කොරෝනා වෛරසය: චීනය දින හයක් තුළ රෝහලක් ඉදි කරන්නේ කෙසේද…?

0
1051

කොරෝනා වෛරසය: චීනය දින හයක් තුළ රෝහලක් ඉදි කරන්නේ කෙසේද…?

කොරෝනාවෛරසය ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ වූහාන් (Wuhan) නගරය දින හයක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

මේ වන විට 2000කට අධික පිරිසකට වෛරසය අසාදිත යැයි තහවුරු වී ඇති අතර 56 දෙනෙකු මරණයට පත්ව තිබේ.

කොරෝනාවෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් ප්‍රදේශයේ ජනගහනය එක්කෝටි දස ලක්ෂයකට ආසන්නය. නගරයේ රෝහල් කලබලයට පත් ප්‍රදේශවාසීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඔසුසැල්වල ඖෂධ අවසන් වෙමින් පවතී.

චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉදි වෙමින් පවතින නව රෝහල ඇඳන් දහසකින් සමන්විත වනු ඇත.

වර්ග මීටර 25,000 ක වපසරියකින් යුත් ඉදිකිරීම් භූමිය වෙත පොලොව හෑරීමට යොදා ගන්නා බර යන්ත්‍ර රැගෙන විත් ඇති ආකාරය චීන රාජ්‍ය මාධ්‍ය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශන ඔස්සේ දැකිය හැක.

2003 වසරේ සාර්ස් (Sars) වෛරසය පැතිර යාම වැලැක්වීමේ අරමුණින් බීජිං නුවර මේ හා සමානම රෝහලක් ඉදි කරනු ලැබිණි. නව රෝහල ඉදි වන්නේ ඒ අනුව යමිනි.

“මෙය මූලික වශයෙන් පැතිර යන රෝග සහිත පුද්ගලයන් යවනු ලබන නිරෝධායනය කළ රෝහලක්. එය ආරක්ෂිතයි වගේම ආරක්ෂිතව තබා ගත හැකි උපකරණවලින් සමන්විතයි” යනුවෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය සහ සමාජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාරිනී ජොඈන් කවුෆ්මන් පැවසුවාය.

දින හයකින් රෝහලක් ඉදි කළ හැකිද?

Diggers on the site of the hospital in Wuhan

“මේ වගේ සුවිසල් ව්‍යාපෘතිත් ඇතුළුව වැඩ වේගයෙන් නිමවීම සම්බන්ධයෙන් චීනය වාර්තා තබා තිබෙනවා,” යනුවෙන් විදෙස් සබඳතා පිළිබඳ සභාවේ ගෝලීය සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන පර්යේෂකයෙකු වන යැන්ෂොන්ග් ක්වාන්ග් පවසයි.

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ බව පෙන්වා දෙන ඔහු වූහාන් හි ඉදිකිරීම් කණ්ඩායම එම වාර්තාව බිඳ හෙලීමේ උත්සාහයක නිරත වී ඇති හැඩක් පෙනෙන්නට ඇතැයි කියා සිටියේය.

යැන්ෂොන්ග් ක්වාන්ග් වැඩිදුරටත් සඳහන් කළේ නියමිත වෙලාවට ඉදිකිරීම් නිමවීම සඳහා රටපුරා විසිරී සිටින ඉංජිනේරුවන් එහි රැගෙන එනු ඇති බවය.

චීනය අධිකාරීවාදී රටක් වන බැවින් නිලධාරීවාදය සහ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට ඇති අවහිරතා ජය ගෙන සියලු සම්පත් ඒ සඳහා ඉක්මනින් යෙදවීමට හැකියාව පවතින බව ඔහුගේ අදහසය.

“ඉංජිනේරු වැඩවලට චීනය දක්ෂයි. අහස උසට විහිදුනු ගොඩනැගිලි වේගයෙන් ඉදිකර ඔවුන් වාර්තා තබා තිබෙනවා. බටහිර ජාතීන්ට මෙය සිතන්නත් අමාරුයි. මෙය කළ හැකියි,” ඔහු තවදුරටත් පැවසුවේය.

