කොරෝනාවෛරසය: ලොව පුරා ආසාදිතයන් 100,000 ඉක්මවයි…

0
1063

කොරෝනාවෛරසය: ලොව පුරා ආසාදිතයන් 100,000 ඉක්මවයි

ආසියානු කොටස් වෙළෙඳපොළ පහත වැටේ

කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් වේ යැයි බිය පළ වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ නැවතත් පහත වැටී තිබේ.

සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනාවෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික ගමන් මෙන්ම භාණ්ඩ හා සේවා සැපයුම් වැනි ක්ෂේත්‍රවල තියුණු පහත වැටීමක් සිදුවනු ඇතැයි එම බැංකුව පවසා තිබේ.

වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව හේතුවෙන් ආර්ථික අලාභය කෙතරම් බරපතල විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

විශ්ලේෂණවලින් හෙළි වන කරුණු අනුව ඇමරිකානු ඩොලර් බිලියන 77 සිට ඩොලර් බිලියන 347 දක්වා ගෝලීය දළ දේශීය නිෂ්පාදනයට (දළ දේශීය නිෂ්පාදනයෙන් 0.1% සිට 0.4% දක්වා) බලපෑම් එල්ල විය හැකිය.

මේ වන විට ලොව පුරා සිටින කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

Coronavirus

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්තු 10 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ එසේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම කාලය ඇතුළත සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

කොරෝනාවෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විණි.

බෙත්ලෙහෙම නිරෝධායනය

පුද්ගලයින් 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඊශ්‍රායල සහ පලස්තීන බලධාරීන් බෙත්ලෙහෙම් නගරය නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.

Coronavirus

පවතින තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පියවර අනුගමනය කිරීමත් සමග, කිසිදු පුද්ගලකුට එම නගරයට “ඇතුළුවීම හෝ පිටවීම තහනම්” බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය කියා සිටී.

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා “පලස්තීන අධිකාරිය සමඟ සමීපව කටයුතු කරන” බව ඊශ්‍රායල රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ හමුදා සම්බන්ධීකාරක පැවසීය.

ඉන්දියානු පාරිභෝගිකයින් චීන භාණ්ඩ මඟ හරී

හෝලි උත්සවයට පෙර චීනයෙන් ආනයනික වර්ණ සහ සෙල්ලම් භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියානු පාරිභෝගිකයින් මැලිකමක් දක්වන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කර තිබිණි.

කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නමුත්, මාර්තු 10 වෙනි දින හෝලි උත්සවය සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටී. මේ වන විට ඉන්දියාවේ රෝගීන් 31ක් පමණ වාර්තා වී තිබේ.

හෝලි උත්සවය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 5ක් පමණ වටිනා චීන භාණ්ඩ තොග ආනයනකරුවන් ගබඩා කර ඇති නමුත්, එම භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි වී ඇතැයි වෙළෙඳ ආයතනවල ඇස්තමේන්තු උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

මෙම වසරේ හෝලි උත්සවය සඳහා පැවැත්වෙන විශාල මහජන රැස්වීම්වලට සහභාගී නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැනටමත් ප්‍රකාශ කර ඇත.

බොලිවුඩ් ‘ඔස්කාර්’ චිත්‍රපට උළෙල අවලංගු කෙරේ

Coronavirus
‘අයිෆා’ බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවර ගෙන තිබේ

කොරෝනාවෛරසය පැතිරීම හේතුවෙන් ‘අයිෆා’ බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙල මාර්තු 27 සිට දින තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් පවතින තත්ත්වයේ “සංවේදීතාව” හේතුවෙන් උත්සවය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

එක්සත් රාජධානිය “ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා”

වෛරසය වැළඳී ඇති බවට සැක කර නිවෙස්වලට වී හුදකලා වී සිටින පුද්ගලයන්ට ආහාර ලැබෙන වැඩපිළිවෙළක් ගැන සුපිරි වෙළෙඳසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ආහාර සැපයුම් නතර නොවන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බීබීසී සේවයට කියා සිටියේය.

“අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් රජයට තිබෙනවා. ආහාර සැපයුම තුළ කිසිම ගැටලුවක් ඇති නොවන බව අපට විශ්වාසයි,” ඔහු පැවසීය.

නමුත් එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසල් සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය බැහැර කරමින් පවසන්නේ, නිවෙස්වලට ආහාර සැපයීමක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර නොමැති බවය.

එමෙන්ම, ආහාර සැපයුමට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ලේකම්වරයා දුන් පොරොන්දුව පිළිබඳ ඔවුහු සැක පළ කරති.

Coronavirus
එක්සත් රාජධානියේ හිස් වෙමින් තිබෙන සුපිරි වෙළෙඳසල්

කොරෝනාවෛරසය: ලොව වටා සිදුවන්නේ කුමක් ද?

  • කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීමත් සමග පුද්ගලයන් පනස් දෙනෙකුගෙන් යුත් ඉක්වදෝර නාවික නෞකාවක් නිරෝධායනය කර තිබේ. ඉක්වදෝරයේ මේ වන විට දහතුන්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
  • එක්සත් රාජධානියේ කොරෝනාවෛරස ආසාදිතයන් සංඛ්‍යාව 163 දක්වා ඉහළ ගොස් ඇත.
  • රෝගයට ගොදුරු වූවන් සඳහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණ කට්ටල නොමැති බව ධවල මන්දිරය අද උදෑසන (මාර්තු 06) පිළිගැනීමත් සමග, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් තැබීය. එක්සත් ජනපද ප්‍රාන්ත 20ක කොවිඩ් -19 රෝගීන් 200 ට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.
  • ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇත.
  • ඉරානයේ තවත් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් තිබේ. එරට පුද්ගලයන් 4,747 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇත.
  • නෙදර්ලන්තයේ පළමු කොරෝනාවෛරස මරණය වාර්තා වූ අතර, පසුගිය දින දෙක තුළ එරට ආසාදිතයන් සංඛ්‍යාව 82 සිට 128 දක්වා ඉහළ ගොස් තිබේ.
  • ස්පාඤ්ඤයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගිය අතර, පුද්ගලයින් 365 දෙනෙකුට ආසාදනය වී ඇත.
  • ස්විට්සර්ලන්තයේ මේ වන විට පුද්ගලයින් 210 දෙනෙකුට ආසාදනය වී ඇති අතර එක් මරණයක් වාර්තා විය.
  • රුසියාව තුළ තවත් රෝගීන් හයක් තහවුරු වීමත් සමග, මුළු ගණන 12 දක්වා වැඩි වී තිබේ.
  • Coronavirus
What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here