල්ල වූ අතර එහිදී එක් මුස්ලිම් වැසියෙක් මරණයට පත් විය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here