ජාත්‍යන්තර කාන්තා දිනය: “වෙනම දුම්රිය හෝ බස් යෙදීමෙන් පමණක් කාන්තා හිංසනය අවම කරන්න බෑ”

0
1356

“මම රජයේ සේවිකාවක්. ඉතාම දුක්ගැහැට විඳගෙන තමයි මම දුම්රියේ ගමන් කළේ,” බීබීසි සිංහල සේවය සමග එසේ පැවසුවේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ දුම්රිය මැදිරියේ ගමන් කළ කාන්තාවකි.

මීරිගම සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ අංක 525 දුම්රියේ කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරියක් වෙන් කර තිබුණි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එහි මංගල ගමන සිකුරාදා (මාර්තු 08) සිදුවිය.

මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන කාන්තා හිංසනය අවම කිරීමට නවීන තාක්ෂණය යොදා ගත යුතු බවය.

“දුම්රියේ කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කිරීමෙන් හෝ ඔවුන්ට පමණක් වෙන්වූ බස් යෙදවීමෙන් පමණක් කාන්තා හිංසන අවම කළ නොහැකියි,” ඇය කියා සිටියේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් කියා සිටියේ පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීමට අනෙකුත් රටවල් වල මෙන් සීසීටීවී භාවිතය ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්ත කළ යුතු බවය.

“ලංකාවේ කාන්තාවක් අතවරයට පත්වූ පසු පැමිණිල්ලක් කළ විට ඇය නැවත නැවතත් අපහසුතාවයට ලක් වෙනවා.”

දුම්රිය මැදිරිය විවෘත කරමින්
දුම්රිය මැදිරිය විවෘත කරමින්

“ඒක වෙන්නේ මෙහෙමයි, මුලින්ම ඇය පොලිසියට පැමිණිලි කරන්න ඕනෑ. ඊට පසු ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කල යුතුයි. තවත් ස්ථාන කීපයකට ගොස් අවසානයේදී උසාවියටත් යා යුතුයි. උසාවියේදී නඩුව විභාග කරන සෑම අවස්ථාවකදී ම ඇය අතවරයට ලක් වෙනවා,” මන්ත්‍රීවරිය කීවාය.

එබැවින් මූල් අවස්ථාවේදී ම ඇයගේ ප්‍රකාශය වීඩියෝ ගත කර එය නඩු විභාගය සදහා ප්‍රයෝජනයට ගෙන ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කළ හැකි බව ඇය පෙන්වා දෙයි.

“නීතිය ක්‍රියාත්මක කරන හා නීති සම්පාදකයන් මේ පිළිබඳව සිතා බැලිය යුතුයි.”

කාන්තාවන්ට නිතර පොදු ප්‍රවාහන සේවයේදී සිදුවන හිංසනයන් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

මේ ඉල්ලීම කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රිනියක් වන ගයාත්‍රි වික්‍රමසිංහය. ඇය ද මෙම දුම්රිය මැදිරියේ ගමන් කළාය.

ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර ලැබූ අත්දැකීම් මුල් කරගනිමින් ඇය මෙම ඉල්ලීම කර තිබිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද මෙම දුම්රිය මැදිරි විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අතර පසුව අමාත්‍යවරයා දුම්රියෙන් බැස ගියේය.

ඉදිරියේදී කාන්තාවන්ට වෙන්වූ බස් රථ සේවයක්ද ආරම්භ කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

“කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව මාධ්‍යයෙන් අසන්න ලැබුණා. නමුත් බොහෝ කාන්තාවන් ඒවා එළියට ඇවිල්ලා කියන්නේ නැහැ ලැජ්ජාවට. පිරිමි හැටියට ලොකු වගකීමක් අපිට තියෙනවා කාන්තාවන් ආරක්ෂා කර ගන්න. අපි හිතන්න ඕනෑ මේ ඉන්නේ මගේම අම්මා කියන එක විතරයි,” රණතුංග ඇමතිවරයා කීය.

