බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි…

0
600

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වෙයි…

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අගමැති නිල නිවස පවසයි.

අගමැතිවරයා මඳ රෝගී ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔහු තම නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ “එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ගේ පෞද්ගලික උපදේශය මත” අගමැතිවරයා කොරෝනාවෛරසය සඳහා පරීක්ෂාවට ලක් වූ බවය.

ඔහු තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සහ කොරෝනාවෛරස් අර්බුදය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

අගමැති බොරිස් ජොන්සන් අවසන්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ජාතික සෞඛ්‍ය සේවයේ හෙද, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයන්ට සමස්ත බ්‍රිතාන්‍යය අත්පොලසන් දෙමින් කෘතඥතාව පළ කළ මොහොතේ ඔහු ද නිල නිවසින් පිටතට පැමිණ අත්පොලසන් දෙනු දක්නට ලැබිණ.

ට්විටර් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත්කරමින් අගමැතිවරයා පවසන්නේ තමන් “නිවැරදි දේ කරමින්” නිවසේ ස්වයං හුදෙකලාවේ යෙදෙමින් නිවසේ සිට සේවය කරන බවය.

ජාතික සෞඛ්‍ය සේවය ඇතුළු සියලුම දෙනාට සිය ස්තුතිය පුදකරන බව ද අගමැති බොරිස් ජොන්සන් පවසයි.

එක්සත් රාජධානියේ 11,600 කට අධික පිරිසකට කොරෝනාවෛරසය වැළඳී තිබෙන අතර, 578 දෙනෙකු රෝගයෙන් මියගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුටද කොරෝනාවෛරසය ආසාදිත වී ඇති බව මීට ඉහතදී අනාවරණය කෙරින.

71 හැවිරිදි වේල්සයේ කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම “හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන” බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

වැඩිම රෝගීන් එක්සත් ජනපදයේ

මේ අතර ලොව අනෙක් කිසිම රටකට වඩා වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත ප්‍රකාර, එක්සත් ජනපදයේ ආසාදිතයින් 85,500 ක් සිටින අතර, චීනයෙන් සහ ඉතාලියෙන් වාර්තා වී තිබෙන්නේ පිළිවෙලින් රෝගීන් 81,782 ක් සහ 80,589 කි.

කෙසේ වුවත් එක්සත් ජනපදයේ රෝගයෙන් මියගිය පිරිස 1,300කට ආසන්න වන අතර, චීනයේ රෝගීන් 3,291ක් මියගොස් තිබේ. මේ වනවිට වැඩිම රෝගීන් පිරිසක් මියගොස් තිබෙන්නේ ඉතාලියේය. එය 8,215කි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here