කොරෝනා වෛරසයේ ආරම්භය සහ මරණ සංඛ්‍යා ගැන චීනය කියන්නේ ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි…

0
997

කොරෝනා වෛරසයේ ආරම්භය සහ මරණ සංඛ්‍යා ගැන චීනය කියන්නේ ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි…

ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය

කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි.

වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය.

එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත.

ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් “බලවත් අප්‍රසාදය” පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය.

උද්ගත වූ ආරාවුල “වැරදි වටහාගැනීමක්” යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි.

A man wearing a protective suit checks a woman's temperature next to a residential area in Wuhan, in China"s central Hubei province on April 7, 2020.

“ප්‍රංශය කොරෝනාවෛරස් වසංගතය හමුවේ එය මැඩලීමට පොර බදමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිදු නාස්තික ප්‍රකාශයක් තමන් සිදුකර නැතැයි” පවසන චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන් (Zhao Lijian) “එවැන්නක් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති” බවත් කියා සිටියේය.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ එම අදහස් දැක්වීම සිදු කෙරුණේ, කොවිඩ්-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව චීනය විසින් නැවත සංශෝධනය කරනු ලැබීමත් සමඟය.

බීජිං බලධාරීන්ගේ අලුත් ප්‍රකාශන අනුව වෛරසයට ගොදුරුවීමෙන් වූහාන් හි තවත් 1,290 ක් මරණයට පත්ව ඇත.

කොරෝනා මරණ සංඛ්‍යාවේ එම සංශෝධනය සිදු කෙරුණේ, සංඛ්‍යාන විද්‍යාත්මක අධීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් යයි සඳහන් කළ චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන්, එවැනි යළි අධීක්ෂණය කිරීම් සුලභ ජාත්‍යන්තර භාවිතයක් යයි කියා සිටි බව ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කළේය.

චීනයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව, වාර්තා කරනු ලැබ ඇති ආකාරයට 4,632 ක් පමණි. එහෙත් වූහාන් නගරයේ සිදුවී ඇතැයි චීන බලධාරීන් විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කරන ලද තවත් මරණ 1,290 ද දැන් ඊට එකතු වෙයි.

කොවිඩ්-19 වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් නගරය දැඩි පාලනයකට යටත් කරනු ලැබ තිබුණ අතර, එහි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත.

Medical staff from Jilin Province (in red) hug nurses from Wuhan after the Covid-19 lockdown was lifted, 8 April 2020
වූහාන්හි කලින් බල පැවැත්වුන තහංචි දැන් ළිහිල් කරනු ලැබ ඇත

කොරෝනාවෛරස් උවදුරේ දී චීන බලධාරීන් ක්‍රියා කරනු ලැබ ඇති ආකාරයේ විනිවිදභාවය (transparency) පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ප්‍රශ්න කරති.

ප්‍රංශ ජනාධිපතිගේ පිළිතුර

මේ වනවිට කොරෝනාවෛරස් ආසාදිතයන් 141,000 ක් සහ 18,000 කට ආසන්න මරණ සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇත.

වෛරසයේ ආරම්භය සහ පැතිරයාම පාලනය කිරීම සඳහා පුද්ගල නිදහස නොතකා හරිමින් චීනය අනුගමනය කළ “අධිකාරීවාදී ක්‍රියාමාර්ග” බටහිර රටවල ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුවල දුර්වලතාවය අනාවරණය වීමට හේතු වීදැයි ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පත ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති මැක්‍රෝන්, “විවෘත සමාජ සහ සත්‍යය යටපත් කෙරෙන රටවල් එකිනෙකට සංසන්දනය කළ නොහැකි” බව පෙන්වා දුන්නේය.

“එම වෙනස සැලකිල්ලට ගනිමින්, චීනය මුලින් කරන ලද දෙය අනුව, මගේත් ගරු කිරීමට ලක්වෙන අද ඔවුන් සිදු කරන දෙය එදාට වඩා හොඳින් දැන් කෙරෙනවාය කියා කීමට තරම් අපි බොළඳ නොවිය යුතුයි”

”අපි දන්නේ නැහැ. අපි නොදන්නා දේවල් එතැන සිද්ධවෙන බව පැහැදිලියි ” යනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි.

