ක්‍රිකට් දූෂණ: සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්

0
1190

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට සහය නොදීම ගැන සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් චෝදනා එල්ල කෙරිණි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අදාළ චෝදනාවලට සනත් ජයසූරිය වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් ලබා දීමට තීරණය කළ බවය.

සනත් ජයසූරියට අයත් ජංගම දුරකතනයක් පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම මෙලෙස තහනමක් පැනවීමට හේතු වී තිබේ.

මේ තහනමට අනුව සනත් ජයසූරියට සියලු ම ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම්වල නියැළීම වසර දෙකකට තහනම් වේ.

එසේ ම, මෙම කාලවකවානුව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමක නියැළීමට ද සනත් ජයසූරියට නොහැකිය.

ජාත්‍යන්තර කවුන්සිලයට සම්බන්ධ රටවල ද එම තහනම බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු කටයුත්තකට ද සනත් ජයසූරියට සහභාගි වීම තහනම්ය.

ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, තනතුරක් දැරීමට අමතරව නිල උත්සවවලට සහභාගිවීම ද කළ නොහැක.

AFP

මේ අකාරයට ම මින් පෙර පරීක්ෂණයකට සහය නොදීමේ හේතු මත හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර 3ක තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබීය.

සනත් ජයසූරිය වරද පිළිගෙන ඇත්තේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ පහත වැරදි සම්බන්ධයෙනි.

  1. නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
  2. නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් හෙළිදරව් නොකිරීම, වෙනස් කිරීම හෝ විනාශ කිරීම හෝ දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

මෙමචෝදනා එල්ල වූ අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් සනත් ජයසූරිය කියා සිටියේතමාට එල්ල වී ඇති චෝදනා තරග පාවා දීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බවය.

තමන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් බව පැවසූ ඔහු ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් හැම විට ම අවංකභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ බව කියා සිටියේය.

පරීක්ෂණයේ පසුබිම

2017 සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය ගැන ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවකට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කරනු ලැබූහ.

එහි එක් අවස්ථාවකදී තම ජංගම දුරකතනයක් පරීක්ෂණ කටයුතු සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම මෙම තහනම පැනවීමට හේතු වී ඇති අතර තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජංගම දුරකතනය භාර දීම කල්ගත වූ බව සනත් ජයසූරිය ඊට හේතු ලෙස දක්වා තිබිණි.

ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් කෙනෙකු ලෙස හඳුන්වනු ලබන සනත් ජයසූරිය, මෙලෙස ක්‍රිකට් සම්බන්ධ දූෂණ චෝදනාවකට වරදකරු වීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී තිබේ.

සනත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් 1996 ලෝක කුසලානයේදී ජයග්‍රාහී ශ්‍රී ලංකා පිළේ නායක අර්ජුණ රණතුංග පසුගිය දා බීබීසී සිංහල සේවය සමග එක්වෙමින් සනත් ජයසූරියට මෙවැනි චෝදනාවක් එල්ල වීම ගැන අදහස් පළ කරමින් මෙසේ පැවසීය.

“කියමනක් තියෙනව නේ බල්ලෝ එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා, සනත්ටත් වුණේ මැක්කොත් එක්ක නැගිටින්න. ඒක වුණා ද නැද්ද කියන්න මම දන්නේ නැහැ, හැබැයි සනත් වගේ කෙනෙක් මෙහෙම විශාල කීර්තියක් රටට ගෙනාපු කෙනෙක් අනවශ්‍ය පුද්ගලයොත් එක්ක හිටපු නිසා තමයි මෙහෙම කුණු ගාගන්න වුණේ”.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට ලෝකයේ වැඩි ම ක්‍රිකට් දූෂණ ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති අතර, ක්‍රිකට් දූෂණ පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ නියෝජිත කාර්යාලයක් ද ශ්‍රී ලංකාවේ තාවකාලිකව පිහිටුවා තිබේ.

සනත් ජයසූරියට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන නුවන් සොයිසාසහ දිල්හාර ලොකුහෙටිටිගේට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ චෝදනා එල්ල වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ 2.1.1, 2.1.4 සහ 2.4.4 යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

කෙසේ වෙතත්, ඔවුන් එම චෝදනාවලට වැරදිකරුවන් ද නැද්ද යන්න තවමත් නිවේදනය කර නොමැත.

මෙම චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමා රැකියාවෙන් නෙරපීම ගැන නුවන් සොයිසා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

සනත් ජයසූරියට තහනම පනවමින් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, ක්‍රීඩකයන් සහ වෙනත් පුද්ගලයන් 11 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධයෙන් මෑතදී තමන් වෙත අලුතෙන් තොරතුරු සපයන ලද බවය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here