කොරෝනා වෛරසය: ඇතැම් රටවල් ‘මාස්ක්’ පැළඳීමටත් තවත් රටවල් එසේ නොකිරීමටත් හේතුව කුමක් ද…?

0
355

කොරෝනා වෛරසය: ඇතැම් රටවල් ‘මාස්ක්’ පැළඳීමටත් තවත් රටවල් එසේ නොකිරීමටත් හේතුව කුමක් ද…?

මේ දිනවල ජපානයේ ටෝකියෝ නගරයේ, දකුණු කොරියාවේ සෝල් අගනුවර හෝ හොංකොං හි මුඛ ආවරණයක් නොමැතිව නිවසින් පිටතට අඩිය තබන පුද්ගලයන් දෙස රවා බැලීමට ඇති ඉඩ වැඩිය.

කොරෝනාවෛරසය පැතිර යාම ආරම්භ වීමත් සමග ඇතැම් රටවල් මුඛ ආවරණ පැළඳීම කෙරෙහි දැඩි නැඹුරුවක් දැක්වූ අතර මුඛ ආවරණයක් නොමැතිව මහමග ගමන් කිරීම සමාජීය වශයෙන් අනුමත නොකරන මට්ටමක් දක්වා වර්ධනය විය.

නමුත් එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ සිට සිඩ්නි සහ සිංගප්පූරුව දක්වා ලොව තවත් බොහෝ රටවල තවමත් මුඛ ආවරණ නොමැතිව මහමග ගමන් කිරීමට බාධාවක් නොමැත.

ශ්‍රී ලංකාව තුළ ද ඒ හා සමාන තත්ත්වයක් දැක ගත හැක.

එසේ ඇතැම් රටවල් මුඛ ආවරණ පැළඳීම තදින් වැළඳ ගනිද්දී තවත් රටවල් ඉන් වැළකී සිටින්නේ ඇයි දැයි යන්න ආණ්ඩුවේ නියෝග සහ වෛද්‍ය උපදෙස් පිළිබඳ කාරණයක් පමණක්ම නොවේ. සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් ද ඊට බලපෑමක් පවතී. නමුත් කොරෝනාවෛරස් වසංගතය තවත් නරක අතට හැරෙද්දී මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් ඒ ඒ රටවල පවතින ආකල්පවල වෙනසක් සිදු වනු ඇතිද?

මුඛ ආවරණ ගැන නිල පිළිගැනීම

මුඛ ආවරණ

කොරෝනාවෛරසය පැතිර යාම ආරම්භ වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශය පැහැදිලිය. එනම් මුඛ ආවරණ පැළඳිය යුත්තේ කාණ්ඩ දෙකක් පමණි:

  • ආසාදිත පුද්ගලයන් සහ රෝග ලක්ෂණ පිළිබිඹු කෙරෙන පුද්ගලයන්
  • වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ට උවැටන් කරන්නන්

වෙනත් කිසිදු අයෙකුට මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නොමැති අතර ඊට හේතු ගණනාවක් ඇත.

ඉන් එක් හේතුවක් නම් මුඛ ආවරණ යනු විශ්වාසය තැබිය හැකි ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස දැකිය නොහැකි වීමය. දැනට සිදු කර ඇති පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ බිඳිති වශයෙන් පැතිර යන වෛරසය මතුපිට පෘෂ්ඨ මත තැන්පත්ව තිබී ශරීර ගත වන බවය. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු ඔබ සමීපයේ සිට කිවිසුම් යවන හෝ කසින අවස්ථාවක මුඛ ආවරණයකට ඔබව ආරක්ෂා කළ හැක. සබන් යොදා ජලයෙන් නිතර දෑත් සේදීම ඊට වඩා බල සහිත බව ප්‍රවීණයන් පවසන්නේ එබැවිනි.

දෑත් මගින් වෛරසය ශරීර ගත වීම වැලැක්වීම සඳහා මුඛ ආවරණය මුවෙන් ඉවත් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය. එසේම මුඛ ආවරණ පැළඳීම තුළ නැති ආරක්ෂාවක් දන්වන හැඟීමක් උද්දීපනය කල හැක.

