LG CineBeam Laser 4K අනාගත රූපවාහිනී යන්ත්‍රයන්ගේ පිළිබ්ඹුවක්ද…..?

0
1310
රූපවාහිනී යන්ත්‍ර සම්බන්ධයෙන් අපට අසූව හෝ අනූව දශකයන්හි ඇත්තේ ඉතා ප්‍රියමනාප මතක සටහන් බව නොකිවමනායි. විශේෂයෙන්ම එකල පැවැති කළු සුදු රූපවාහිනී යන්ත්‍රත්, එතැනින් පසුව දැකගැනීමට ලැබුණු වර්ණ රූපවාහිනී යන්ත්‍රත් අනූව දශකයේ දරුවන්ගේ ජීවිත කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළ අතර, කැ‍තෝඩ කිරණ නළ රූපවාහිනී හෙවත් CRT TV යන්ත්‍ර එම යුගයේ රජකරන ලදී. කෙසේ වෙතත් සහශ්‍රකය උදාවීම හා ඒ ආසන්න කාලය තුළදී පැතලි තිර රූපවාහිනී යන්ත්‍ර වෙළෙඳ පොළට පැමිණි අතර, එතැන් සිට පසුවී ගිය දශකයක හමාරක කාලය තුළදී පැතලි තිර රූපවාහිනී යනු සෑම නිවෙසකම දැකිය හැකි සාමාන්‍ය උපාංගයක් බවට පත්විණි. මේ අතර ක්‍රමයෙන් CRT රූපවාහිනී යන්ත්‍ර විශ්‍රාම ගන්වන්නට යුහුසුළුව දියුණු වූ රූපවාහිනී යන්ත්‍ර තාක්ෂණය හේතු වූ අතර, CRT රූපවාහිනී යන්ත්‍රයන් සමගින් දක්නට ලැබුණු සාමාන්‍ය තිර ප්‍රමාණය වූ අඟල් 21, පැතලි තිර අඟල් 32 රූපවාහිනී බවටද පෙරළිණි. කෙසේ වෙතත් වර්තමානයේ මෙම පැතලි තිර LED රූපවාහිනී යන්ත්‍ර අඟල් 40, අඟල් 49, අඟල් 55, අඟල් 65, අඟල් 75, අඟල් 86 ආදී වශයෙන් වූ තිර ප්‍රමාණයන්ගේ රූපවාහිනී යන්ත්‍රද ශ්‍රී ලංකාවේ අලෙවි වේ.

රූපවාහිනී යන්ත්‍රයක තිර ප්‍රමාණය සම්බන්ධයෙන් පරිශීලකයින් තෘප්තිමත් වන සීමාවක් සලකුණු කිරීම අසීරු කාරණාවකි. විශේෂයෙන්ම සිනමා අත්දැකීම් පවා රූපවාහිනිය ඔස්සේ ලැබීමේ ඉඩ අවකාශයන් වැඩිවී ඇති යුගයක වඩාත් විශාල තිර ප්‍රමාණයක රූපවාහිනියක් තිබීම පාඩුවක් නොවනු ඇත.
කෙසේ වෙතත් විශාල තිර ප්‍රමාණයන්ගෙන් යුක්ත පැතලි තිර රූපවාහිනී යන්ත්‍රයන්ද දිනෙන් දින කෙතරම් හුරුබුහුයි සිහින් නිමාවන්ගෙන් නිර්මාණය කිරීමට නිෂ්පාදකයින් ප්‍රයත්න දැරුවත්, පැතලි තිර රූපවාහිනී යන්ත්‍රයන්ගේ යුගයද ඉක්මනින්ම අවසන් වනු ඇත. කලකට පෙර කැ‍තෝඩ කිරණ නළ රූපවාහිනී යන්ත්‍රයන්ට සිදුවූවාක් සේම පැතලි තිර රූපවාහිනී යන්ත්‍රයන්ද විශ්‍රාම ගත් විට ඒ අඩුව පි‍රැවීමට ඉදිරියට එන නවතම රූපවාහිනී තාක්ෂණයන් මොනවාද? සැබවින්ම එම ගැටලුවට දැනටමත් පිළිතුරු ලැබෙමින් පවතී.

