කුසල් ජනිත් ඉවත්කිරීමට ඉදිරිපත් කළ හේතු 5ක්… 

0
1061

කුසල් ජනිත් ඉවත්කිරීමට ඉදිරිපත් කළ හේතු 5ක්…

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ  “විශිෂ්ට ටෙස්ට් ඉනිමක”  යෙදුණු ක්‍රීඩකයෙකු ලෙස බොහෝ විචාරකයින් විසින් හඳුන්වන ලද කුසල් ජනිත් පෙරේරා එම ඉනිම ක්‍රීඩා කර තරග 3කින් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත්කිරීම පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි කතාබහට ලක්වූ කාරණයක් විය.

ටෙස්ට් තරග දෙකක් සඳහා සිම්බාබ්වේ බලා යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ කුසල් ජනිත් පෙරේරාට ස්ථානයක් හිමි නොවූ අතර ඒ ගැන හිටපු ක්‍රිකට් නායකයන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ද සිය මවිතය පළකර තිබුණි.

ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කුසල් ජනිත් පෙරේරා ඉවත්කිරීම ප්‍රශ්න කර තිබුණේ “මීට වසරකට පමණ පෙර ඩර්බන් හිදී තනියෙන් තරගයක් දිනලා දුන්නේ මෙම ක්‍රීඩකයා නොවේ ද?” යනුවෙන් ප්‍රශ්න කරමිනි. එම තරගයෙන් පසු ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක ඉනිම් 5ක් පමණක් බව ඔහු පෙන්වාදී තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කුසල් ජනිත් පෙරේරා ඉවත්කිරීම ප්‍රශ්න කර තිබුණේ ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් රැසකට මෑතකදී අත්ව ඇති ඉරණම එය බව පවසමින්.

ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගනිමින් 2019 වසරේ මාර්තු 16 වැනිදා කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීමට සමත් විය. අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක වාර්තාගත සම්බන්ධතාවකින් ලැබුණු එම ජයග්‍රහණයත් සමග කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම ලෝක ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිමක් ලෙස ලෝකයේ ම කතාබහට ලක් විය.8

එම තරගයෙන් අනතුරව කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 5 අසාර්ථක වුවත් ඔහුට තව දුරටත් අවස්ථාව ලබාදිය යුතුව තිබු බව ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා මතය වී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ පකිස්ථානයේ පැවති ශ්‍රී ලංකාව පරාජයට පත්වූ ටෙස්ට් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතයේ කුසල් ජනිත් පෙරේරා සිටියත් ඔහු එම තරග දෙක ක්‍රීඩා කිරීම සඳහා තෝරා නොගැනිණි.

කුසල් ජනිත් පෙරේරා ගේ අවසන් ටෙස්ට් ඉනිම් 6 සටහන් වන්නේ 153*, 20, 1, 23, 0, 0 ලෙසයි. බදාදා (ජනවාරි 15) රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්වූ අතර ඊට පෙර තිබු මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල්, කුසල් ජනිත් කණ්ඩායමෙන් ඉවත්කිරීමට හේතු ගණනාවක් ඉදිරිපත් කළේය.

කුසල් ජනිත් පෙරේරා සහ වෙනුර ප්‍රනාන්දු
කුසල් ජනිත් පෙරේරා සහ වෙනුර ප්‍රනාන්දු

මේ ඔහු එලෙස ඉදිරිපත්කළ හේතු 5කි.

1. මැතිව්ස්, චන්දිමාල් කණ්ඩායමට පැමිණීම:

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසිටි අත්දැකීම් බහුල හිටපු නායකයන් දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට පැමිණීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට ස්ථානය අහිමිවූ බව තේරීම් සභාපතිවරයා කියා සිටියේය. කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ ක්‍රීඩා කළ හැක්කේ අංක 4 හෝ 5 යන ස්ථානයේ බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා නවසීලන්ත සංචාරයේ කුසල් ජනිත් අසාර්ථක වීමෙන් පසු එම ස්ථානයට අත්දැකීම් බහුල දිනේෂ් චන්දිමාල් ගෙනා බව සඳහන් කළේය.

2. කුසල් ජනිත් වඩාත් සුදුසු වේගවත් තණතිලි වලට:

ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස කුසල් ජනිත් පෙරේරා වඩාත් යෝග්‍ය වන්නේ දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි වේගවත් තණතීරු සඳහා බව තේරීම් කමිටු සභාපතිවරයාගේ මතයවී තිබේ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට වාසිදායක ශ්‍රී ලංකාව වැනි තණතීරුවල කුසල් ජනිත්ට වඩා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් හොඳින් ක්‍රීඩා කරන බව පැවසූ ඔහු ඉදිරියේ පැවැත්වෙන එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී දඟ පන්දුවට වැඩි ඉඩක් ලැබෙන බව සඳහන් කළේය.

3. පන්දු රකින්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඇති අකමැත්ත:

කුසල් ජනිත් පෙරේරාට ඇති අබාධ තත්වයන් හේතුවෙන් ඔහු වඩාත් ප්‍රිය කරන්නේ කඩුලු රකින්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කරයි. කෙසේ නමුත් නිරෝෂන් දික්වැල්ල අවසන් ටෙස්ට් තරග කිහිපයේ ලකුණු අතර සිටීමත් ඔහු වඩාත් දක්ෂ කඩුලු රකින්නෙකු ලෙස සැලකෙන නිසා ඔහුට කඩුළු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව ඔහු සඳහන් කරයි.

4.  ඉදිරි එක්දින තරග සඳහා අවධානය:

කුසල් ජනිත් පෙරේරාට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ඉඩක් තිබුණත් ඔහුට ක්‍රීඩා කරන 11 දෙනා අතර ස්ථානයක් හිමිනොවන නිසා ඔහුව සංචිතයට එක් නොකළ බව තේරීම් කමිටු සභාපතිවරයා පවසයි. සංචිතයේ සිට රතු පන්දුවෙන් පුහුණුවීම් කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ සිට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් පිලේ එක්දින සහ විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචාරය සඳහා සුදු පන්දුවෙන් පුහුණුවීම් යෝග්‍ය බව තේරීම් කමිටුවේ මතයවී තිබේ.

5. තිරිමාන්නට වඩා ඉදිරියෙන්:

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කුසල් ජනිත්ට ඉහළින් ලහිරු තිරිමාන එක් කළේ ඔහු එක්දින තරග සඳහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයෙක් නිසා බව අසන්ත ද මැල් පවසයි. ලහිරු තිරිමාන කණ්ඩායමට එක්වන්නේ අතිරේක පිතිකරුවකු ලෙස බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා බොහෝවිට ශ්‍රී ලංකාව තරග දෙකම, පකිස්ථානය සමග ක්‍රීඩා කළ පිතිකරු ලැයිස්තුවම ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන් කළේය. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා අතිරේක පිතිකරු ලෙස සංචිතයේ තබනවාට වඩා ඔහු එක්දින තරග සඳහා කොළඹදී පුහුණු කිරීම වැදගත් හෙයින් එම අවස්ථාව ලහිරු තිරිමාන්නට ලබාදුන් බව ඔහු සඳහන් කරයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here