දෑත් සේදීම

ආසියාවේ ඇතැම් රටවල සියලු දෙනාම මේ වන විට මුඛ ආවරණ පළදති. එය වඩාත් ආරක්‍ෂිත සහ අනෙකා ගැන සිතා ගන්නා පියවරක් ලෙස පෙනේ.

චීනය සහ ඒ යටතේ පවතින හොංකොං කලාපය, ජපානය, තායිලන්තය සහ තායිවානය යන රටවල පුළුල් උපකල්පනය වී ඇත්තේ නිරෝගී පුද්ගලයන් ද ඇතුළුව ඕනෑම පුද්ගලයෙකු වෛරස් වාහකයෙකු විය හැකි බවය. සාමුහිකවගකීමක් වශයෙන් ඔබ විසින් සෙසු ජනයා ඔබෙන්ම ආරක්ෂා කළ යුතුය.

මුඛ ආවරණ පළඳින ලෙස ඉහත සඳහන් ඇතැම් රටවල ආණ්ඩු මහජනයාගෙන් ඉල්ලා සිටිති. චීනයේ ඇතැම් පළාත්වල මුඛ ආවරණ පැළඳීමෙන් වැළකී සිටීම අත්අඩංගුවට ගෙන දඬුවම් විඳීමට පවා හේතු විය හැක.

මේ අතර තහවුරු කර නොගත් රෝගීන් බොහෝ වශයෙන් සිටින බවට සැක කෙරෙන ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල ප්‍රධාන නගරයන්හි වැඩි දෙනෙකු සිය ආරක්ෂාව පතා මුඛ ආවරණ පැළඳීම ආරම්භ කර තිබේ.

කොරෝනාවෛරසය පැතිර යාම ආරම්භ වීමට පෙර තියාම ඉහත කී රටවල් අතරින් වැඩි ගණනක මුඛ ආවරණ පැළඳීම සමාජීය පුරුද්දකි. එය විලාසිතා අතරට ද එක් විය. කලෙක ‘හෙලෝ කිටී’ වර්ගයේ මුඛ ආවරණ හොංකොං හි වීදි වෙළඳසැල් තුළ පැතිර ගොස් තිබිණි.

නැගෙනහිර ආසියාවේ වැඩි දෙනෙකු රෝගී අවස්ථාවල හෝ වසරේ උණ පැතිර යන කාලවල දී මුඛ ආවරණ පැළඳීමට හුරු වී සිටිති. මක්නිසාද යත් සෙසු ජනයා අතරදී එළිපිට කිවිසුම් හෝ කැස්ස පිට කිරීම ශිෂ්ට නොවන ක්‍රියාවක් ලෙස ඔවුහු සලකති.

2003 වසරේ නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් ගණනාවක් සාර්ස් වෛරසයේ බලපෑමට ලක් විය. එම අවස්ථාවේ දී, විශේෂයෙන් ඊට ගොදුරු වී බොහෝ පිරිසක් මිය ගිය හොංකොං ඇතුළු කලාපයේ රටවල් මුඛ ආවරණ පැළඳීමට හුරු වූහ.

ඉහත කී රටවල සහ බටහිර ඇතුළු මුඛ ආවරණ පැළඳීමේ සම්ප්‍රදායක් නොමැති රටවල ප්‍රධාන වෙනස නම් ඔවුන් වසංගත රෝගයකට අත්විඳ තිබීම සහ එම වේදනාබර මතකයන් තවමත් මැකී නොගොස් තිබීමය.

Shopper in Hong Kong inspects colourful masks
හොංකොං හි අලෙවිය සඳහා තබා ඇති විවධ මාදිලියේ මුඛ ආවරණ

මේ අතර අග්නිදිග ආසියාවේ, විශේෂයෙන් ඉහළ ජන ඝණත්වයක් සහිත නගරවල බොහෝ දෙනෙකු මහමග දී මුඛ ආවරණ පළඳින්නේ පරිසර දූෂණය හේතුවෙනි.