ලේසර් ප්‍රොජෙක්ටර් රූපවාහිනී යන්ත්‍ර

ප්‍රොජෙක්ටර හෙවත් ප්‍රක්ෂේපණ යන්ත්‍ර යනු අපට ආගන්තුක උපාංගයක් නොවේ. රූපවාහිනී යන්ත්‍ර වලට පෙරාතුව පටන් අප හඳුනාගෙන තිබූ ප්‍රක්ෂේපණ යන්ත්‍රයන් වර්තමානයේදී භාවිත වන්නේ සිනමා ශාලාවක නැතිනම් කාර්යාල ‍රැස්වීම් ශාලාවක පමණක් නොවේ. වර්තමානයේ ඇති ජංගම ප්‍රමාණයේ නවීන ලේසර් ප්‍රොජෙක්ටර යන්ත්‍රයන්, ඒවායින් ප්‍රක්ෂේපණය කරනා අන්තර්ගතයන්ගේ ගුණාත්මක භාවයේ සිට භාවිතයේ පහසුව දක්වා විවිධ කරුණු අතින් ඉදිරියට පැමිණ ඇති අතර, විය හැකි ලෙසින්ම නවීන රූපවාහිනී යන්ත්‍රයේ අනාගතයේ එක් විකල්පයක් ලෙසින් ප්‍රක්ෂේපණ රූපවාහිනී යන්ත්‍ර නැතිනම් ලේසර් ප්‍රොජෙක්ටර් ටීවී යන්ත්‍ර හඳුනා ගැනීමට ලැබෙනු ඇත.

මෙයට වසරකට දෙකකට පමණ පෙරද මෙවැනි ලේසර් ප්‍රොජෙක්ටර් ටීවී උපාංග වෙළෙඳපොළට පැමිණි අතර, නව වසරේදී එය කථාබහට ලක්වන්නේ ලෝ ප්‍රකට LG සමාගම මගින් 2019 සඳහා 4K ගුණාත්මක තත්වයේ දසුන් මවනා ලේසර් ප්‍රොජෙක්ටර් ටීවී උපාංගයක් හඳුන්වා දෙන බවට නිවේදනය කිරීමත් සමගිනි.

LG CinemaBeam Laser 4K

සැබවින්ම LG සමාගමේ CineBeam ලේසර් ප්‍රොජෙක්ටර් උපාංගයේ දෙවන පරම්පරාවේ නව සංස්කරණයක් ලෙසින් පැමිණෙන LG CinemaBeam Laser 4K උපාංගයේ පෙනුමද වෙනස් වී ඇත. එය අසූව, අනූව දශකයන්හි නිවෙස් වල දක්නට ලැබුණු VHS කැසට් ධාවකයකටත් වඩා ප්‍රමාණයෙන් අඩු වන අතර, හැඩහුරුකම් අතින් ඊට සමාන වේ. කෙසේ වුවත් කෙටි දුර ප්‍රක්ෂේපණ වර්ගයේ 4K ප්‍රොජෙක්ටරයක් වන මෙය අඟල් 90ක තිර ප්‍රමාණයක දැවැන්ත රූපවාහිනී යන්ත්‍රයක් වෙනුවට භාවිතා කිරීමේ හැකියාව ඇත. මෙසේ මෙම CinemaBeam Laser 4K ප්‍රොජෙක්ටර් රූපවාහිනිය වෙළෙඳ පොළේ ඇති මෙම ආකාරයේ අනෙකුත් උපාංගයන්ට වඩා සැලකිය යුතු ලෙසින් කුඩා ප්‍රමාණයක් ගැනීමද විශේෂත්වයකි. මෙය ඔබ රූපවාහිනිය ලෙසින් භාවිත කරනා බිත්තියේ සිට අඟල් කිහිපයකට මෙපිටින් තැන්පත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.
නිෂ්පාදකයින් විසින් පවසන ආකාරයට මෙම CinemaBeam Laser 4K ප්‍රොජෙක්ටරය බිත්තියෙන් අඟල් 2ක් මෙපිටින් තැබීමෙන් ඔබට full 4K UHD අඟල් 90ක තිරයක් ලබාගැනීමට හැකි අතර, ප්‍රොජෙක්ටරය බිත්තියෙන් අඟල් 7ක් ඈතින් තැබීමෙන් ඔබට අඟල් 120ක් විශාල තිරයක් ලබාගැනීමට හැකිවනු ඇත.

