රනිල් මල්ලි ගැන ශාන් අයියාගේ අතීත මතකය ….

0
1465

එ.ජා.ප. නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත් 24දා සිය හැත්තෑවැනි උපන්දිනය සැමරුවේය. රනිල් උපත ලැබුවේ ‍ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සී.ටී. එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනි වික්‍රමසිංහ යුවළගේ දෙවැනි පුත්‍රයා ලෙසිනි. රනිල්ගේ වැඩිමහල් සොයුරාද රටම දන්නා හඳුනන චරිතයකි. අයි.ටී.එන්. නාලිකාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට රූපවාහිනී නාලිකාවක් මුලින්ම හඳුන්වා දුන් ඔහු දැන්  ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහය. සිය සොහොයුරා ජීවින ගමන් මගේ හැත්තෑවැනි සැතපුම් කණුව වෙත ළඟා වූ මොහොතේ සිය සොහොයුරා පිළිබඳ අතීත මතකයන් ගැන කතා කරන්නට ලක්බිම අපි ශාන් වික්‍රමසිංහ හමුවුණෙමු.

රනිල් වික්‍රමසිංහ මීට සතියකට කලින් හැත්තෑවැනි වියට පා තැබුවා. උපන්දිනය වෙනුවෙන් ඔබේ සොහොයුරාට ඔබ සුබපැතුවාද?

අ‍පොයි ඔව්. ඒක මම හැම අවුරුද්දකම නොවරදවාම කරන දෙයක්.

මෙවර ඔහුගේ උපන්දින සැමරුම වෙනුවෙන් පවු‍ලේ හැමෝම එකතු වුණාද?

ඔව්. මේ වතාවේ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් ද්‍රව්‍ය ප්‍රදානයක් කළා. මගේ දුවත් මූලිකත්වය අරගෙනයි ඒ කටයුත්ත සංවිධානය කළේ.

රනිල් මල්ලිව ඔබට දැන් නිතර මුණගැහෙනවාද?

දැන්නම් මට ඔහුව නිතරම මුණගැහෙන්නේ නැහැ. මොකද රනිල් මල්ලි දේශපාලන කටයුතු නිසා හුඟක් කාර්යබහුල වෙලයි ඉන්නේ. ඒ නිසා නිතර මුණගැහෙන්න ගිහින් ඔහුට කරදර කරන්න මම කැමැති නෑ. ඒත් අවශ්‍යතාවයක් වුණොත් දුරකථනයෙන් කතා කරනවා.

ඉඳලා හිටලා හරි මුණගැහුණාම වැඩිපුරම කතා කරන්නේ මොනවා ගැනද?

දේශපාලනය ගැනත් කතා නොකරනවාම ‍නෙවෙයි. ඒත් වැඩිපුර අපේ පෞද්ගලික දේවල් ගැන තමයි මුණගැහුණාම කතාබහ කරන්නේ.

ඔබේ පවු‍ලේ වැඩිමලා තමයි ඔබ. ඒ නිසා පුංචි කා‍ලේ ඉඳන්ම ඔබත්, රනිලුත් අතර බොහෝම සමීප සබැඳියාවක් තිබෙන්නට ඇතිනේද?

ඒක ඇත්ත. මොකද අපේ පවු‍ලේ මගෙන් පසුව ඉපදුණේ රනිල් මල්ලි. ඔහු මට වඩා බාල අවුරුදු තුනකට විතරයි.

ඔබේ පවු‍ලේ සහෝදර සහෝදරියන් ගණන කීයද?

ඔක්කොම පස්දෙනයි. රනිල් මල්ලිට පස්සේ ඉපදුණේ ශානිකා නංගි. ඊට පස්සේ නිරාජ් මල්ලි, පවු‍ලේ බාලයා තමයි චන්න මල්ලි.

ඔබේ සහෝදර සහෝදරියන් අතරින් දේශපාලනයට සම්බන්ධ වුණේ රනිල් විතරයි?

ඔව්. ශානිකා නංගි නීති ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගියා. නිරාජ් මල්ලි ටී.එන්.එල්. රේඩියෝව භාරව කටයුතු කරගෙන යනවා. චන්න මල්ලි තාත්තගේ රත්මලානේ පිහිටි ප්‍රින්ටින් පේ‍රස් එක පවත්වාගෙන යනවා.

රනිල් දේශපාලන ගමනක් යන බවට ලක්ෂණ බාල කාලෙදිත් පෙන්නුම් කළාද?