Presentational grey line

කොරෝනාවෛරස් වසංගතයට එරෙහි සටනේ දී නිදහස් විවෘතභාවය අත්හැර දමනු ලැබීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට අනතුරක් වියහැකි බවත් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

“අපට එය පිළිගන්න බැහැ. සෞඛ්‍ය අර්බුදයක් තියෙන අවස්ථාවක කිසිවෙකුට ඔහුගේ හෝ ඇයගේ ජානගත මූලික අයිතිය අහිමිකර ගන්න බැහැ”

වෙනත් ප්‍රතිචාර

President Donald Trump speaks during the daily briefing of the White House Coronavirus Task Force in the Rose Garden at the White House April 14, 2020
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත

කොවිඩ්-19 වෛරසය ආරම්භ වුණේ කෙසේද? එය ආරම්භයේදීම මර්දනය කරගත නොහැකි වුණේ කුමක් නිසාද? යන අභියෝගාත්මක ප්‍රශ්න මතු කරනු ලැබිය යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමට මඟ හෙළිවුණේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ගැඹුරු විමසීමක් සිදු කළ යුතුයි සඳහන් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා මෙම වසංගතයෙන් පසු චීනයත් සමඟ පැරණි මට්ටමින් දිගටම කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

සමස්ත ලෝකයේ කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 137,000 ක් මට්ටමේ පවතින අතරවාරයේ ,එක්සත් ජනපදයෙන් මෙතරම් අධික මරණ සංඛ්‍යාවක් වාර්තාවීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප්, වෙනත් රටවල් ඔවුන්ගේ භූමියේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බොරු කියන බවට චෝදනා කළේය.

චීනය නමින්ම සඳහන් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා “ඇතැම් රටවල් ඉදිරිපත් කරන මරණ සංඛ්‍යාවන් කිසිවකු විසින් විශ්වාස කරනු ලබන්නේදැයි” ප්‍රශ්න කළේය

කොවිඩ්-19 වෛරසය වූහාන් නගරයේ වෙළෙඳපොළකින් නොව එහි විද්‍යාගාරයකින් මතුවීද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැති වාර්තා දෙස එක්සත් ජනපදය අවධානයෙන් පසුවෙන බවත් ජනාධිපති ට්‍රම්ප් පවසයි.

“මම මේ කතන්දරයට අදාලව අපට ලැබෙන තවත් බොහෝ තොරතුරු ඉදිරිකාලයේ දී හෙළිදරව් කරනවා. බලමු!අපි ඇහැ ගහගෙනයි ඉන්නේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

වවුලාගෙන්ද ? විද්‍යාගාර කාන්දුවකින්ද?

කොරෝනා වෛරසය

සුරක්ෂිතභාවයට අදාළ වැඩ පිළිවෙළේ ඌනතා හේතුවෙන් වූහාන් මධ්‍යස්ථානයක සිදු වූ හදිසි කාන්දුවකින් කොවිඩ්-19 වෛරසය පිටවී ඇති බවක් තොරතුරු ලබාගත් මූලාශ්‍රය හෙළිදරව් නොකරමින් ෆොක්ස් නිව්ස් (Fox News) වාර්තා කරයි.

මෑත වසරවල වූහාන් විද්‍යාගාර දෙකක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බීජිං නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මැසිවිලි මතුකොට ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය මින් පෙරත් වාර්තා කරනු ලැබ ඇත.

කෙසේවුවද, කොවිඩ්-19 වෛරසයට මුල්වූ ‘Sars-CoV-2’ වෛරසය විද්‍යාගාර දෝෂයකින් කාන්දු වූ බවට සාක්ෂි නොමැත.

කොවිඩ්-19 වෛරසය බොහෝ දුරට වවුලන් විය හැකි සතෙකුගෙන් ආරම්භ වුණා විය හැකිය යන්න විද්‍යාඥයන්ගේ අනුමානයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here