නමුත් ආසියාවේ සෑම රටකම එවැනි තත්ත්වයක් දැකිය නොහැක. සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් මුඛ ආවරණ සැපයුමක් පවත්වා ගැනීම සඳහා ඒවා පැළඳ සිටීමෙන් වැළකී සිටින ලෙස සිංගප්පූරුවේ ආණ්ඩුව මහජනයාගෙන් ඉල්ලා සිටියේය. එරට බොහෝ දෙනෙකු මුඛ ආවරණ නොමැතිව යන අයුරු දකිහ හැක. මහජනයා තුළ ආණ්ඩුව කෙරෙහි සැලකිය යුතු විශ්වාසයක් පවතින බැවින් එවැනි උපදෙස් පිළිපැදීමට ඇති ඉඩ වැඩිය.

People in Tokyo wearing masks
මුඛ ආවරණයක් පැළඳීම තමාටත් අන් අයටත් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ සිහි කැඳවීමක් කරයිද?

මුඛ ආවරණය ඔස්සේ සමාජීය සිහි කැඳවීමක්

සෑම විටම, සෑම තැනකදීම මුඛ ආවරණ පැළඳීම, වෛරසයේ ඇති භයානකත්වය දෘශ්‍යමාන කිරීමේ සිහි කැඳවීමක් ලෙස ඇතැමෙක් විග්‍රහ කරති. පොදුවේ වඩාත් හොඳ පෞද්ගලික සනීපාරක්ෂාවක් පවත්වා ගෙන යාම සඳහා චර්යා රටාවේ වෙනසක් ඇති කර ගැනීමට එමගින් හැකි වනු ඇති බව එමගින් අදහස් කෙරෙයි.

Thai PM Prayuth Chan-ocha wearing a cloth mask
තායිලන්තයේ අගමැති ප්‍රයුත් චන් ඔචා ඔහුගේ ඇඳුමට ගැලපෙන මුඛ ආවරණයක් පැළඳ සිටින අයුරු දැක ගත හැකි විය

නමුත් එහි තවත් පති තිබේ. ජපානය, ඉන්දුනීසියාව, සහ තායිලන්තය වැනි රටවල් මුඛ ආවරණ හිඟයකට මුහුණ දී සිටින අතර මුඛ ආවරණ ලබා ගැනීම සීමා කිරීමට දකුණු කොරියාවට සිදු විය.

ජනයා එකම මුඛ ආවරණය යළි භාවිත කිරීමට යොමු වෙතැයි බිය පළ වේ. එය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් නොවේ. නීති විරෝධී ලෙස අලෙවි කෙරෙන වරක් භාවිත කළ මුඛ ආවරණ හෝ නිවසේදී සාදා ගත් නිසි ප්‍රමිතියෙන් තොර සහ ප්‍රයෝජනයක් නොමැති මුඛ ආවරණ පැළඳීම ද නිර්දේශ නොකරයි.

ඉහත කී රටවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් වෙළඳසැල් සහ ගොඩනැගිලි තුළට වද්දා නොගැනීම දක්වා යම් කිසි නින්දාවකට ලක් වේ.

මුඛ ආවරණ නොමැතිව ජනයා අතර ගැවසුණු බටහිර ජාතිකයන්ගේ ඡායාරූප පළ කල හොංකොං හි ඇතැම් පුවත්පත් පිටතින් පැමිණි පුද්ගලයන් සහ සංචාරකයන් ප්‍රමාණවත් පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම විවේචනයට ලක් කර තිබිණි.

එවැනි විවේචන දෙපසටම ක්‍රියාත්මක වේ.

බටහිර වැනි මුඛ ආවරණ පැළඳීම සාමාන්‍යයෙන් දැකිය නොහැකි රටවලදී මුඛ ආවරණ පළඳින පුද්ගලයන් වෙත බාධා එල්ල වන අතර ඇතැම් විට ප්‍රහාරයන්ට ද ගොදුරු වී. එලෙස මුඛ ආවරණ පළඳින වැඩි දෙනෙකු ආසියානු වැසියන් බව පෙනෙන්නට තිබේ.

ඇමරිකාව තුළ මුඛ ආවරණ පැළඳීම නිසා නිතර හිංසාවට ලක් වීම දරා ගත නොහැකි මට්ටමකට ළඟා වී ඇති බවට ට්විට්ටර් හි සටහනක් තබන ෂීන්යන් යූ පවසා තිබුනේ එක් පුද්ගලයෙකු තමා වෙත හැරී “හයියෙන් කැස්සක්” පිට කළ බවය.