රනිල් මල්ලි පාසල් කාලෙත් ඉතිහාසය විෂයට හුඟක් දක්ෂයි. ඔහු දේශපාලන ඉතිහාසය එහෙමත් ගැඹුරින් හැදෑරුවා. ඒ නිසා වෙන්න ඇති තාත්තත් ඒ කා‍ලේ තමන්ගේ බොහෝ දේශපාලන කටයුතුවලට ඔහුව සම්බන්ධ කරගත්තා.

රනිල් මල්ලි ගැන ඔබට තිබෙන පැරණිම මතකයන් මොනවාද?

දැන් නම් මට මතක හුඟක්ම අපි පාසල් ගිය හැටි තමයි. මුලින්ම අපි පදිංචිවෙලා හිටියේ තිඹිරිගස්යායේ. පස්සේ අපි කොල්ලුපිටියට ආවා. අපි දෙන්නාම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ගෙදර කිට්ටුව තමයි පාසල තිබුණේ. ඒ නිසා අපි පයින් තමයි ඉස්කෝ‍ලේ ගියේ. වැහි දවසකට විතරයි අපේ දෙමවුපියන් අපිව වාහනයකින් පාසලට පිටත් කළේ.

පුංචි කා‍ලේ රනිල් මොන වගේ කෙනෙක්ද?

මම නම් දඟකාරකම් කරලා ඉස්කෝලෙදි ගුටිත් කාලා තියෙනවා. හැබැයි රනිල් මල්ලි එහෙම කෙනෙක් නමෛයි. ඔහු ඉගෙනීමටත් දක්ෂ සිසුවෙක් විදිහටයි ඒ කා‍ලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ.

අයියයි මල්ලියි එකතු වෙලා දඟකාරකම් කරන්න ඇති නේද?

එහෙම අවස්ථා නොතිබුණේමත් නෑ. ඒ වගේ එක සිදුවීමක් මට දැන් මතක් වෙනවා. ඒ කා‍ලේ මටයි රනිල් මල්ලිටයි පියානෝ වාදනය උගන්වන්න ගුරිවරියක් අපේ ගෙදරට ආවා. ඇය එන්න ටිකක් ප්‍රමාද වුණ දවසක මම රනිල් මල්ලිත් එක්කරගෙන මොරිස් රෝච් කියන කොම්පැනියට ගියා. මොකද ඒ ආයතනයයෙන් තාක්ෂණයට සම්බන්ධ ‍පොත් වගයක් තෑගි දෙනවා කියලා අපට ආරංචි වුණා. මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම කාර්මික අංශයට හුඟක් නැඹුරුයි. ඉතින් ඒ වෙලාවේ නොගියොත් ඒ ‍පොත ඉවර වේවි කියලා හිතාගෙනයි මම මල්ලිත් එක්ක ඒ ගමන ගියේ. හැබැයි අපි එදා ආපසු ගෙදර එද්දී හුඟක් ප්‍රමාද වුණා. පියාණෝ ටීචරුත් අපේ ගෙදර ඇවිත් අපි නැති නිසා ආපහු ගිහින්. අම්මා මේ බව තාත්තාට කිව්වාම තාත්තාට හොඳටම තරහ ගිහින් සතියක්ම අපි දෙන්නාට එළියට බහින එක තහනම් කළා.

රනිල් ඔබ වෙනුවෙන් ඒ කා‍ලේ නිරූපණ ශිල්පියෙක් වුණේ කොහොමද?

ඒක වුණේ මෙහෙමයි. ‍පොඩි කා‍ලේ මම ඡායාරූප ගන්න හරිම ආසයි. මම ඡායාරූප ගනිද්දී රනිල් මල්ලි තමයි මගේ නිරූපණ ශිල්පියා වුණේ. පසුව නංගිවත් මම ඒ කටයුත්තට එක්කාසු කරගත්තා. ඒ සමහර කළු සුදු ඡායාරූප අදටත් මා ළඟ තියෙනවා.

ඔය කියන විදිහට ඒ කා‍ලේ ඔබේ වැඩකටයුතුවලට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබි තිබෙනවා.

අ‍පොයි ඔව්. ඒ කා‍ලේ අපිට ගෙදරින් රුපියලක් ලැබෙනවා ‍පොකට් මනී විදිහට. මම මගේ කාර්මික බඩු ගන්න රනිල් මල්ලිට ලැබෙන රුපියලත් ඉල්ලා ගන්නවා. හැබැයි ඒ ණය නම් මම තවම ගෙවලා නෑ.

රනිල් ශ්‍රියාන් වික්‍රසිංහ කියන නම ඔහුට තැබුවේ කවුද?

