කොරෝනා වෛරසය: නිරෝධායනයට බිය විය යුතු ද…?
පසුගියදා ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ කරා පැමිණි ගුවන් යානයක සිටි, දඹදිව වන්දනාවේ නිරතව යළි පැමිණෙමින් සිටි කණ්ඩායමක සාමාජිකයෙක් මෙසේ පවසනු අපට ඇසිණ.
“කවුරුහරි උණ ගතිය තියෙන කෙනෙක් අපේ කණ්ඩායමේ ඉන්නවා නම් පැරසිටමෝල් එකක්වත් බොන්න. නැත්නම් අපි කට්ටියටම දවස් 14ක් නිරෝධායනය වෙලා තමයි ගෙදර යන්න වෙන්නේ.”
මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා සහභාගි වීමට ඇතැමුන් තුළ ඇති අකමැත්තයි. මාර්තු 10 වන දා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි පිරිසක් නිරෝධායනය සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරමින් දැක්වූ ප්‍රතිචාරය එයට තවත් උදාහරණයකි.
නිරෝධායනය සම්බන්ධයෙන් මතු වන විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බදාදා (මාර්තු 11) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, “රෝගය පැතිරිලා තියෙන රටවලින් එන සියලු දෙනා අනිවාර්යයෙන් ම දින 14ක නිරෝධායන මධ්‍යස්ථානයකට සම්බන්ධ කර ගත යුතු වෙනවා,” යනුවෙනි.
“මේ කටයුතු කිරීමේදී ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දෙන්න අපි ලෑස්තියි. අපි මේ ගැන කලින් දැනුම් දීල තිබුණා. නැති ප්‍රශ්න හදල, ගුවන් තොටුපොළේ යුද්ධ කරල හරියන්නෙ නෑ. කොහොමත් අපි මේක කරනවා,” සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
තෝරාගත් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීම, ඇතැමුන් එය ප්‍රතික්ෂේප කිරීම සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී තිබිණ.
මේ වන විට ප්‍රධාන වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. එම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ, පූනානි සහ කන්දකාඩු යන ප්‍රදේශවලය.
නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අගනුවරින් ඈත පිහිටි ස්ථාන තෝරාගත්තේ ඇයි?
අගනුවරට නුදුරු ස්ථාන තෝරා නොගෙන ඈත ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් ඇතැමෙකු ප්‍රශ්න කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය එච් ටී බී හේරත් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.
“මේ ස්ථාන තෝර ගත්තේ කිසි ම යටි අරමුණක් හෝ වෙනත් හේතුවක් ඇතුව නෙවෙයි. සුළු කාලයක් තුළ උපරිම පහසුකම් තියෙන ඒ වගේ ම උපරිම ඉඩ පහසුකම් තියෙන තැන් ගැන හොයද්දි ලැබුණු තොරතුරු අනුව තමයි මේ ස්ථාන තෝර ගත්තේ. කොළඹට ළග සුදුසු තැන් අපට හමුවුණේ නෑ. ඒකයි මේ ස්ථාන තෝර ගත්තේ.”
නිරෝධායනය කරන්නේ හුදෙකලා කරලා ද?
“නිරෝධායනය කරන්නේ ඔවුන් රෝගීන් විදිහට සලකල නෙවෙයි. ඒ නිසා පවුල් වශයෙන් සහ කණ්ඩායම් වශයෙන් ඔවුන්ව රඳවා තියෙනවා. තනි පුද්ගලයින්ට වෙන්ව ඉන්නත් පුළුවන්. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න ක්‍රියා කරල තියෙනවා,” වෛද්‍ය එච් ටී බී හේරත් පැවසීය.
නිරෝධායනය අතරතුර වෛරසය ආසාදනය විය හැකි ද?
නිරෝධායන කාල සීමාව තුළ එක් ස්ථානයක රැදී සිටීමෙන් වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බවට ඇතැමුන් තුළ සැකයක් පවතී.
ඒ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍යවරයා පැහැදිලි කළේය.
“මේ පිරිස් කොහොමත් එක ම ගුවන් යානයක එන්නේ. ඒ නිසා ඔවුන් එක් තැනක රඳවා සිටීම නිසා පමණක් වෛරසය බෝවෙයි කියල කියන්න අමාරුයි. අපි ක්‍රියා කරන්නේ එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්නයි. ඒ ගැන බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.”
නිරෝධායනය සඳහා ගාස්තුවක් අය කරනවා ද?
නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන් රු. 7500ක ගාස්තුවක් අය කරන බවට වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය.
කෙසේ වෙතත්, එවැනි ගාස්තුවක් අය කිරීමට තීරණය කර නැතැයි රජය නිවේදනය කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය එච් ටී බී හේරත් පැවසුවේ, එවැනි ගාස්තුවක් අය නොකරන බවය.
නිරෝධායනයට බිය විය යුතු ද?
නිරෝධායනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු බියට පත් විය යුතු නැතැයි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන පවසයි.
රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය පබා පළිහවඩන පැවසුවේ, “මේක හිර කිරීමක් නොවේ. නිරෝගී අය යම් කාලයක් රඳවා ගැනීමක්. කිසි කෙනෙක් කොටු කරල කාමරයක දාල තියෙන එක නෙවෙයි කරන්නෙ. ඒ නිසා බය වෙන්න ඕන නෑ.”
මේ අතර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයක් කරමින් පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශ වාසීන් විරෝධය පළ කළ ද ඔවුන්ට කරුණු පහදා දීමෙන් පසු තත්වය සමනය වූ බවය.