නමුත් සියලු දෙනාම මුඛ ආවරණ පැළඳිය යුතුය යන මතයට පක්ෂ රටවලට යම් තර්කයක් තිබිය හැකි අතර මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශය මේ වන විට ප්‍රවීණයන් විසින් ප්‍රශ්න කරනු ලබමින් සිටී.

වාර්තා නොවූ රෝගීන්

සෞඛ්‍ය බලධාරීන් සිතුවාට වඩා, වෛරසය ශරීර ගත වී ඇතත් ඒ බව නොදැන සිටින “නිහඬ වාහකයන්” හෝ රෝග ලක්ෂණ පිටතට නොපෙනෙන නිරෝගී පුද්ගලයන් විශාල වශයෙන් සිටින බවට ද සාක්ෂි ලැබෙමින් පවතී.

‘සවුත් චයිනා මෝනින් පොස්ට්’ පුවත් සේවයට දැක ගැනීමට ලැබුණු චීන ආණ්ඩුව පිටතට ලබා නොදෙන දත්ත වලට අනුව එරට කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන්ගෙන් 1/3 ක් රෝග ලක්ෂණ නොපෙන්වන බව ඇස්තමේන්තු කර තිබේ.

Diamond Princess in the Yokohama portඩයමන්ඩ් ප්‍රින්සස්’ නෞකාවේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ඇතුලත් විය

ජපානයේ යොකොහාමා හි නැංගුරම් ලා තිබුණු ‘ඩයමන්ඩ් ප්‍රින්සස්’ සංචාරක නෞකවෙන් හමු වූ කොරෝනාවෛරසය ආසාදනය වූ 600 කට අධික පිරිසෙන් අඩක් පමණ රෝග ලක්ෂණ පෙන්වා නොමැත.

රෝග ලක්ෂණ පිටතට නොපෙන්වන ඒ හා සමාන කොටසක් වැඩි වශයෙන්ම සිය පුරවැසියන් කෝවිඩ්-19 පරීක්ෂාවට ලක් කරන බව පවසන අයිස්ලන්තයෙන් ද වාර්තා වී තිබේ.

රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔවුන්ගෙන් විශාල වශයෙන් වෛරසය පැතිර යා නොයන බවට විශ්වාසයක් පැවතියත් ඇතැම් පිරිස් එය ප්‍රශ්න කරති. යම් හෙයකින් සියලු දෙනාම මුඛ ආවරණ පළඳින්නේ නම් එම පුද්ගලයන් වාහකයන් බවට පත් නොවීමට ඉඩ ඇත.

චීනයේ රෝගීන් සම්බන්ධයෙන් මෑතක පළ කළ අධ්‍යනයකට අනුව “නිල වශයෙන් තහවුරු කර නොගත් ආසාදිතයන්” හෝ මෘදු රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ දැකිය නොහැකි පුද්ගලයන් හරහා සැලකිය හැකි මට්ටමකින් වෛරසය පැතිර යා හැකි බව සහ කොරෝනාවෛරස් රෝගීන්ගෙන් 80% ට පමණ ඔවුන්ගෙන් රෝගය බෝ වී ඇති බවය.

කෙසේ නමුත් එය එක් අධ්‍යයනයක් පමණි. ආනගතයේදී තවත් අධ්‍යයන මගින් සියුම් ලෙස විග්‍රහ කෙරෙන පුළුල් චිත්‍රයක් දැක ගත හැකි වනු ඇත.

මුඛ ආවරණ යනු වසංගතයක් සහ යම් සංස්කෘතික පුරුදු පුහුණු හා බැඳුනු මෑත ඉතිහාසයට අයත් නිෂ්පාදනයකි. නමුත් කොරෝනාවෛරස් වසංගතය පැතිර යන මට්ටම මෙන්ම සාක්ෂි සහ පර්යේෂණ අනුව අපගේ පුරුදු පුහුණු තවදුරටත් වෙනස් වනු ඇත.

(බීබීසී පුවත් සේවයේ ටෙස්සා වොන්ග් සිංගප්පූරුවේ සිට සැකසූ වාර්තාවක් ඇසුරෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here