ඒ අපේ අම්මා. රනිල් මල්ලිට විතරක් නොවෙයි අපේ පවු‍ලේ හැමෝටම නම් තැබුවේ අපේ අම්මා. අම්මා ළඟ තිබුණා ඉන්දියාවේ මුද්‍රණය කරපු ‍පොතක්. ඒ ‍පොතෙන් බලාගෙන ඉපදුණු වේලාවට හරියන විදිහට තමයි අම්මා අපට නම් තියලා තියෙන්නේ.

පොඩි කා‍ලේ ඔබේ සොහොයුරා උපන් දිනය සමරපු හැටි ඔබට මතකද?

ඔව්. මට මතකයි. ඒ උත්සවය සංවිධානය කළේ අපේ අම්මා. මල්ලිට හිටියා හොඳම යාළුවන් අටදෙනෙක් විතර. ඒ අයව එකතු කරගෙන තමයි ඔහු උපන්දින සැමරුවේ.

නැසීගිය අනුර  බණ්ඩාරනායක පුංචි සන්දියේදී ඔහුගේ හොඳම මිතුරෙක්ලු නේද?

ඇත්තටම ඔව්. රනිල් – අනුර එක්ක සෙල්ලම් කරන්න ඔහුගේ නිවසට ගියාම මම තමයි ගිහින් නැවත ඔහුව එක්කරගෙන එන්නේ.

මල්ලි ඒ කා‍ලේ නර්තනයටත් දක්ෂයෙක්..?

ඔව්. මල්ලියි මමයි දෙන්නාම ශ්‍රී ජයනා ගුරුතුමාගෙන් නර්තනය ඉගෙනගන්න ගියා. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඒ කා‍ලේ ඒ පන්තියට ආවා.

ඔබේ සොහොයුරා කැමැතිම ක්‍රීඩාව?

මම හිතන්නේ ක්‍රිකට්. අදටත් ඔහු රාජකීය විද්‍යාලයේ බිග් මැච් නරඹන්න නොවරදවාම යනවා.

දේශපාලනය නිසා ඒ කා‍ලේ මල්ලි සමග අවදානම් සහගත සිදුවීම්වලට මුහුණ දුන් අවස්ථා තිබෙනවාද?

එහෙම කියද්දී මට ඒ කා‍ලේ අපි මුහුණ දුන් සිදුවීමක් මට මතක් වෙනවා. 1977දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඡන්දෙන් පැරදුණා. ඒ වෙලාවේ අපේ තාත්තා චෙල්වනායගම් මහත්තයත් එක්ක සිරිමාවෝ මැතිනියගේ ගෙදර ගියා ඇයට ඉවත් වෙන්න කියලා කියන්න. ඔය අතරතුරේ විවියන් ගුණවර්ධන මහත්මිය හාබර් එකේ දෙදහසක විතර පිරිසක් එක්ක ඇවිත් අපේ ගෙදර වට කරලා ප්‍රහාරයක් එල්ල කරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ ගෙදර හිටියේ මමයි රනිල් මල්ලියි විතරයි. අපි දෙන්නා තාප්පය උඩ නැගලා මිරිස් කුඩු සහ උණුවතුර යොදාගෙන ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළා.

සොහොයුරා තුළ තිබුණු නායකත්වයේ ලක්ෂණ ඔබ ඒ කාලෙත් දැක්කාද?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු නීති විද්‍යාලයට සුදුසුකම් ලැබුවා. එහිදී තමයි අපි ඔහුගේ නායකත්වයේ ලක්ෂණ වැඩිපුරම දැක්කේ. ඔහු එහි සංගම්වලටත් නායකත්වය ලබාදුන්නා. ඒ ලැබුණු පන්නරයත් එක්ක තමයි ඔහුට බියගම ආසනය ජයග්‍රහණය කරලා මුලින්ම පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව සැලසුණේ.

ඔබේ සොහොයුරාට තවමත් ළඟාවීමට නොහැකිවුණේ ජනාධිපති පුටුවට පමණයි. කවදා හෝ ඔහු ඒ ඉලක්කයත් සපුරා ගනීවි යැයි ඔබතුළ විශ්වාසයක් තිබෙනවාද?

අපේ ජීවිතවල හෙට දවසේ මොනවා වේවිද කියලා අපිට හරියටම කියන්න බැහැ. අපේ කර්ම ශක්තිය අනුව තමයි හැමදේම වෙන්නේ. ඒ නිසා ඒ ගැන දැන්ම හරියටම උත්තරයක් දෙන්න මට බැහැ.

IRIDA LAKBIMA | 31/03/2019 | ක්‍රිෂාන් කනංකෙ

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here