දුම්රිය මැදිරිය විවෘත කරමින්

“නිදහස භුක්තිවින්ඳා”

දුම්රියේ ගමන් කිරීමේදී තමන් ලොකු නිදහසක් භුක්තිවිඳි බව මෙම මැදිරියේ ගමන් කළ කාන්තාවන් කිහිපදෙනෙක් පැවසූහ.

සිනා මුසු මුහුණින් කතා කළ සමහරෙකු කියා සිටියේ මේ තත්වය දිගටම තිබිය යුතු බවය.

වසර තිහකට ආසන්න කාලයක සිට දුම්රියේ ගමන්කරන කාර්යාල සේවිකාවක් වන කේ සී ආර් පෙරේරා ප්‍රකාශ කළේ, තමාට අමිහිරි අත්දැකීම් රැසක් ඇති බවය.

“මම රජයේ සේවිකාවක්. ඉතාම දුක්ගැහැට විඳගෙන තමයි මම දුම්රියේ ගමන් කළේ. ගැහැණු ළමයෙකුට පමණක් නොවෙයි වැඩිහිටි කාන්තාවකට වුවත් දුම්රියේ සිදුවන හිරිහැර තාඩන පීඩන වැඩියි. සමහර අවස්ථාවලදී පාසල් ළමුන් හිංසනයට ලක්වෙනවා දැකලා තියනවා. මම ඒ වගේ අවස්ථාවල ඒ ළමුන් ඒ ස්ථාන වලින් ඉවත් කරගෙන පවා තිබෙනවා . ඒ නිසා මේ උත්සාහය පිළිබඳව සතුටු වෙනවා.”

කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනයට පමණක් සිමා නොවී වසරේ සෑම දිනකම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිය යුතු බව දුම්රියේ ගමන්ගත් බොහෝ කාන්තාවෝ පෙන්වාදුන්හ.

මෙම මැදිරියේ ගමන් කළ දහඅට හැවිරිදි රුවන්තිකා සන්දීපනී ප්‍රකාශ කළේ ඇතැම් ආයතන කාන්තා දිනයට පමණක් කාන්තාවන් ගැන කතාකර පසුව කාන්තාවන් අමතක කරන බවය.

“කාන්තා දිනය අද විතරක් නෙමෙයි හැම දිනක් ම බව හිතල කටයුතු කරලා කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්න කියල ඉල්ලනවා,” ඇය කීය.

නම සඳහන් කිරීමට අකමැතිවූ කාන්තාවක් කියා සිටියේ තමන් වසර විසි පහකට ආසන්න කාලයක් දුම්රියේ ගමන්කරන බවත් එම කාලය තුළ අවස්ථා ගණනාවකදී දුම්රියේ දී අතවරයන්ට ලක්ව ඇති බවය.

“මේවා කියලත් බැහැ නොකියත් බැහැ. එක දවසක් මම කෝච්චියේ යද්දී මනුස්සයෙක් මගේ ඇඟට හේත්තු වුනා . මම කිව්වා ටිකක් අයින් වෙන්න කියලා . ඒ මනුස්සය මට කිව්වා ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල වාහනයක් හයර් කරන් එන්න කියලා. මේක ඒ මනුස්සයා කිව්වා විතරයි හැමෝම බක, බක ගාලා හිනා වුනා. මට ලොකු ලැජ්ජාවක් ඇති වුනා. මට අන්තිමට සිද්ධ වුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න තමයි,” ඇය කීය.

කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරිය
කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරිය

පුරුෂ ප්‍රතිචාර

රාගම සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට සුදානම් ව සිටි දුම්රිය මගියෙකු වන කුසල් දිසානායක ප්‍රකාශ කළේ මිට පෙරද මේ ආකාරයෙන් කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරි තිබු බවය. නමුත් ටික දිනකින් එය අක්‍රිය වූ බව හෙතෙම පැවසිය .

“අප‍ රටේ ගොඩක් වෙන්නේ බෙර ගහලා පටන් ගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ ටික කාලයයි. මේ අද ආරම්භ කරපු වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.”

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here