මෙසේ CinemaBeam Laser 4K ප්‍රොජෙක්ටරය මගින් ලබාදෙන 4K UHD විභේදනයේ දසුන් වල 2,500 ANSI lumens ප්‍රමාණයේ දීප්තියක් මෙන්ම තියුණු වර්ණයන්ද දක්නට ලැබෙනු ඇති අතර, සාමාන්‍ය ගෘහස්ථ ප්‍රොජෙක්ටරයකින් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ සුපැහැදිලි, තියුණු දසුන් ඔබට මේ ඔස්සේ ලබාගැනීමට හැකිවනු ඇත. එසේම මෙහි ප්‍රක්ෂේපණ දසුනේ මුදුන් කෝණික විකෘතිය ලක්ෂ්‍ය 12ක් ඔස්සේ ස්වයංක්‍රීයව නිවැරදි කරගැනීමේ හැකියාවද (keystone adjustment) තිබෙනා බැවින්, සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන්හි නිවැරදි කළ යුතු දෝෂයක් වන ප්‍රක්ෂේපණ දසුන ත්‍රැපීසියමක හැඩ ගැනීමේ ගැටලුව මෙහිදී උදා නොවනු ඇත.

එසේම මෙම LG CinemaBeam Laser 4K උපාංගය ඔවුන්ගේ ‘මැජික් රිමෝට්’ දුරස්ථ පාලකය සමගින් පැමිණෙන බැවින්, ඔබට සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයක් හා කටයුතු කරන්නා සේම සුවපහසුව ඔබේ සෝපාවේ හිඳ මෙය පාලනය කිරීමේ හැකියාවද ඇත. විශේෂයෙන්ම මෙහි LG සමාගමේ ThinQ AI ස්මාට් සහකරු සහ හඬ විධාන සහායද සමගින් පැමිණෙන බැවින්, ඔබට රූපවාහිනියේ ඔබට නැරඹිය යුතු අන්තර්ගතයන් පවා කටහඬ විධානයන්ගෙන් සෙවුම් කිරීමට හා ධාවනය කිරීමට හැකියාව ලබාදෙනු ඇත.

ඔබට සැබවින්ම LG CinemaBeam Laser 4K ප්‍රොජෙක්ටර් ටීවී උපාංගයේ තිරය ලෙසින් භාවිත කිරීම සඳහා නිවසේ බිත්තියක් ‍තෝරාගැනීම අත්‍යාවශ්‍ය නොවනු ඇති අතර, බිත්තියටම සවි කළ හැකි දැවැන්ත ප්‍රමාණයේ නවීන ප්‍රක්ෂේපණ තිරයක් මිලදී ගැනීම මගින් වඩාත් විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබාගැනීමට හැකි වනු ඇත. එසේම දැවැන්ත තිර රූපවාහිනියක් හා සංසන්දනය කිරීමේදී මෙය ඔබේ විසිත්ත කාමරයේ භෞතික ඉඩ ලබාගන්නේ සැලකිය යුතු පරිද්දෙන් සුළු ප්‍රමාණයකින් වීමද විශේෂ වාසියකි.

LG සමාගම මෙය මෙම වසර තුළදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පවසා සිටී. කෙසේ වෙතත් මෙවැනි උපාංගයක් සම්බන්ධයෙන් ඇති එකම ගැටලුව වන්නේ එහි මිල දැරිය හැකිද යන්නයි. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ මිලදී ගැනීමට ඇති අඟල් 75ක පමණ රූපවාහිනී යන්ත්‍රයක් වුවත් රුපියල් ලක්ෂ 7ක් හෝ ඊට ආසන්න මිලක් වේ. පසුගිය වසරේ (2018) නිකුත් වූ ප්‍රොජෙක්ටර් ටීවී උපාංගයක් වූ Hisense 4K Ultra HD Smart Laser TV යන්ත්‍රයේ හඳුන්වා දුන් මිලද සැලකිල්ලට ගෙන බැලූ විට, මෙම LG CinemaBeam Laser 4K උපාංගය ලංකාවට හඳුන්වා දීමේදී අඩු තරමින් ලක්ෂ 14ක් හෝ ඊට වැඩි මිලක් ගනු ඇතැයි අනුමාන කළ හැක.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here