ඖෂධ සැපයුම දෙස බැලීමේදී වූහාන් වෙත වෙනත් රෝහල්වලින් ඖෂධ ගෙන්වා ගැනීමට හෝ නිෂ්පාදනාගාරවලින් පහසුවෙන් ඇනවුම් කර ගැනීමේ හැකියාව පවතී.

මහජන විමුක්ති හමුදාවට අයත් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සාමාජිකයන් 150 දෙනෙක් වූහාන් නගරය වෙත ළඟා වූ බව චීනයේ ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත සිකුරාදා (ජනවාරි 24) තහවුරු කළේය. නව රෝහල ඉදි කළ පසු ඔවුන් එහි සේවයේ නිරත වනු ඇත්දැයි යන්න එමගින් තහවුරු කර නොමැත.

සාර්ස් පැතිර යාමේදී සිදු වූයේ කුමක්ද?

A man holds child outside of Amoy Gardens block in Hong Kong in 2003වූහාන් නගරයේ රෝහල් කලබලයට පත් ප්‍රදේශවාසීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත

2003 වසරේදී සාර්ස් රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගීන්ට නේවාසික පහසුකම් සැලසීම සඳහා බීජිං හි ෂොතන්ග්ශාන් රෝහල ඉදිකරනු ලැබිණි. එය දින හතක් ඇතුළත ඉදි කර අවසන් කළ අතර වඩාත් ඉක්මනින් රෝහලක් ඉදි කිරීමේ ලෝක වාර්තාව එමගින් බිඳ හෙලන ලදැයි එවක පැවසිණි.

‘China.com.cn’ පවසන පරිදි රෝහලේ ඉදි කිරීම් සඳහා 4,000 ක් පමණ දායක වී ඇති අතර නියමිත දිනට එහි ඉදි කිරීම් අවසන් කිරීමේ අරමුණින් ඔවුන් දිවා රෑ පුරා වැඩ කර තිබේ.

එය එක්ස් – රේ (X-ray ) කාමරයක්, සීටී ස්කෑන් කාමරයක්, දැඩි සත්කාර ඒකකයක් සහ පරීක්ෂණාගාරයකින් එය සමන්විත විය. සෑම වාට්ටුවකටම වැසිකිලි සහිත නාන කාමරයක් ද විය.

මාස දෙකක් තුළ එරට සාර්ස් අසාදිත රෝගීන්ගෙන් හතෙන් එකක් ඊට ඇතුළත් කර ගත් අතර එරට මාධ්‍ය විසින් එය හඳුන්වනු ලැබුවේ “වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්” ලෙසය.

“ඒ සඳහා නියෝග දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයයි. සේවය ලබා දීම සඳහා වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානවල සිටි හෙදියන් සහ සෙසු වෛද්‍යවරුන්ගේ සහාය ලැබුණා” යනුවෙන් කථිකාචාරිනී ජොඈන් කවුෆ්මන් පැවසුවාය.

පැතිර යන රෝග පාලනය කරන්නේ කෙසේද, හඳුනා ගන්නා ආකාරය සහ රෝගීන් වෙන් කර තබා ගැනීම පිළිබඳ අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන් දැනුවත් කර තිබුණු බව ද ඇය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ සාර්ස් වසංගතය අතරතුර පළාත් පාලන ආයතන ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබුණ ද කාර්ය මණ්ඩලවල සිට ගොඩනැගිලි දක්වා වූ වියදම් සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් විශාල වශයෙන් ආධාර ලැබුණු බවය.

යැන්ෂොන්ග් ක්වාන්ග් පවසන පරිදී සාර්ස් වසංගතය අවසන් වීමත් සමග රෝහල් ගොඩනැගිලි අත්හැර දමා ඇත.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here