රෝග ලක්ෂණ මතුවීමටත් පෙර කොරෝනා තවත් අයෙකුට බෝවිය හැකියි…

0
1229

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බවයි චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා ඕවේ උපුටා දක්වමින් CNN පුවත් සේවය අද (27) වාර්තා කළේ.

පවතින තත්ත්වය හමුවේ වෛරසය ආසාධනය වීම පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බව ද චීන බලධාරීන් සඳහන් කළා.

මේ අතර චීනයේ බීජිං, ෂැංහයි හා ෂැන්ඩොන් නගරවල සිදුකරන දුර ගමන් සේවා බස්රථ ධාවනය අද සිට අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පෙර පාසල් මෙන්ම පාසල් රැසක් ද වසා දමා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේ අතර නව කොරෝනා වෛසරය ආසාධනය වූ 05 වන අමෙරිකානු පුරවැසියා ඊයේ (26) හමුවී තිබුණා. ඔහු ඇරිසෝනා ප්‍රාන්ත වැසියෙක්. වෛසරය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බැවින් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් අමෙරිකානු බලධාරීන් සිය වැසියන්ට උපදෙස් ලබාදුන්නා.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය තුළ වන සතුන් අලෙවිය සඳහා පැනවූ තහනම අද සිට ක්‍රියාත්මකයි. වූහාන් ප්‍රාන්තයේ පිහිටි වන සතුන් අලෙවි කළ වෙලඳසැලකින් මෙම මරාන්තික වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නට ඇති බවටයි මේ වනවිට අනුමාන කර ඇත්තේ.

ඒ අනුව අද සිට කිසියම් වෙළඳසැලක වන සතුන් හෝ ඔවුන්ගේ මස් අලෙවි කළහොත් හා ආපන ශාලාවක එම මස් අලෙවි කළහොත් අදාළ වෙලඳසැල් මෙන්ම ආපනශාලාවලට ද සීල් තබන බව බලධාරීන් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එවැනි වෙළඳසැල් හා ආපනශාලා පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද සඳහන්. නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුළ ප්‍රකාශයට පත් කළ හදිසි සෞඛ්‍ය තත්ත්වය ඉවත් කරන තුරු වන සතුන් අලෙවිය සඳහා පැනවූ මෙම තහනම ක්‍රියාත්මක බවයි චීන බලධාරීන් පැවසුවේ.

විශේෂයෙන් චීන සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, එක් පුද්ගලයෙකු තුළින් රෝග ලක්ෂණ මතුවීමට පෙර එය තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි බවයි.

මෙම වෛරසය පැතිර යාම පිළිබඳව මෙතෙක් කර තිබූ පරීක්ෂණවලින් කියැවුණේ, රෝගියෙකුට ආසාදනය වී සති දෙකක් පමණ කාලයක් තුළ රෝග ලක්ෂ මතුවීමත් සමග මෙය පැතිර යන බවයි.

නමුත් අද චීන සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ මෙම නව ප්‍රකාශය සමග වෛරසය පාලනයට නව ක්‍රමවේද සෙවීමට ලෝකයේම සෞඛ්‍ය බලධාරින්ට අභියෝගයක් එල්ල වී තිබේ.

චීනයේ නවතම වාර්තාවන් ඒ ආකාර වෙද්දී, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චින ජාතික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු ඊයේ අංගොඩ පිහිටි උණ රෝහලට ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලාංකයින් තරමක තැතිගැන්මකට ලක්විය.

නමුත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය අද නිගමනය කළේ, ඔවුන්ට එම වෛරසය අසාදනය වි නොමැති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු, හා ශ්‍රී ලාංකික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඊයේ වනවිට ඇතුළත් කෙරිණ.

ඔවුන් තවදුරටත් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මේ වන විට මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව ද, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය.

මේ අතර මෙරට පැමිණ සිටින චීන ජාතික තරුණ සවේච්ඡා සේවක කණ්ඩායමක සමාජිකයින් පිරිසක් අද දහවල් ජාතික බෝවන රෝග විද්‍යායනය වෙත පැමිණ පරීක්ෂණ සදහා ඉදිරිපත්වන අයුරුද දැක ගත හැකි විය.

මේ ගෙවෙන්නේ චීනයට නව අවුරුදු උදාව සිදුවී ඇති කාල සීමාවක්.

ඒ නිසා මෙරට නේවාසිකව සේවයේ නිරත දහස දහසක පමණ චීන ජාතිකයින්ගෙන් බොහොමයක් දෙනා මේ වනවිට චීනයට ගොස් තිබේ.

ඔවුන් තවත් දින කිහිපයකින් යළිත් මෙරටට පැමිනීමට නියමිතයි.

එලෙස ඔවුන් පැමිණීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇති සුදානම පිළිබඳව අද මාධ්‍යවේදීන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් අද විමසීමක් කළේ ය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වුහාන් සහ සීචුවාන් ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඒ අනුව ඉදිරි පැය 48 තුළ පළමු කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරයි.

වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන් ප්‍රාන්තයට ඇතුළුවීම හා පිටවීම මේ වනවිට තහනම්කර ඇති හෙයින් එම තහනම ඉවත් කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව සිචුආන් ප්‍රාන්තයේ වෙන්ඩු අගනුවර වෙසෙන සිසුන් 150 කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

ඒ සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යොදවා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

චිනයේ සිට ශ්‍රී ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් අනතුරුව රටට ඇතුළු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට චීනය ඇතුළු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ.

ඕස්ට්‍රේලියාවෙන් සහ මලයාසියාවෙන් එම වෛරසය ආසාදනය වූ අට දෙනෙකු වාර්තා විය.

යුරෝපයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ප්‍රංශයෙනි.

කැනඩාවෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

කැනඩා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, එම පුද්ගලයා චීනයේ වූහන් නගරයේ සිට පැමිණි බවයි.

වෛරසය පැතිරයාම හමුවේ හොංකොං දේශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, චීනය සමඟ පැවති ප්‍රවාහන සබඳතා ද අවහිර කරමිනි.

ඒ, වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු වාර්තා වීමෙන් අනතුරුවයි.

චීනය ද එරට ප්‍රවාහන කටයුතු සඳහා පැනවූ නීති දැඩි කළේ ය.

අමෙරිකාව සඳහන් කළේ, චීනයේ වූහන් නගරයේ සිරව සිටින සිය පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යළි ගෙන්වා ගැනීමට අද ගුවන් යානයක් පිටත්කර යවන බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවූවන් වාර්තා වී ඇති රටවල් වන්නේ තායිලන්තය , වියට්නාමය , සිංගප්පූරුව , ජපානය , දකුණු කොරියාව , තායිවානය , නේපාලය සහ අමෙරිකාවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here